කාංචනාගේ ඊළඟ පිම්ම
ගායිකාවක් නොවුණා නම්
මම පශු වෛද්‍යවරියක්
කාංචනා අනුරාධි කියලා කියන්නේ බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත් නව පරපුරේ දක්ෂ, ජනප්‍රිය ගායන ශිල්පිනියක්. ඉතිං මේ සුන්දර ගායන ශිල්පිනියගේ හඬින් මෑත කාලයේ හැඩවුණු ගීත කිහිපයක්ම අතිශය ජනප්‍රිය වුණා. ඔපදා, නාදෙන්, ලොවීනා, මායම්, මං ආදරෙයි ඒ ගීත අතරින් කිහිපයකි.

පසුගිය 12 වැනිදා කාංචනාගේ අලුත්ම ගීතය රසික රසිකාවියන්ට තිළිණ කළා. “රඟනා” තමයි කාංචනාගේ අලුත්ම ගීතයේ නම. ඇගේ අලුත්ම ගීතය ගැන වගේම ඇගේ සංගීත වැඩකටයුතු ගැනත් දැනගන්න අපි ඇයට කතා කළා.
කාංචනා කොහොමද ඉතිං?
මගේ වැඩකටයුතු ටික කරගෙන හැමෝම එක්ක ආදරයෙන් හොඳින් සතුටින් ඉන්නවා.

මේ දවස්වල අලුත් වැඩකට සූදානම් වෙනවා කියන්නේ?
ඔව්. ඇත්තටම මේ දවස්වල අලුත්ම වැඩකට සූදානම් වෙනවා. මේක මම කාලයක් තිස්සේ බලාගෙන හිටපු වැඩක්. ඒ වගේම ප්‍රේක්ෂකයනුත් මගෙන් බලාපොරොත්තු වුණ විදිහේ වැඩක්.
එහෙනම් රඟනා ගැන කතා කළොත්?
මේ ගීතය පද රචනය සිදු කරනු ලබන්නේ ලසිත ජයනෙත්ති ආරච්චිගේ. සංගීතය දිල්ෂාන් එල්. සිල්වාගේ. ආලේ මල්, ඔපදා කියන ගීත නිර්මාණය වුණෙත් මේ කණ්ඩායම විසින්මයි. ඒ ගීත දෙකත් ගොඩක් ජනප්‍රියත්වයට පත්වුණා වගේම ආලේ මල් කියන ගීතය සම්මානයට පවා පාත්‍ර වුණා.

ගීතයේ රූප රචනාව ගැනත් යමක් පැවසුවොත්?
රඟනා ගීතයේ රූප රචනාව සිදුකරන්නේ චාරුක දුෂ්‍යන්ත අයියා. මේ ගීතයේ රූප රචනාව ඇතුළත තිබෙන්නේ ප්‍රසංගයක්. නර්තන ශිල්පිනියන් පනහක් මේ සඳහා සහභාගි වෙනවා. රඟනා ගීතයේ රූප රචනාව වයස් භේදයකින් තොරව ඕනෑම කෙනකුට නරඹන්න පුළුවන්.
රඟනා ඔබේ පළමු සික්ස්එයිට් ගීතය නේද?
සික්ස්එයිට් ගීතයක් කියන්නේම හොඳ රිදම් එකක් තියෙන ගීතයක්නේ. ඇත්තටම මේ ගීතයේ තාලය, නාදය, භාවය කියන අංග තුනම හරිම ලස්සනට එකතු වුණ ගීතයක් විදිහට මේ ගීතය හඳුන්වන්න පුළුවන්. මේක මගේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන්ම කරපු නිර්මාණයක්.
මේ වගේ ගීතයක් නිර්මාණය කරන්න හිතුවේ ඇයි?
