කිසිම පක්ෂයකට බහුතරය නැති
බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන 49න් බහුතර බලය කිසිදු පක්ෂයකට හිමි නොවූ කොළඹ මහ නගර සභාව ඇතුළු ආයතන 21ක පාලන බලය පිහිටුවීමේ මංගල සභා රැස්වීම් පැවැත්වීමේ දිනය ඇතුළත් ගැසට් නිවේදනය පළාත් පාලන කොමසාරිස් කාර්යාලය විසින් අද (03දා) නිකුත් කිරීමට නියමිතය.
ඒ අනුව ලබන සතියේ මුල් භාගයේදී මංගල රැස්වීම් පවත්වා, පාලක පක්ෂය තීරණය කිරීමේ හැකියාව එහි පක්ෂවලට හිමිවෙයි.
එමෙන්ම කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි නොවූ සෙසු පළාත්වල ආයතන 157ක මංගල රැස්වීම් මේ සතියේ හෝ ලබන සතිය මුලදී සිදුවනු ඇති බව වාර්තා වෙයි. සභා රැස්වීම් කැඳවීමේ ගැසට් නිවේදන අදාළ පළාත් සභාවල පළාත් පාලන කොමසාරිස් කාර්යාල මගින් සිදුකරනු ලබයි.
සභා රැස්වීම් කැඳවීම ගැසට් නිවේදනය නිකුත් කර සතියකින් අනතුරුව සිදුකළ යුතුවෙයි.
මේ අතර බහුතර බලය හිමිවූ පළාත් පාලන ආයතන 161 රාජකාරි ආරම්භ කිරීම ඊයේ (2දා) සිට ආරම්භ විය.
එයින් ආයතන 151ක් ජාතික ජන බලවේගයටත්, 06ක් ඉලංකෙයි තමිල් අරසු කච්චියටත්, 02ක් ජාතික කොංග්‍රසයටත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හා ස්වාධීන කණ්ඩායමකට එක බැගින් ද හිමි වී තිබුණි.
බොහෝ ආයතනවල දිවුරුම් දීමේ උත්සවය පැවැති අතර නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ එම දිවුරුම් දීමේ උත්සවය අතරතුර විපක්ෂ සභිකයන් විරෝධය පළකරමින් රැස්වීමෙන් පිටව ගොස් තිබුණි.
මෙවර ප්‍රාදේශීය සභා දෙකකට සභා ධුර සඳහා කාන්තාවන් පත්ව ඇත.
ගාල්ල දිස්ත්‍රික්කයේ එකම සභාපතිවරයා ලෙස බෝපේ – පෝද්දල ප්‍රාදේශීය සභාවේ ලලනි ජයමිනි මහත්මියත්, මහියංගණය ප්‍රාදේශීය සභා සභාපතිනිය ලෙස නීතිඥ උපේක්ෂා විජේතුංග මහත්මියත් පත්ව ඇත.
රනිල් ධර්මසේන