සිහින විලේ නිලුපුල්
පැතුම් ජලාශයේ
ඔබ කා නමින්ද පිපුණේ
මල් මානවිකාවී
කැකුළු වියේ බිලිඳුන්
සුපෙම් උදානයේ
ඔබේ රුවයි පතන්නේ මා ජීවිතේ පුරා

එච්.ආර්. ජෝතිපාල සහ ලතා වල්පොල ගායනා කරනු ලබන මෙම ගීතය අඩංගු වන්නේ 1978 වසරේ තිරගත කරනු ලැබූ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ අනුපමා සිනමා නිර්මාණයේය. ඔබ දන්නවාද මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන්න අපේ රටේ නිළි රැජින මාලිනි ෆොන්සේකා වගේම විජය කුමාරතුංගත්, ඇලරික් ලයනල් ප්‍රනාන්දුත් දායක වුණා කියලා. ඉතිං මහාචාර්ය තුමාව සිනමාවට කැඳවාගෙන එන්න අප අතරින් සදහටම සමුගත් මාලිනි ෆොන්සේකාත් සම්බන්ධ වී තිබෙන වග ඔබ දන්නවාද? මේ වේලාවේ මාලිනි ගැන කතාබහ කරන්න මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට අපි පුංචි ආරාධනාවක් කළා.

මගේ සිනමාවේ ප්‍රථම නිෂ්පාදිකාව මාලිනි ෆොන්සේකා. මොකද මම අනුපමා කියන චිත්‍ර කතාව චිත්‍රපටයක් බවට පත් කරන්න හදනකොට මුලින්ම ඒ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නට අතහිත දුන්නේ තුන්දෙනෙක්. ඒ තමයි විජය, මාලිනි සහ ඇලරික් ලයනල් ප්‍රනාන්දු. මොකද අනුපමා චිත්‍ර කතාව කොයිතරම් ජනප්‍රිය වෙලා තිබුණද කිව්වොත් එහෙම, ඒ චිත්‍ර කතාවේ හිටපු මාර්තාගේ චරිතය කරන්න මාලිනි ආසාවෙන් හිටියා. ඒ කතාන්දරයේ හිටපු අසිතගේ චරිතය රඟපාන්න විජය කුමාරතුංග කැමැත්තෙන් හිටියා. ඒක නිසා මම මේ චිත්‍ර කතාව චිත්‍රපටයක් බවට පත්කරන කොට ඒ දෙදෙනාම ඉදිරිපත් වුණා මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්න. ඒ එක්කම ඇලරික් ලයනල් ප්‍රනාන්දු. ඔහු මට මුල්වරට මුණගැසුණේ ඒ අවස්ථාවේදී. මේ තුන්දෙනා එකතුවෙලා නිෂ්පාදන සමාගමක් ලියාපදිංචි කළා වාසනා චිත්‍රපට කියලා. ඒ වාසනා චිත්‍රපට සමාගමෙන් තමයි අනුපමා කියන චිත්‍රපටය නිෂ්පාදනය කළේ. ඒ නිසා මගේ ලොකු ගෞරවයක් සහ කෘතවේදීත්වයක් තිබෙනවා මාලිනිට.
එකම දේ මම මාලිනිව විජයව දන්නේ සිනමාවේදී පමණක් නෙවෙයි. මම මාලිනිව මුලින්ම දන්නේ වේදිකාවේදී. මාලිනි සාමාන්‍ය වේදිකා නිළියක් බවට පත්වෙලා ඉන්න කාලේ එරබදු මල් පොට්ටු පිපිලා කියන වේදිකා නාට්‍යයේ රඟපෑවා. ඒ නාට්‍ය රචනා කරලා අධ්‍යක්ෂණය සිදු කළේ එස්. කරුණාරත්න කියන නාට්‍යවේදියා. ඒ නාට්‍යයේ වේදිකා පරිපාලනය කළේ මම. ඒ තමයි මගේ මුල්ම හඳුනාගැනීම.