නිර්මාණකරණයේ යෙදෙන නිර්මාණකරුවෝ විවිධ අරමුණු පාදක කරගෙන නිර්මාණකරණයේ යෙදෙනවා. ඒ වගේම අපේ ප්‍රේක්ෂකයනුත් විවිධ අරමුණු පාදක කරගෙන තමයි රසවින්දනයේ යෙදෙන්නේ. ඉතිං බහුතරයක් අපේ ප්‍රේක්ෂකයන්ගෙන් ගීතයක් අහන්නේ ඇයි කියලා ඇහැව්වොත් ඔවුන් දෙන උත්තරය තමයි, අපි විනෝදාස්වාදය සඳහා තමයි ගීත රසවිඳින්නේ කියන උත්තරය. ඒ වග මම හඳුනා ගත්තේ මගේ සරසවි අධ්‍යාපනයේදී මම කරපු පර්යේෂණයක් මාර්ගයෙන්. ඉතිං ඒකත් එක්ක අපි නිර්මාණකරුවෝ විදිහට අපේ හිතට දැනෙන දේ වගේම අපේ ප්‍රේක්ෂකයන් වැඩිපුර කැමති එහෙම නැත්නම් වැඩිපුර බලාපොරොත්තු වෙන දේ කුමක්ද කියලත් අපේ අවධානය යෙමු කරන්න ඕනෑ. මොකද අපි යම්තාක් දුරක් ආවනම් ඒ ප්‍රේක්ෂකයන් හින්දයි. අපි කොච්චර නිර්මාණ කළත් වැඩක් නෑ, ඒවා ප්‍රේක්ෂකයන් වැලඳ ගන්නේ නැතිනම්. ඒ වගේම ප්‍රේක්ෂකයෝ නැතිනම් අපේ නිර්මාණවලට පණක් ලැබෙන්නේ නෑ. ඒ හින්දම කිසිම වයස් භේදයකින් තොරව ඕනෑම කෙනකුට අහලා රසවිඳින්න පුළුවන් විදිහේ ගීතයක් කරන්න ඕනෑ කියන තැන ඉඳලයි මේ ගීතය නිර්මාණය කළේ.
රූප රචනාවේ රූගත කිරීම් සිදු කළේ කොහේද?
මෙහි රූගත කිරීම් සිදු කළේ එල්ෆින්ස්ටන් සමරු රඟහලේදී. ඇත්තටම මේ වෙලාවේ එහි සියලුම කාර්යමණ්ඩලය මම ආදරයෙන් ගෞරවයෙන් මතක් කරනවා.
ප්‍රසංග වේදිකාවේ වැඩකටයුතු එහෙම?
ඉතාම හොඳින් කරගෙන යනවා. ගෘහස්ථ ප්‍රසංග වගේම එළිමහන් ප්‍රසංග සමබරව පවත්වාගෙන යනවා. ඉතිං කාලය කළමනාකරණය කරගෙන මට හැකි අයුරින් මගේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ප්‍රසංගවලට සහභාගි වෙනවා.
වැඩිපුර ප්‍රසංග භාරගත්තේ නැත්ද?
වැඩිපුරම ප්‍රසංග භාරගත්තෙත් නැහැ. මොකද මම සංගීතඥයෙක් විදිහට නිර්මාණකරණයේ යෙදෙන්න මගේ කාලයෙන් වැඩිපුර වෙලාවක් ඒ වෙනුවෙන් යොමු කරනු ලබනවා. ඉතිං ගායිකාවගේ භූමිකාව වෙනුවෙන් තමයි ප්‍රසංග වේදිකාවට සහභාගි වෙන්නේ. හැබැයි මගේ ජීවිතය තුළ මම ගීත රචනා කරනු ලබනවා. ගීත තනු නිර්මාණය කරනු ලබනවා. ඒ වෙනුවෙන් මට කාලය ගොඩක් අවශ්‍යයි. මොකද මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් මම අවුරුදු පහක කාලයක් කැප කළා. දැන් තමයි මට පූර්ණකාලීනව නිර්මාණකරණයේ යෙදෙන්න කාලය හම්බවුණේ. ඒක හින්දා මම ප්‍රසංග සහ නිර්මාණකරණය සමබරව කරගෙන යනවා.
