විටෙක නිවේදිකාවක්. තවත් විටෙක සම්මානනීය ලේඛිකාවක් විදිහටත් ප්‍රේක්ෂක ආදරය දිනූ ඇය නමින් නදී වාසලමුදලි ආරච්චි. අද දවසේ අප ඇයත් සමග කතාබහක නියැළීමට සූදානම් වන්නේ ඇගේ මාධ්‍ය ජීවිතයවත් නැතිනම් ඇගේ ලේඛන කලාවත් පිළිබඳව නොවේ. ඇය විසින් අධ්‍යක්ෂණය කරන ලද ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය වන ‘Pantrum’ සිනමා නිර්මාණය පිළිබඳවය.

නදී වාසලමුදලිආරච්චි සිනමාවට සම්බන්ධ වෙන්න හිතුවේ ඇයි?
මම 1997 වර්ෂයේ තමයි මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ. ඒ කාලේ මාධ්‍ය මේ තරම් ප්‍රබල නැහැ. සිනමාව තමයි ගොඩාක්ම ප්‍රබල. අපිට වීරයෝ හිටියේ සිංහල සිනමාවේ. මාධ්‍ය පටන් ගත්තු මුල් කාලයේදී අපි සම්මුඛ සාකච්ඡා පවත්වන්නේ සිංහල සිනමාවේ වීරයන්ව තමයි. මාලිනී ෆොන්සේකා, ගාමිණී ෆොන්සේකා, ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුමිත්‍රා පීරිස් වගේ දැවැන්තයෝ රැසක් අපිට මුණගැසුණා. ඊටපසු පරම්පරාව වුණු ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර වගේ අයත් මුණගැසෙනවා. එතැනදී තමයි අපිට සිනමා සිහිනය ඇති වුණේ.

මොකක්ද ඔබේ කුලුඳුල් සිනමා නිර්මාණය?
මගේ කුලුඳුල් සිනමා නිර්මාණය ‘Pantrum’. ඒක වෘතාන්ත සිනමා නිර්මාණයක්. මෙහි පිටපත නිර්මාණය වුණෙත් ඉතාම කෙටි කාලයකදී. චිත්‍රපටය නිර්මාණය වුණෙත් ඉතාම කෙටි කාලයකදී. නමුත් ඒ සඳහා අවුරුදු ගණනාවක මගේ අධ්‍යයනයක් තිබුණා. ඊට අමතරව මම මාධ්‍යයෙන් ඉගෙන ගත්තු දේවල් වගේම විවිධ ක්ෂේත්‍රයන්වලදී නියැළී සිටිනකොට ලද අත්දැකීම් භාවිතා කරලා තමයි පිටපත නිර්මාණය වුණේ.