එතකොට විජය සිනමාවට එන්න කලින් ප්‍රේමසිරි කේමදාසගේ සිතිජය කියන ඔපෙරා එකේ රඟපෑවා. එතකොට සිතිජයට මම මගේ සහෝදරයා වන තිලකරත්න කුරුවිට බණ්ඩාර එක්ක සින්දු ලිව්වා.
මම අනුපමා චිත්‍රපටයට මේ දෙදෙනා සම්බන්ධ කරගන්න කොට මට ඊට කලින් දැන හැඳුනුම්කම් තිබුණා. මාලිනි මගේ චිත්‍රපට ගණනාවක රඟපෑවා. ඒ කියන්නේ අනුපමා, බඹර ගීතය, උප්පලවන්නා, ආදී චිත්‍රපට ගණනාවක රඟපෑවා. ඇත්තටම මාලිනි වගේ ශිල්පිනියක් රටකට පහළ වෙන්නේ ඉතාම කලාතුරකින්. මම හිතන්නේ අවුරුදු සිය ගණනකට එක්කෙනයි. අපි මහා වාසනාවන්තයෝ මාලිනි ෆොන්සේකා වගේ නිළියක් පහළ වෙච්ච කාලයක ජිවත්වීම ගැන. මොකද අපි ඇයගේ රංගන ප්‍රතිභාව දැකගන්න පුළුවන් වෙච්ච අය. දැන් කාටද පුළුවන් විශිෂ්ටත්වයත් ජනප්‍රියත්වයත් එකසේ පවත්වාගෙන යන්න. එතකොට මාලිනි ෆොන්සේකා කියන්නේ තමන්ගේ විශිෂ්ටත්වයත්, ජනප්‍රියත්වයත් එකසේ පවත්වාගෙන ගිය නිළියක්. එක පැත්තකින් නිධානය වගේ චිත්‍රපටයක රඟපාන අතරේ අනෙක් පැත්තෙන් කවුද රජා වගේ චිත්‍රපටයකත් රඟපානවා. ඒ චිත්‍රපටයත් ජනප්‍රිය වෙනවා. නිධානයෙන් ඇය සම්මානනීය නිළියක් බවට පත්වෙනවා. ඇයගේ සමස්ත ජීවිතය ගත්තොත් මේ ප්‍රධාන ධාරාවන් දෙකේ චිත්‍රපටවල ඇය රඟපෑ හැටි දකින්න පුළුවන්. ඇය රඟපෑ ජනප්‍රිය ධාරාවේ චිත්‍රපට සියල්ලම වාණිජමය වශයෙන් සාර්ථක වුණා. ඒ වගේම ඇය රඟපෑ විශිෂ්ට ගණයේ චිත්‍රපටවල ඇය අතිශය දක්ෂ රංගන කෞශල්‍යයක් නිරූපණය කළා. ඒ නිසා මම හිතන්නේ අපට එබඳු නිළියක් නැවත හමුවෙන්නේ නැහැ. නිළි රැජන කියන නම කවුරුවත් කතා කරලා අඬගසලා දුන්නේ නැහැ. මේක ඇයට සමාජය විසින් ප්‍රදානය කරපු ගෞරව නාමයක්. දැන් ගාමිණී ෆොන්සේකාට සිනමා සක්විති කියන නම කවුරුවත් අඬගහලා දුන්නේ නැහැ. ඒක සමාජය විසින් ඔහුට ප්‍රදානය කළා. නිළි රැජන කියන නම කාටවත් බලහත්කාරයෙන් ගන්න බැහැ. කාටවත් දෙන්නත් බැහැ. මේක සමාජය විසින් ප්‍රදානය කරන එකක්. ඒක නිසා අපිට සදාකල් නිළි රැජන වුණා. අපිට හිතාගන්න බැහැ තවත් කී කාලයකට, මම හිතන්නේ අපේ ජීවිත කාලෙට නම් නිළි රැජනක් නැවත පහළ වෙන්නේ නැහැ. ඒ නිළි රැජන