නවක පිතිකරු සහිබ්සාඩා ෆර්හාන්ගේ විශිෂ්ට පිතිහරඹයත්, අබ්රාර් අහමඩ්ගේ කැපීපෙණෙන පන්දු යැවීමත් හේතුවෙන් සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර, තරග 3කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ දෙවැනි තරගයෙන් ද ලකුණු 57ක ජයක් ලබමින් තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලි ජය පාකිස්තානය සතුකර ගැනීමට සමත්විය.
පෙරේදා (31 දා) ලාහෝර්හිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් සත්කාරක පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 201ක් ලබාගැනීමට සමත්වූ අතර, ලකුණු 202ක ඉලක්කයක් හඹායෑඹ සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට පාකිස්තාන පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් ලබාගැනීමට හැකියාව ලැබුණේ පන්දුවාර 19ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 144ක් වීම හේතුවෙන් ලකුණු 57ක ජයක් පාකිස්තානයට හිමිවිය.
පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී සහිබ්සාඩා ෆර්හාන් ලකුණු 74ක්, හසන් නවාස් ලකුණු 51ක්, මොහොමඩ් හැරිස් ලකුණු 41ක් සහ සල්මාන් අගා ලකුණු 19ක් ලැබීය.
පන්දු යැවීමේදී හසන් මොහොමඩ් ලකුණු 47කට කඩුලු 2ක්, තන්ෂිම් හසන් ලකුණු 36කට කඩුලු 2ක් දවාලීය.
බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී තන්ෂිම් හසන් ශඛීබ් ලකුණු 50ක්, තන්ෂිඩ් හසන් ලකුණු 33ක් සහ මෙහෙදී හසන් ලකුණු 23ක් ලැබීය.
පන්දු යැවීමේදී අබ්රාර් අහමඩ් ලකුණු 19කට කඩුලු 3ක් බිඳහෙළීය.
සිසිර ඉන්ද්‍රජිත්