ළඟදී ඉඳලා පෙනුම එහෙම වෙනස් කරලා. ඇයි ඒ?
පෙනුම වෙනස් කරලා කියලා මට නම් එහෙම දැනෙන්නේ නැහැ. මම හිතන්නේ නැහැ මේ ලෝකේ කිසිම දෙයක් එකම විදිහට පවතින්නේ නැහැ. කාලයත් එක්ක විවිධ වෙනස්කම්වලට මුහුණපාන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට ඒක අපි හිතාමතා කරන දෙයක් නෙමෙයි වෙන්න පුළුවන්. අපි පෙනී සිටින නිර්මාණ වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම හරහා සමහර වෙලාවට අපිට අපේ පෙනුම ඒ අදාළ නිර්මාණවලට අනුව වගේම ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම්වලට අනුව අපේ ඩිසයිනර්ස්ලත් එක්ක පෙනුම වෙනස් කරන්න සිද්ධ වෙනවා. ඒකේ තේරුම, මගේ පෙනුම වෙනස් කරනවා කියන එකම නෙමෙයි. මම හිටිය කෙනාම තමයි. නමුත් ඒ අදාළ නිර්මාණයට අදාළ ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමට අනුකූලව අපිට හැඩගැහෙන්න වෙනවා. ඒ නිසා වෙන්න ඇති ඒ වගේ වෙනසක් දකින්න ඇත්තේ.
අධ්‍යාපන කටයුතු අවසන් කළා නේද?
ඔව්. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ප්‍රාසාංගික වේදිකා ගෞරව උපාධියක් තමයි ලබාගත්තේ. ඉතිං මට පළමු පන්ති සාමාර්ථයක් ගන්න පුළුවන් වුණා. ඒ ගැන ගොඩක් සතුටුයි. වැඩ ගොඩක් මැද්දේ මට ඒ දේවල් කරගෙන යන්න සහයෝගය ලබාදුන්නේ මගේ විශ්වවිද්‍යාලයේ සියලුම දෙනා. ඔවුන් ගෞරවයෙන් ආදරයෙන් මතක් කරනවා. විශේෂයෙන්ම මගෙත් එක්කම හිටපු මගේ යාළුවෝ. ඔවුන් තමයි මට විශේෂ හයියක් වුණේ. ඒ වගේම අධ්‍යාපනය සාර්ථකව අවසන් කරන්න මගේ හෙවණැල්ලක් වුණේ මගේ දෙමාපියෝ.
ඔබේම කියලා ප්‍රසංගයක් කරන්න අදහසක් නැතිද?
මගේම ප්‍රසංගයක් කියන කාරණාව ලොකු හීනයක්. අපි බලමු ඉස්සරහට. ඒ සතුටුදායක ආරංචිය දැනගන්න.
නාදගම ආපහු කරන්නේ නැතිද?
නාදගම ආපහු කරනවා එළැඹෙන සැප්තැම්බර් මාසයේ. ඒ කොළඹින් දුර බැහැර ප්‍රදේශයක. ඔයාල ආස කරන ලස්සන තැනකින් පටන් ගන්නවා. ඒ ගැන දැනට වැඩි විස්තර කියන්න බැහැ.
මේ ආපු ගමන ගැන පසු විපරමක් සිදු කළොත්?