ජීවත්වෙච්ච කාලේ අපිටත් ජීවත්වෙන්න ලැබුණා. ඇයගේ විශිෂ්ට සහ ජනප්‍රිය කියන ශානර දෙකේම චිත්‍රපට අපිට රසවිඳින්න ලැබුණා. ඒ නිසා අපි වාසනාවන්තයන්, ඒ දහරා දෙකේම චිත්‍රපට රසවිඳින්න ලැබීම සම්බන්ධයෙන්. ඒ වගේම අපි සතුටු වෙන්න ඕනෑ අධ්‍යාපනික පැත්තෙන් ඇයට සෞන්දර්ය කලා විශ්වවිiාලයෙන් ආචාර්ය උපාධියක් පිරිනැමුවා. ඒක ඇයගේ රංගන කුසලතාවට ලැබෙන්න පුළුවන් උපරිම ගෞරවය තමයි ඒ ලැබුණේ. ඒ ගැනත් අපිට සතුටුවෙන්න පුළුවන්. ඇය ඇත්ත වශයෙන්ම ජීවිතයේ දුක්වින්ද දෙයක් ඇයට නැහැ. ඇය ජීවිත කාලය තුළදී ලබන්න පුළුවන් සියලු ගෞරව සම්මානවලින් පිදුම් ලබපු කාන්තාවක්. ඒ වගේම ඇය අතින් විවිධ අවස්ථාවලදී දේශපාලනික වශයෙන් හෝ භෞතික වශයෙන් වැරදි සිදුවුණා. නමුත් අපේ රටේ රසික ජනතාව ඇයට තියෙන ආදරය නිසා ඒ සියල්ල අමතක කළා. මම හිතන්නේ කිසි කෙනෙක් ගත වූ කාලයේදී ඇයට දෝෂාරෝපණය කරන කෙනෙක්, දොස් කියන කෙනෙක් අපිට අහන්න දකින්න ලැබුණේ නැහැ. ඒකට හේතුව ඇයගේ අතින් සිද්ධවෙච්ච යම් යම් වැරදි සියල්ලටම මේ රටේ රසික ජනතාව සමාව දුන්නා. ඇයව ආදරයෙන් වැලඳගත්තා. ඒක නිසා ඇය හැමදාමත් මේ රටේ ජනප්‍රියම නිළිය, විශිෂ්ටතම නිළිය.
අනුපමා කරන කාලේ විජය මාලිනි අතරේ යම් යම් නොහොඳ නෝක්කාඩු ඇතිවෙලා තියෙන කාලේ චිත්‍රපටය රූගත කරන්න සෑහෙන කාලයක් ගියා. එක්තරා කාලයකදී ඒ දෙදෙනා අතර නොහොඳ නෝක්කාඩු ඇතිවෙලා තිබුණා. එතකොට ඒ නොහොඳ නෝක්කාඩු ඇතිවෙලා තිබුණත් අපිට සිද්ධ වුණා චිත්‍රපටයේ අවසාන රූපරාමුව මාර්තා තියන අසිතගේ මව අසිතට පිහියෙන් ඇනලා අසිතව මරා දමනවා. ඇයගේ උකුල උඩ නිදාගෙන ඉන්නේ අසිත. ඒ රූපගත කිරිම් කරන කාලේ මේ දෙදෙනා අතරේ තදබල විරසකයක් තිබුණා. අපි රූගත කිරීම් කලේ කල්පිටියේ. ඇලරික් ලයනල් ප්‍රනාන්දු මේ දෙදෙනා නවත්වලා තිබුණේ තැන් දෙකක. එකිනෙකා මුහුණ බලන්නේ නැති මොහොතක පවා අසිතව උකුල උඩ තියාගෙන අසිතගේ මව පිහියෙන් ඇනලා ඔහුව මරාදමන දර්ශනයක් රූගත කිරීම් සිදුකළා. මට ඒක අමතක නොවන අවස්ථාවක්. කොහොම වෙතත් ඇයගේ වියෝව අපි හදවතින්ම හඬා වැලපෙන අවස්ථාවක්.
දිනේෂ් විතාන