තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලි ජය එංගලන්තයට
ලකුණු 309ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුලු 2 ලකුණු 2ක් තුළ දැවී ගියද, සිව්වන කඩුල්ල වෙනුවෙන් පිටියට එක්වූ ලෝක පූජිත පිතිකරුවකු ලෙස නම් දරා සිටින ජෝ රූට් පන්දු 139කින් ලබාගත් ලකුණු 166ක නොදැවුණු සුපිරි ඉනිම හේතුවෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 3ක විශිෂ්ට ජයක් ලබාගනිමින් තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය තමන් සතුකර ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය.
පෙරේදා (01දා) කාඩිෆ් හිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දු වාර 47යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 308ක් ලබාගැනීමට සමත්වුවද, පිළිතුරු ඉනිම ආරම්භ කළ එංගලන්ත කණ්ඩායම පන්දු වාර 48යි පන්දු 5ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 312ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කළේය.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී ක්‍රේසි කාර්ති ලකුණු 103ක්, සායි හෝප් ලකුණු 78ක්, බ්‍රෙන්ඩන් කිං ලකුණු 59ක් සහ ජස්ටින් ග්‍රිවර්ස් ලකුණු 22ක් ලැබීය.
පන්දු යැවීමේදී අදීල් රෂීඩ් ලකුණු 63කට කඩුලු 4ක් සහ ශඛීබ් මොහොමඩ් ලකුණු 37කට කඩුලු 3ක් බිඳහෙළීය.
එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී විශිෂ්ට ඉනිමක් දියත් කළ ජෝ රූට් පන්දු 139කට පමණක් මුහුණදෙමින් හයේ පහර 2ක් සහ හතරේ පහර 21ක් සමගින් නොදැවී ලකුණු 166ක් ලබාගැනීමට සමත්වූ අතර, ඊට අමතරව විල් ජැක්ස් ලකුණු 49ක් සහ හැරී බෲක් ලකුණු 47ක් ලැබීය.
පන්දු යැවීමේදී අල්සාරි ජෝශප් ලකුණු 31කට කඩුලු 4ක් දවාලීය.
තරගයේ වීරයා ලෙස ජෝ රූට් සම්මාන ලැබීය.
සිසිර ඉන්ද්‍රජිත්