වසර 11කට පසු පන්ජාබ් කිංග්ස් අවසාන තරගයට
පන්ජාබ් නායක ෂෙයාර්ස් අයියර්ගේ වගකීම්සහගත පිතිකරණය හමුවේ වසර 11කට පසු ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියක අවසාන මහා තරගයකට සුදුසුකම් ලබන්නට පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට හැකියාව ලැබිණි. ඒ අවසන් වටයේ තෙවැනි තරගයේදී තියුණු සටනකින් පසු 5 වතාවක් අයි.පී.එල්. ශූරයන් වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත්කරමිනි.

පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ ජයග්‍රහණයේ වගකීම සිය කරමතට ගත් නායක ෂෙයාර්ස් අයියර් සිය සටන ලෙහෙසියෙන් අතහැරීමට අකමැති වෙද්දී 18 වැනි පන්දු වාරයේදී ඔවුන්ට හිමිවූ ඉලක්කය වූයේ ලකුණු 23කි. එම පන්දු වාරය යැවීමේ වගකීම මුම්බායි නායක හර්දික් පාණ්ඩ්‍යා අශ්වානි කුමාර්ට පවරූ අතර, පන්ජාබ් නායක ෂෙයාර්ස් අයියර් මුම්බායි කණ්ඩායමෙන් එම ජය උදුරා ගත්තේ එම පන්දු වාරයේදී දැවැන්ත හයේ පහර 4ක් ද එල්ල කරමින් වීම විශේෂත්වයක් විය.
ඒ අනුව තරගය කඩුලු 5කින් ජයගත් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම වසර 11කට පසුව අයි.පී.එල්. අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලබාගත්තේය.
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් සටනට පන්ජාබ් කිංග්ස් සහ රෝයල් චැලේන්ජ් බැංගලෝර් 3 වැනිදා තරග බිමට පිවිසෙන්නේ සිය කුලුඳුල් අයි.පී.එල්. කුසලානයක පහස විඳගැනීමට වීම විශේෂ සිදුවීමකි.
කෙසේ වුවද පෙරේදා (01 දා) රාත්‍රියේ අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ෂෙයාර්ස් අයියර් පළමුව පන්දුවට පහරදීමේ වාරය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට භාර කළේය.
ඒ අනුව පළමුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 203ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත්විය. කෙසේ වුවද ලකුණු 204ක දැවැන්ත ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි පන්ජාබ් කිංග්ස් ක්‍රීඩකයෝ පන්දු වාර 19ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 207ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත්විය.
මෙම ජයග්‍රහණයත් සමගම මෙවර 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසාන මහා තරගයේ තම ස්ථානය වෙන්කර ගැනීමට ද පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට හැකිවිය.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී සූර්යකුමාර් යාදෙව් පන්දු 26කින් ලකුණු 44ක්, තිලක් වර්මා ලකුණු පන්දු 29කින් ලකුණු 44ක්, ජොනී බෙයාර්ස්ටෝ ලකුණු 38ක්, නමාන් ඩිර් ලකුණු 37ක් සහ හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 15ක් ලැබීය.
පන්දු යැවීමේදී හස්මතුල්හ් ඔමරසායි ලකුණු 43කට කඩුලු 2ක්, මාර්කස් ස්ටොයිනීස් ලකුණු 14කට 1 කඩුල්ලක්, විජයකුමාර් වියාෂ්ක් ලකුණු 30කට 1 කඩුල්ලක්, කිලී ජේමිසන් ලකුණු 30කට 1 කඩුල්ලක් සහ යස්වේන්ද්‍ර චහල් ලකුණු 39කට එක් කඩුල්ලක් බිඳහෙළීය.
පන්ජාබ් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී නායකත්වයේ සුපිරි ඉනිමක් දියත් කළ ෂෙයාර්ස් අයියර් පන්දු 41කට මුහුණදෙමින් හයේ පහර 8ක් සහ හතරේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 87ක් ලබාගැනීමට සමත්වූ අතර, ඊට අමතරව නිහාල් වදේරා පන්දු 29කින් ලකුණු 48ක්, ජොස් ඉංග්ලිෂ් පන්දු 21කින් ලකුණු 38ක් සහ ප්‍රියන්ෂ් ආර්යා පන්දු 10කින් ලකුණු 20ක් ලැබීය.
පන්දු යැවීමේදී අශ්වානි කුමාර් ලකුණු 55කට කඩුලු 2ක්, හාර්දික් පාණ්ඩ්‍යා ලකුණු 19කට 1 කඩුල්ලක් සහ ටේරන්ට් බෝල්ට් ලකුණු 38කට 1 කඩුල්ලක් දවාලීය.
තරගයේ වීරයා ලෙස පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ෂෙයාර්ස් අයියර් සම්මාන ලැබීය.
සිසිර ඉන්ද්‍රජිත්