වසර 37ක යුක්තියේ කතාවක්
‘යුක්තිය පමාවීම යුක්තිය ප්‍රතික්ෂේප කිරීමකි’ යනුවෙන් කියමනක් තිබේ. ඒ කියමන සනාථ කරන සිද්ධියක් පසුගිය දිනක ශ්‍රී ලංකාවේ අභියාචනාධිකරණයෙන් වාර්තා විය.
ඒ 88/89 භීෂණ සමයයි. ජනතා විමුක්ති පෙරමුණ දියත් කර තිබූ කැරලිකාර තත්ත්වය රාජ්‍ය බලය යොදා සමූල ඝාතනය කරමින් මර්දනය කරන තැනට ආණ්ඩුව පත්ව තිබිණි. විටෙක ජනතා විමුක්ති පෙරමුණේ ලේබලයෙන් හෝ විටෙක ආණ්ඩුවේ ලේබලයෙන් හෝ දොරවල්වලට තට්ටු කිරීම් වාර්තා වුවද ඒ දෙගොල්ලොගේම අනුදැනුමක් නොමැතිව දොරවල්වලට තට්ටු කර පුද්ගලයන් පැහැර ගැනීම් රැසක් මේ කාලයේ වාර්තා විය.
අලුත්ගේ දොන් හෙලේනිස් පැපිලියානේ පදිංචිව සිටියේය. 1988 පෙබරවාරි 24 වැනිදා ඔහු සිටි නිවසේ දොරට තට්ටුවක් දමනු ඇසිණි. ඒ වන විට පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි එම නිවසේ කාන්තාවකගේ සැමියාගේ පණිවිඩයක් දැනුම්දීමට ඇති බැවින් දොර විවෘත කරන ලෙස ඉල්ලා සිටියේය. ඔවුන් දොර විවෘත කළේ නැත. ඉන් පසු දොර ජනෙල් කඩා දැමිණි. ටික වේලාවකින් වෙඩි ශබ්දයක් ඇසිණු බව කියැවිණි. අලුත්ගේ දොන් හෙලේනිස් බිම වැටී සිටියේය.
හෙලේනිස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිසිය හතර දෙනෙක් අත්අඩංගුවට ගත්හ. පළමු සැකකරු වූයේ නිවැසි කාන්තාවගේ සැමියා (රිමාන්ඩ් භාරයේ සිටි) අතින් ඝාතනය වී යැයි කියන පුද්ගලයාගේ සහෝදරයාය. අවට ප්‍රදේශවාසී හතර දෙනකු අත්අඩංගුවට පත් විය. නීතිපතිවරයා ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කළේය. ඒ සිද්ධියෙන් වසර 12කට පසු 2000 වසරේ දීය.
1988 පෙබරවාරි 24 වැනිදා හෝ ඊට ආසන්න දිනක දී හානියක්, හොරකමක් සහ අනර්ථයක් වන බව දැන දැනම නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම, නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වෙමින් හෙලේනිස්ගේ ඝාතනය සිදු කිරීම, හෙලේනිස්ගේ නිවසට රුපියල් 28650 අනර්ථයක් සිදු කිරීම, නිවැසි කාන්තාවකගේ රුපියල් 45500ක් වටිනා රන් භාණ්ඩ කොල්ලකෑම ඇතුළු චෝදනා 12ක් නීතිපතිවරයා ගොනු කළේය.
චෝදනා පත්‍ර භාර දීමෙන් පසු තමන් එම චෝදනාවලට නිවැරදිකරුවන් බව චූදිතයෝ ප්‍රකාශ කළහ. ඒ අනුව මහාධිකරණයේ දී නඩුව විභාග විය. තීන්දුව ලැබුණේ 2014 වසරේ දීය. ඒ නඩුව පවරා වසර 14කට පසුවය. හෙලේනිස් ඝාතනය වී වසර 26කට පසුවය. මහාධිකරණ විනිසුරුවරිය චූදිතයන් හතර දෙනාටම චෝදනා 12න් 08කටම වැරදිකරු කළාය.
