අතුරුදන්ව සිටි බැංකු නිලධාරියකුගේ මළ සිරුරක් ඔහුගේ මවට අයත් පාලු නිවස තුළ වහළයේ එල්ලෙමින් තිබියදී සොයාගත් බව බිබිල පොලිසිය සඳහන් කළේය. මෙලෙස මියගොස් සිටියේ කොළඹ පුද්ගලික බැංකුවක නිලධාරියකු ලෙස කටයුතු කළ බිබිල, යල්කුඹුර, මළබටුහෙළ පදිංචි පී. එම්. ළහිරු සමන් කුමාර නැමති 28 වියති විවාහකයෙකි.
මියගිය අය ඊට පෙර නිවාඩු ලබා තණමල්විල ප්‍රදේශයේ බැංකු නිලධාරිනියක ලෙස කටයුතු කරන සිය බිරිඳගේ නිවසට පැමිණ සිට ඇත. පසුව ඔහු සිය මව පදිංචි බදුල්ලේ නිවසටද පැමිණ එහිද රැඳී සිට ඇත. ඉන් පසු ඔහු නැවත රැකියාව සඳහා කොළඹ ප්‍රදේශයට යන බව පවසා බදුල්ලේ පිහිටි සිය මව දැනට පදිංචි නිවසින් පිටව ගොස් ඇති බවට අනාවරණය වන බව පොලිසිය ප්‍රකාශ කළේය. කොළඹ යන බව පැවසුවද ඔහු දුරකථනවලට ප්‍රතිචාර නොදැක්වීම නිසා පවුලේ පිරිස් ඔහු පිළිබඳ කොළඹ හා විවිධ ප්‍රදේශවල සොයා බලා ඇති බවත් ඔහුගේ
අතුරුදන්වීම පිළිබඳ රාගම පොලිසියටත්, බදුල්ල පොලිසියටත් පැමිණිලි කළ බවද පවුලේ අය පවසති. මේ වන විටත් ඔහුගේ උපන් ගම වූ බිබිල, යල්කුඹුර ඔහු උපන් නිවස වසා දමා පාලුවට ගොස් තිබී ඇත. සිද්ධිය ආරංචි වූ ඔහුගේ උපන් ගමේ පිරිස්ද ප්‍රදේශය පුරා ඔහු සොයා ඇති බව පොලිසිය සඳහන් කළේය. පසුව ඔහුගේ උපන් ගමේ පාලු නිවස දෙස බල්ලකු ඉවකළ බව දුටු අයකු, ජනේලයක් විවර කර බැලීමේදී නිවස තුළ වහළයේ එල්ලෙමින් තිබූ මළ සිරුර දැක ඒ බව පොලිසියට දැන්වූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය. මළ සිරුර පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකරන බව පොලිසිය ප්‍රකාශ කළේය.
මොනරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් එන්. ගුණවර්ධන සහ බිබිල පොලිස් ස්ථානාධිපති එස්.පී.සී.එස්.කේ. සෙනරත් යන මහත්වරුන් ගේ උපදෙස් මත නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
බිබිල – ජේ. රත්නායක