තාප බලාගාරවලට ඉඩ දෙන්න
තාප විදුලි බලාගාර ප්‍රවර්ධනය කිරීම උදෙසා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩාකප්පල් කිරීමේ කූට උත්සාහයක් ක්‍රියාත්මක වන බව බලශක්ති අමාත්‍යාංශ ආරංචිමාර්ග කියයි. අඩු පිරිවැයක් සහිත පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක වීමේදී තාප විදුලි බලාගාර සඳහා ඉල්ලුම අඩුවන බැවින් මෙම සැලසුම ක්‍රියාත්මක වන බව සඳහන් වේ.
2023 වසරේ තාප බලාගාර සඳහා රුපියල් බිලියන 227 ක් වැය කර ඇත. එසේම 2024 වසරේදී එම අගය රුපියල් බිලියන 145කි. වසරක් තුළ රුපියල් බිලියන 82 ක් ලංකා විදුබල මණ්ඩලයට ඉතුරු කර ගැනීමට හැකිව ඇත්තේ රජය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සඳහා වැඩි වශයෙන් යොමුවීම නිසා බව සංඛ්‍යා දත්ත තහවුරු කර ඇත.
එවැනි තත්ත්වයක් තුළ තවදුරටත් පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි රජය යොමු වුවහොත් තාප විදුලි බලාගාර සඳහා වන ඉල්ලුම අඩුවන බැවින් එයින් ප්‍රතිලාභ ලබන පිරිසක් රජයේ මෙම වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පැවසේ.
ඒ අනුව කල්පිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 10.6 ක සුළං විදුලි බලාගාර සම්බන්ධයෙන් වැරදි අර්ථකථන ලබාදී එය කඩාකප්පල් කිරීමට ඉහත පිරිස කටයුතු කරමින් සිටින බවද සඳහන් වේ. එම ව්‍යාපෘති නිසි ක්‍රියා පටිපාටි අනුගමනය කරමින් රාජ්‍ය ආයතනවල සියලු අනුමැතියන් සහිතව මිලට ගැනීමේ ගිවිසුම් අත්සන් කිරීමට ඇති අවස්ථාවක වැරදි අර්ථකථන ලබාදී එය බිඳ වැට්ටවීම සඳහා එකී පිරිස තවදුරටත් කටයුතු කරමින් සිටින බවද කියැවේ. මෙම ව්‍යාපෘතිය ඩොලර් මිලියන 72ක (රුපියල් බිලියන 22 ක) ආයෝජනයක් වන අතර යම් හෙයකින් එය අතරමග නතර කර දැමීමට සිදුවුවහොත් රජයට වැඩි මිලට තාප බලාගාරවලින් විදුලිය ගැනීමට සිදුවනු ඇත.
ඉහත ව්‍යාපෘති සඳහා සියලුම වියදම් පෞද්ගලික අංශයෙන් දැරිය යුතු අතර මෙම බලාගාර පද්ධතියට සම්බන්ධ කිරීමට අවශ්‍ය වන සම්ප්‍රේෂණ රැහැන්/ ට්‍රාන්ස්ෆෝමර් ආදී කටයුතු සඳහා පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 19 ක් (රුපියල් බිලියන 6 ක්) පමණ ආයෝජනය කළ යුතු වේ.
තාප බලාගාර සඳහා ඒකකයකට රුපියල් 75 කට වැඩි මුදලක් ගෙවීම සිදුවන බව කියන අතර පරිසර හිතකාමී සුළං බලාගාරවලින් නිපදවන විදුලි ඒකකයක් වෙනුවෙන් රුපියල් 29 ක් වැනි අඩු මුදලක් වැය වේ.
විශාල පරිමාණයේ සුළං බලාගාර සඳහා ඉඩම් ලබාදීම සහ සම්ප්‍රේෂණ රැහැන් සඳහා යන මුළු වියදම ද රජය මගින් දරනු ලබන අතර ඒ අනුව ඉඩම්වලට සහ සම්ප්‍රේෂණ රැහැන් මාර්ග පද්ධතියට යන වියදම් රජය මඟින් දැරීම නිසා එම බලාගාරවල ඒකකයක මිල අඩුවට ලබාදිය හැකිය.
එනමුත් සම්මත විදුලිය මිලදී ගැනීම් ගිවිසුම් යටතේ ක්‍රියාත්මක ඉහත මෙගාවොට් 10 සුළං විදුලිබලාගාර සඳහා ඉඩමට මෙන්ම සම්ප්‍රේෂණ රැහැන් පද්ධතියට අවශ්‍ය ආයෝජනය වන ඇමරිකානු ඩොලර් මිලියන 19 කට අධික මුදල ආයෝජකයා විසින් දැරිය යුතු නිසා මෙම ක්‍රමවේදය යටතේ ඒකකයක මිල රුපියල් 29.80 ක් ලෙස නියම කර ඇති බව පැවසේ.
සිරිමන්ත රත්නසේකර