දඬුවම් නියම කිරීමේදී එක් විත්තිකරුවකු ඉතා කනගාටුවෙන් යුතුව මෙසේ කීවේය.
“මට ළමයි තුන් දෙනෙක් ඉන්නවා. මම මේ කිසිම දේකට සම්බන්ධ නෑ. පොලිසිය මාව බොරු නඩුවකට පටලවලා තියෙන්නේ.”
තවත් විත්තිකරුවකු මෙසේ කීවේය.
“මට හරියට ඇවිදගන්නත් බෑ. මට හරියට කතා කරන්නත් බෑ. කිසිම සාක්කියක් නැතුව මට බොරුවට දඬුවම් කරන්නේ.”
මහාධිකරණ විනිසුරුවරිය දඬුවම් නියම කළාය. ජනාධිපතිවරයා විසින් නියම කරන දිනක, නියම කරන තැනක, නියම කරන වේලාවකදී චූදිතයන් හතර දෙනාගේ ප්‍රාණය නිරුද්ධ වන තුරු එල්ලා තැබීමට නියම කරමින් මහාධිකරණ විනිසුරුවරිය මරණීය දණ්ඩනය නියම කළාය. ඊට අමතරව එකතුව වසර වසර 8යි මාස 6ක් වන සිර දඬුවමක් ද නියම කෙරිණි.
දඬුවමට එරෙහිව ඊට ටික දිනකට පසු ඔවුහු අභියාචනාධිකරණයට අභියාචනා කළහ. 2014 දී ගොනු කළ අභියාචනය අධිකරණයේදී ඇදි ඇදී ගිය කාලය වසර 11කි. 2025 අප්‍රේල් 25 වැනිදා ද අභියාචනාධිකරණය ඉදිරියේ නඩුව කැඳවිණි. ඒ. පී. කුමාරත්නම් සහ ආර්. පී. හෙට්ටිආරච්චි යන විනිසුරුවරුන් දෙදෙනා ඉදිරියේදීය. නඩුව විභාග කිරීම සඳහා කරුණු දැක්වීම එදින සිදු කරන ලෙස නියෝග කෙරිණි. ඒ අනුව කරුණු දැක්වීම් සිදු කර අවසන් කෙරිණි. නඩුවේ තීන්දුව සඳහා මැයි 15 දින කැඳවීමට නියම කෙරිණි. ඒ මෙම නඩුවේ තත්ත්වය ගැන විනිසුරුවරුන් මනාව වටහා ගත් නිසා විය යුතුය.
නඩුව විභාග කර සති තුනකටත් අඩු කාලයකදී තීන්දුව ප්‍රකාශයට පත් කළේය. තීන්දුව ප්‍රකාශයට පත් කළේ කුමාරරත්නම් විනිසුරුතුමන් විසිනි.
නඩුව විභාග කළ මහාධිකරණ විනිසුරුවරිය මේ නඩුවේ සාක්කිකරුවන්ගේ සාක්කි නිසි ලෙස විශ්ලේෂණය කර නොමැති බවත්, චූදිතයන් විත්තිකූඩුවේ සිට කළ ප්‍රකාශ සලකා බලා නොමැති බවත්, ඒ දෙකම නොමැතිව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති බවත් අභියාචනාධිකරණය සඳහන් කළේය.
