අපි බලය ගන්නවා දෙගොල්ලොම කියති
මන්ත්‍රීවරු බාගන්න තරගයක්
තවත් ආයතන 20ක ප්‍රධානීන් පත් කිරීම මංගල සභාවේදී
කිසිදු පක්ෂයට බහුතර බලයක් නොලැබුණු කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත් කරගැනීම ද සිදුවන මංගල සභාවාරය ලබන 16 වැනිදා පැවැත්වෙන බව බස්නාහිර පළාතේ පළාත් පාලන කොමසාරිස් සාරාංගිකා කල්හාරි ජයසුන්දර මහත්මිය ඊයේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
නගරාධිපතිට අමතරව නියෝජ්‍ය නගරාධිපතිවරයා ද මෙහිදී තෝරා ගැනීමට නියමිතය.
ජාතික ජන බලවේගය හා සමගි ජන බලවේගය නගර සභා බලය හිමිකර ගැනීම සඳහා බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් එකතු කර ගැනීම මේ වනවිට සිදුකරමින් සිටී. ව්‍රායි කැලී බර්තසාර් මහත්මිය ජාතික ජන බලවේගය කොළඹ නගරාධිපතිනිය කිරීමට යෝජනා කර ඇති අතර රිසා සාරුක් මහතා සමගි ජන බලවේගය නගරාධිපති අපේක්ෂක ලෙස යෝජනා කිරීමට සූදානමින් සිටියි.
මෙයට අමතරව බස්නාහිර පළාතේ බහුතර බලය හිමි නොවූ තවත් පළාත් පාලන ආයතන 20ක ආයතන ප්‍රධානීන් පත් කිරීමේ මංගල සභාවාර පැවැත්වෙන දිනයන් ද එම ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව සීතාවක ප්‍රාදේශීය සභාව හා සීතාවක නගර සභාව 17 වැනිදාත්, කොළොන්නාව නගර සභාව 18 වැනිදාත්, පෑලියගොඩ හා වත්තල – මාබෝල නගර සභාවල 18 වැනිදාත්, දොඩංගොඩ ප්‍රාදේශීය සභාව හා බේරුවල නගර සභාව 19 වැනිදාත්, බේරුවල ප්‍රාදේශීය සභාව හා කළුතර ප්‍රා. සභාව 20 වැනිදාත්, කළුතර නගර සභාව හා මිල්ලනිය ප්‍රා. සභාව 23 වැනිදාත්, බණ්ඩාරවෙල ප්‍රා. සභාව හා පානදුර ප්‍රා. සභාව 24 වැනිදාත්, වලල්ලාවිට ප්‍රා. සභාව හා පාලින්දනුවර ප්‍රා. සභාව 25 වැනිදාත්, බුලත්සිංහල ප්‍රා. සභාව හා හොරණ නගර සභාව 26 වැනිදාත්, අගලවත්ත ප්‍රාදේශීය සභාව හා මදුරාවල ප්‍රා. සභාව 27 වැනිදාත්, මතුගම ප්‍රාදේශීය සභාව 30 වැනිදාත් මංගල සභා රැස්වීම් පවත්වයි. මෙයට අමතරව නැඟෙනහිර පළාතේ බහුතර බලය හිමි නොවූ පළාත් පාලන ආයතනවල මංගල රැස්වීම් පැවැත්වෙන දිනයන් ද පළාත් පාලන කොමසාරිස්වරයා විසින් ප්‍රකාශයට පත් කර ඇත.
රනිල් ධර්මසේන