ඇත්තටම මේක බොහොම හෙමින් ආපු ගමනක්. ආපු දුර ගැන වඩාත් සතුටුයි. මේ ගමන එන්න ලේසි වුණේ නැහැ. මම හිතන්නේ නැහැ කිසිම කෙනකුට තමන්ගේ ජීවිතය ලේසි ඇති කියලා. ඉතිං අපි මේ හැම බාධකයක්ම මැද අපේ ජීවිත හරි ලස්සනට ගලාගෙන යන්නේ. හැම මනුස්සයකුගේම ජීවිත හරියට ගංගාවක් වගෙයි. ආපු දුර ගැන ආපස්සට හැරිලා බැලුවොත් ගොඩක් සතුටුයි. සංගීතය නිසා මට ලැබුණු දේවල් අනන්තයි අප්‍රමාණයි. අදටත් එහෙමයි. ඒ අතරින් මට වටිනාම වස්තුව තමයි මගේ ප්‍රේක්ෂකයන්. ඒ ආදරය කවදාවත් මිල කරන්න බැහැ. අනික අපිට ඒ ආදරය කවදාවත් බලෙන් ලබාගන්නත් බැහැ. ඒ ආදරය ලබන්න තරම් මම පින්වන්ත වුණා කියන මහා විශාල හැඟීම හැමවෙලේම දැනෙනවා.
2016 වසරේ මගේ පාසල් කාලයේදී තමයි මේ ගමන පටන් ගත්තේ. අන්තර් පාඨශාලා තරගවලින් ජයග්‍රහණ ලබාගෙන ඒ වගේම රාජ්‍ය සම්මාන ලබාගෙන මම ම බොහොම හිමිහිට මගේ නිර්මාණ කටයුතුවල යෙදිලා හිමිහිට හෙමින්ම ආපු ගමනක්. අද වෙනකොට ජනප්‍රියම ගායිකාව, දක්ෂතම ගායිකාව, ජනප්‍රියම ගීතය සහ වැඩිම වාර ගණනක් නැරඹූ ගීතය මේ ආදී වශයෙන් සම්මානයට පාත්‍රවෙලා තියෙනවා. ඉතිං මේ ජයග්‍රහණ මට ලබාදුන්නේ මම ආදරය කරන සංගීතය. ඒ සංගීතයත් එක්ක මගේ ප්‍රේක්ෂකයන්ගේ ආදරය. මේ දෙක එකතු වුණු තැන මේ සියලුම ජයග්‍රහණ, වටිනාකම් මගේ ජීවිතයට ආරෝපණය වුණේ. මම දන්නේ නෑ මට තව කොච්චර කාලයක් ජීවිතය තියෙනවාද කියලා. අවිනිශ්චිත ජීවිතය තුළ මට ලැබුණු හැම දේම ආපිට මම මේ ලෝකයට දෙනවා සංගීතය හරහාම. ඒක තමයි මට තියෙන ලොකුම සැනසීම.
ඇත්තටම කාංචනා ඔයා ගායිකාවක් නොවුණා නම් මොනවා කරාවිද?
ගායිකාවක් නොවුණා නම් මම හිතන්නේ මම පශු වෛද්‍යවරියක් වෙයි. මොකද මම ඒකට ගොඩක් ආසාවෙන් හිටපු කෙනෙක්.
පෞද්ගලික ජීවිතයේත් ළඟදී ලොකු වෙනසක් වෙන්න යනවා කියන්නේ ඇත්තද?
එහෙම එකක් නැහැ. ආරංචි මාර්ග, කට කතා, ගොසිප් ගොඩක් එන්න පුළුවන්. නමුත් එහෙම කිසිම දෙයක් නැහැ.
රඟපාන්න එහෙමත් ආරාධනා එනවා ඇතිනේ?
රඟපාන්න ආරාධනා බොහොමයක් ලැබෙනවා. නමුත් මම හිතනවා මම ඉපදිලා ඉන්නේ සංගීතය වෙනුවෙන් කියල. ඒ හින්දා සංගීතය තමයි මගේ මුළු ජීවිතයම වෙලා තියෙන්නේ. ඒ එක්ක මගේම නිර්මාණවලට මම රංගනයෙන් දායක වෙනවා. උදාහරණයක් විදිහට, මගේම ගීත රූප රචනාවලට. ඊට අමතරව මම තවම හිතලා නැහැ ඒ දේවල් කරනවාද කියලා.