“විනිශ්චයන් සම්පාදනය කිරීම විනිසුරුවරයෙකුගේ රාජකාරියේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස සහ අධිකරණයක ක්‍රියාකාරිත්වයේ මූලික අංගයක් ලෙස සැලකේ. හොඳින් ලියා ඇති තීන්දුවක් යුක්තිය සාධාරණව හා විනිවිදභාවයෙන් යුතුව ලබා දෙන බව සහතික කරන අතර තීන්දුව පිටුපස ඇති තාර්කිකත්වය පිළිබඳ පැහැදිලි බවක් ලබා දෙයි. හොඳ විනිශ්චයක් කරුණු මෙන්ම නීතිය පිළිබඳව ද නිවැරදි විය යුතු අතර, එම නිසා, ශෛලිය හා දක්ෂතාවය ද්විතීයික අංගයක් බවට පත්වේ. කෙසේ වෙතත්, විනිශ්චය කරුණු සහ නීතිය පිළිබඳව නිවැරදි යැයි උපකල්පනය කිරීමේදී, තීන්දුව ඉදිරිපත් කිරීම සැලකිය යුතු වැදගත්කමක් දරයි. එබැවින්, එවැනි බලපෑම්කාරී තීරණයක් සකස් කිරීමේදී සහ ලබා දීමේදී යුක්තිය ඉටු කිරීමට උත්සාහ කිරීමට විනිසුරුවරයා සැලකිලිමත් විය යුතුය.” යනුවෙන් අභියාචනාධිකරණය තම තීන්දුවේදී සඳහන් කළේය.
එසේම මෙම නඩුවේදී, අභියාචකයින්ට නීති විරෝධී රැස්වීමේ චෝදනාවට අමතරව මිනීමැරුම්, අකටයුතුකම් සහ මංකොල්ලකෑම් චෝදනා එල්ල කර වරදකරුවන් කරන ලදී. එබැවින්, විත්තිකරුවන් පස් දෙනකු හෝ වැඩි ගණනක් නීති විරෝධී පොදු අරමුණක් සමග එකතු වී වැරදි සිදු කළ බවට සාක්ෂි ඉදිරිපත් කිරීම පැමිණිල්ලේ යුතුකම වේ. එබැවින්, අධිචෝදනා පත්‍රයේ දක්වා ඇති වැරදි සිදු කරන විට අභියාචකයා නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් ද යන්න ඔහුගේ තීන්දුවේ පැහැදිලි කිරීම නඩු විභාග විනිසුරුවරයාගේ යුතුකම වේ.” යනුවෙන් සඳහන් කළ අභියාචනාධිකරණය වැඩිදුරටත් මෙසේ ද නිරීක්ෂණය කර තිබිණි.
“මෙම නඩුවේදී, උගත් නඩු විභාග විනිසුරුවරිය තම තීන්දුවේ කොතැනකවත් නීති විරෝධී රැස්වීමක් යනු කුමක්ද සහ අභියාචකයින්ට ඔවුන්ට එල්ල වී ඇති වැරදි සිදු කිරීමට පොදු අරමුණක් තිබේද යන්න පැහැදිලි කර නැත. උගත් මහාධිකරණ විනිසුරුවරිය ඇගේ තීන්දුවේදී සඳහන් කර ඇත්තේ නඩු විභාගයේදී ඉදිරිපත් කරන ලද සාක්ෂි නීති විරෝධී රැස්වීමකට සහාය දක්වන බවයි,ිඅභියාචකයින්ට එරෙහි චෝදනාවල අඩංගු කරුණු සාධාරණ සැකයකින් තොරව තහවුරු කර තිබේද යන්න සලකා බැලීමට සහ සොයා ගැනීමට උගත් මහාධිකරණ විනිසුරුවරයා අපොහොසත් වී ඇත.’, “මෙම නඩුවේදී, නඩු විභාග විනිසුරුවරිය විසින් ලබා දුන් තීන්දුව පරීක්ෂා කිරීමේදී, උගත් මහාධිකරණ විනිසුරුවරිය අභියාචකයින්ගේ විත්ති කූඩුවේ සිට කළ ප්‍රකාශ සාධාරණ ලෙස විශ්ලේෂණය කිරීමට අපොහොසත් වී ඇති බවත්, එමඟින් ඔවුන්ට සාධාරණ නඩු විභාගයක් ලබා දීමට අපොහොසත් වී ඇති බවත් පැහැදිලිවම පෙනී යයි. විත්ති කූඩුවේ ප්‍රකාශය සලකා බැලීමේ වැදගත්කම ශ්‍රේෂ්ඨාධිකරණ විසින් තීන්දු කිහිපයකදී සාකච්ඡා කර ඇත. කෙසේ වෙතත්, එහි සාක්ෂි වටිනාකම විත්තිකරුවකු විසින් සාක්ෂි කූඩුවෙන් ලබා දෙන සාක්ෂිවලට වඩා අඩුය.”