මේ සඳහා රංගනයෙන් දායක වුණු නළු නිළියන් ගැනත් කතාබහ කළොත්?
හේමසිරි ලියනගේ, මයුර පෙරේරා, අනුස්‍රයා සුභසිංහ, දිලක්ෂන් තිරුනකල්, අක්දෙව් ලියනගේ චරිත නිරූපණය කරනු ලබනවා.
‘Pantrum’ සිනමා නිර්මාණය පසුගිය දවස්වල කේරළයේ සිනමා උළෙලකටත් ඉදිරිපත් කළා නේද?
ඉන්දියාවේ කේරළයේ Independent and Experimental Film Festival of Kerala කියන චිත්‍රපට උළෙල නියෝජනය කළා. ජූරිය විසින් ලෝකයෙන්ම චිත්‍රපට හයක් තමයි ඔවුන් එම උළෙලට තෝරාගෙන තිබුණේ. අපි මේ නිර්මාණය ඉදිරිපත් කළේ තරගකාරී නොවන අංශයට. කේරළයේ සිදු කළේ ලෝක සිනමා ප්‍රදර්ශනය. අපිට මේ සිනමා නිර්මාණය තරගකාරී අංශයට ඉදිරිපත් කරන්න අදහසක් තිබුණේ නැහැ. මුළු ලෝකයේම චිත්‍රපට අතරින් තෝරාගත් චිත්‍රපට හයෙන් එකක් තමයි ‘Pantrum’ කියන චිත්‍රපටය. මේ සිනමා උළෙලේ විශේෂ අවධානය ‘Pantrum’ වෙත යොමු වුණා. විශේෂයෙන් මාධ්‍ය ආවරණය වගේම විචාරක අවධානයත් ලැබුණා.
මගේ ‘Pantrum’ චිත්‍රපටය පිළිබඳව කේරළයේ ඵ්ායහ්ප්ප පුවත්පතේ Madhyamam දිනූ කීර්තිමත් විචාරකයෙක්, ලේඛකයෙක්. සිනමා ජූරි සභිකයෙක් වන පී.කේ. සුරේන්ද්‍රන් මහතා විසින් ලියන ලද පිටු 8ක දීර්ඝ ලිපියක් පළවුණා. එම ලිපිය Stabe awards වෙබ් අඩවියේ ද පළ කරන ලදී. අපි මේ උළෙලට සහභාගි වෙන්න කලිනුත් පුවත්පත් 8ක විතර මේ නිර්මාණය පිළිබඳව පුවත සඳහන් වෙලා තිබුණා.
‘Pantrum’ හි කතා තේමාව ගැනත් කතා කළොත්?
මෙහි කතා තේමාව නිර්මාණය වුණේ පශ්චාත් යුද සමයෙන් පසුව අපි කොහොමද මනුෂ්‍යත්වය සොයා ගන්නේ යන්නයි. අපි අතරේ යුද්ධයේදී අහිමි වුණ දේවල් ටිකක් තියෙනවානේ. පශ්චාත් යුද සමයෙන් පසුව මානුෂීය සබඳතාව අලුතෙන් නිර්මාණය කරගන්නේ කෙසේද යන වග තමයි මෙහිදී වැඩිදුරටත් කතාබහ වෙන්නේ.
මේ නිර්මාණය ලංකාවේ ප්‍රේක්ෂකාගාරයට තිළිණ කරන්නේ කවදාද?
දැන් ලංකාවේ සාමාන්‍යයෙන් චිත්‍රපට ප්‍රදර්ශනය ගත්තහම පොඩි පෝලිමක් තියෙනවානේ. වර්තමානයේ චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමා කටයුතු කරලා තියෙනවා මේ වෙද්දී නවක එහෙමත් නැත්නම් කුලුඳුල් සිනමා අධ්‍යක්ෂවරුන්ට අවස්ථාවක් ලබාදෙන්න. එතකොට ඒ පෝලිම එතරම් දිග නැහැ. මම හිතනවා අපිට මේක ලබන අවුරුද්දේ වෙනකොට තිරගත කරන්න පුළුවන් වේවි කියලා. ඔය අතරතුරේ තවත් සිනමා උළෙල කිහිපයකටත් මේ චිත්‍රපටය ඉදිරිපත් කරලයි තියෙන්නේ.
ලංකාව වගේ රටක කාන්තාවක් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා කියන්නේ ලේසි නැහැ.
ඒ අභියෝගය ඔබට කොහොමද දැනුණෙ?
ලංකාවේ අවුරුදු 75කට මඳක් වැඩි ඉතිහාසයේ චිත්‍රපට හදලා තියෙන්නේ එක්දහස් හාරසිය ගණනක්. ඒකෙනුත් කාන්තාවක් චිත්‍රපට අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ චිත්‍රපට පහළොවකට ඉහළ පොඩි ප්‍රමාණයක්. ඒ වගේම ලංකාවේ චිත්‍රපට අධ්‍යක්ෂවරියෝ බිහිවෙලා තියෙන්නේ සීමිත පිරිසක්. ලංකාවේ කාන්තාවකට විතරක් නෙමෙයි පිරිමියකුට පවා මේ ක්ෂේත්‍රය අභියෝගාත්මකයි. මොකද අපේ රටේ චිත්‍රපට කර්මාන්තය ශක්තිමත් නැහැනේ. අනෙක් කාරණාව චිත්‍රපට අධ්‍යක්ෂණය සම්බන්ධයෙන් දැනුමක් ලබාගන්න නිශ්චිත ආයතනයක් නැහැ. නිශ්චිත ක්‍රමවේදයක් නැහැ. අධ්‍යක්ෂණය විතරක් නෙමෙයි සෞන්දර්ය රීතීන් පිළිබඳව හොඳ අධ්‍යාපනයක් ලබාගැනීම සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයක් නැහැනේ. ඔය අතරේ කාන්තාවන්ට විශේෂයෙන් අභියෝගයක්. මොකද මේ ක්ෂේත්‍රය පිරිමි මූලික කරගත් ක්ෂේත්‍රයක්නේ. නමුත් මම විශේෂයෙන් නිවේදිකාවක් වගේම ලේඛිකාවක් විදිහට ගොඩනඟාගත් නමක් තිබුණා.
මම රචනා කරපු පොත් ස්වර්ණ පුස්තක සම්මාන උළෙලට යෝජනා වෙලා තියෙනවා. ඒ වගේම මම ස්වර්ණ පුස්තක සම්මාන උළෙලට ජූරියේ ඉඳලා තිබෙනවා. ඒ වගේම රූපවාහිනි සංස්ථාවේ නාට්‍ය තේරීම් අංශයේ ජූරියේ ඉඳලා තියෙනවා. මට මා ගැන විශ්වාසයක් තිබුණා. ඒක තමයි මේක නිර්මාණය කරන්න තිබුණ ලොකුම විශ්වාසය.
දිනේෂ් විතාන