හිටපු ඉන්දීය පන්දු යැවීමේ පුහුණුකරු භාරත් අරුන් ශ්‍රී ලංකාවේදී දින 14ක කාලයක් වේග පන්දු යැවීමේ විශේෂිත පුහුණුවක් ලබාදීමට ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
අද ආරම්භ වන පුහුණු වැඩමුළුව සඳහා ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා ජාතික කණ්ඩායම්වල ක්‍රීඩිකාවන් ද ශ්‍රී ලංකා ඒ නැඟී එන කණ්ඩායමේ අවුරුදු 19න් පහළ සංචිතයේ පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද මෙම වැඩමුළුවට සහභාගි වීමට නියමිතය.
මීට අමතරව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ස්ථාපනය කර ඇති ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවන් මෙන්ම පළාත් පුහුණුකරුවන් සහ ක්‍රිකට් ක්‍රීඩා සමාජවල පුහුණුකරුවන් ද ඔහු සමග කටයුතු කිරීමට නියමිතය.
2014 වසරේ සිට 2021 වසර දක්වා වූ කාලය අතරතුර ඉන්දීය ජාතික කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ලද අරුන්, මෙම පුහුණු වැඩසටහන යටතේ රත් පන්දුවෙන් මෙන්ම සුදු පන්දුවෙන් ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් වෙන වෙනම උපාය මාර්ගික සැසි පවත්වනු ඇත. ඊට අමතරව වේග පන්දු යවන්නන්ගේ තාක්ෂණික සහ කුසලතා වැඩිදියුණු කිරීම වෙනුවෙන් පුහුණු සැසිවලට අමතරව වීඩියෝ තාක්ෂණය උපයෝගී කරගනිමින් සිදුකරනු ලබන විශ්ලේෂණ සැසියක් සහ පුහුණුවීම් නිසි අවබෝධයකට ලක් කිරීම වෙනුවෙන් තරග අවස්ථාද පැවැත්වෙනු ඇත.
අරුන්ගේ ශ්‍රී ලංකාවේ පුහුණු වැඩසටහන ශ්‍රී ලංකා අවු. 19 න් පහළ ජාතික කණ්ඩායමේ පුහුණුවෙන් ආරම්භවනු ඇත.