ිමෙම තීන්දුව පරීක්ෂා කිරීමේදී, උගත් නඩු විභාග විනිසුරුවරිය පැමිණිල්ලේ සාක්ෂිකරුවන් විසින් ලබා දුන් සාක්ෂි පමණක් විස්තර කර ඇති බව පැහැදිලි වේ. උගත් මහාධිකරණ විනිසුරුවරිය ඇගේ තීන්දුවේ සාක්ෂි සහ නීතිමය මූලධර්ම ප්‍රමාණවත් ලෙස විශ්ලේෂණය කර ඇගයීමට අපොහොසත් වී ඇත. එබැවින්, තීන්දුව නිසි තීන්දුවක් ලෙස සැලකිය නොහැකිය. නඩු විභාග අධිකරණ විසින් නිසි තීන්දුවක් ලබා දී නොමැති විට, අභියාචනාධිකරණයකට එළඹිය හැකි එකම නිගමනය වන්නේ මහාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරන ලද තීන්දුව අවලංගු බව ප්‍රකාශ කිරීමයි.”
ඉහත පරිදි දීර්ඝ තීන්දුවක් ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණය මහාධිකරණ විනිසුරුවරියගේ තීන්දුව අත්හිටුවමින් චූදිතයන් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය.
චූදිතයන් නිදහස් කරන විට අභියාචනාධිකරණයට අභියාචනය යොමු කර වසර 11ක් ගත වී තිබිණි. අධිචෝදනා ගොනු කර වසර 15ක් ගත වී තිබිණි. හෙලේනිස් මරණයට පත්වී වසර 37ක් ගතවී තිබිණි. මෙහි ඇති බරපතලම කාරණය වන්නේ එය නොවේ. ඒ වන විට සැකකරුවන් වසර 11ක් තිස්සේ දඬුවම් විඳිමින් බන්ධනාගාර ගතවී සිටීම නිසාය.
ඊටත් වඩා කනගාටුදායක කාරණය නම්, තීන්දුව ලැබෙන විට මහාධිකරණයෙන් වැරදිකරු කරමින් බන්ධනාගාර ගතව සිටි සැකකරුවන් දෙදෙනකු මරණයට පත්වී තිබිණි. තමන් නිදහස් බව ඇසීමටවත් ඔවුන් ජීවතුන් අතර නැත. වැරදිකරුවන් ලෙසම මියැදෙන්න ඔවුන්ට සිදුවිය. අවසානයේ වින්දිතයන්ට සහ චූදිතයන්ට යන දෙපිරිසටම යුක්තිය අහිමි විය.
නඩු ගොනුව අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ නඩු විභාගය ප්‍රමාද වී ඇත්තේ අධිකරණ ක්‍රමයේ පවතින දෝෂයක් නිසාම නොවන බවයි. නීතිඥවරුන් විසින් දින අයැදීම, නීතිපති දෙපාර්තමේන්තුව දින ඇයදීම, නඩු පැවරීමේ ප්‍රමාදය ඇතුළු හේතු ගණනාවක් යුක්තිය පමා වීමට (යුක්තිය අහිමි වීමට) හේතු වී තිබිණි.
සිදු විය යුත්තේ ඔළුගෙඩි මාරුවක් නොව පද්ධතියේ වෙනසක් බව පෙන්වාදීමට මුල සිට මේ නඩුව අධ්‍යයනය කිරීමම ප්‍රමාණවත් වේ. සමස්ත පද්ධතියේම වෙනසක් තුළින් තත්ත්වය වෙනස් නොකළහොත් ‘යුක්තිය පමාවීම යුක්තිය ප්‍රතික්ෂේප කිරීමකි’ යන්න කියමින් තවත් කාලයක් සිටින්නට පිළිවන.
තරිඳු ජයවර්ධන