සංගීත ගමනට ගෙදරින් ලැබෙන සහයෝගය?
ඒක වචනයෙන් කියලා නිම කරන්න බැරි මාතෘකාවක්. මගේ ආරම්භයේ ඉඳලා මම ඉපදුණු දවසේ ඉඳලා මේ මුළු ජීවිත ගමනටම සහයෝගය දුන්නේ මගේ පවුල. මගේ අම්මා, තාත්තා, අක්කා, කිරි අම්මා මේ හැම දෙනාම මට පුදුම ආදරයක් තියෙන්නේ. ඒ හැම දෙනාගේම ධනය, කාලය හැමදේම මම වෙනුවෙන් ලබාදුන්නා. ඒ ශක්තිය ලැබුණු හින්දයි මට සංගීතය පැත්තෙන් මේ තරම් දුරක් එන්න පුළුවන් වුණේ.
වර්තමානයේ මේ ක්ෂේත්‍රය ගැන ඇහෙන කතා ගැන මොනවගේ අදහසක්ද තියෙන්නේ?
ඕනෑම ක්ෂේත්‍රයක් දවසින් දවස දියුණු වෙනවා වගේම ඕනෑම ක්ෂේත්‍රයක අභිවෘද්ධිය වෙනුවෙන් අපි කටයුතු කරන්න ඕනෑ. අපි අද හෙට ගැන විතරක් හිතලා නෙමෙයි අනාගතය ගැන හිතලා තමයි අද දවසේ අපේ වැඩකොටස ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටු කරන්න ඕනෑ. සංගීතය ක්ෂේත්‍රය විවිධ අංගවලින් සමන්විත වෙනවා. ඉතාම පුළුල්ව පැතිරිලා තිබෙන අතිදක්ෂයන්ගෙන් සමන්විත වුණ ක්ෂේත්‍රයක් තමයි සංගීත ක්ෂේත්‍රය. අපි හැමවෙලාවේම උත්සාහ කරන්නේ සමාජයට හොඳ දෙයක් දෙන්න. අපි මේ වෙලාවේ තබන පියවර කොයිතාක් දුරට සාර්ථකද එහෙම නැත්නම් කොයි තාක් දුරකට මේ ක්ෂේත්‍රය නඟාසිටුවන්න හේතුවෙනවාද කියන එක මතයි මුළු ක්ෂේත්‍රයකම අනාගතය තීරණය වෙන්නේ. ඉතිං කවුරු කොහොම මොන විදිහට කිව්වත් කිසි වෙනසක් නැහැ මේ ලෝකේ ස්වභාවය තමයි විවිධත්වය. විවිධ මිනිස්සු විවිධ දේ ගැන විවිධ මත දරන්නේ. ඉතිං ඒ විවිධත්වය ඒ විදිහටම පවතින්න ඕනෑ. නමුත් ක්ෂේත්‍රයක් නඟාසිටුවන්න ප්‍රමිතියක් තිබෙන්න ඕනෑ. එහෙම තිබුණොත් තමයි මේ හැමදේම ලස්සනට ගලා ගෙන යන්නේ.
ඇත්තද පෙම්වතියක් කියන්නේ?
මේ ප්‍රශ්නය මගෙන් හැමදාම හැමෝම අහන දෙයක්. ඉතිං මම පෙම්වතියක් තමයි. මට හැමෝගෙම ආදරය කිසිම අඩුවක් නැතිව ලැබෙනවා. ඉතිං මම ඒ ආදරයෙන් පිරිලා ඉතිරිලා ඉන්නේ. ඒ ආදරයට බොහොම ආදරයෙන් ස්තුතිවන්ත වෙනවා මමත් ඒ හැම දෙනාටම ගොඩාක් ආදරෙයි.
දිනේෂ් විතාන
ඡායාරූප : උපුල් නිශාන්ත