විමර්ශන නිලධාරීන් ගැනත් විමර්ශනයක් කරන්නැයි නියෝග
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා ලබන 02දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය ඊයේ (30දා) නියෝග කළාය. ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් වටිනා ජංගම දුරකථනයක් හා පරිගණකයක් ඇතුළු උපකරණ අයථා ලෙස පරිහරණය කිරීමෙන් පොදු දේපළ පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇතැයි කියමින් කොටුව පොලිසිය ඉදිරිපත් කළ වාර්තාවක් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය කළාය.
එමෙන්ම එම සැකකරු සම්බන්ධයෙන් මින් පෙර තම අධිකරණයට ඉදිරිපත් කොට තිබූ බී වාර්තාවල අයථා පරිහරණය නමැති චෝදනාව පමණක් ඇතුළත් කොට තිබියදීත් ඊයේ (30දා) තම අධිකරණයට ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාවේ සැකකරු පොදු දේපළ පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇති බව ද දක්වා තිබීම පිළිබඳ අවධානය යොමු කළ මහෙස්ත්‍රාත්වරිය ඒ සම්බන්ධයෙන් එකී විමර්ශන නිලධාරීන් පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙසට ද බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කළාය.
ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පැවැත්වූ කොටුව පොලිසිය එම සැකකරුව මින් පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි. එහිදී විත්තියේ නීතිඥවරුන් කළ කරුණු දැක්වීම් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය එම සැකකරු ඇපමත මුදාහැර ඊයේ (30දා) නඩුව යළි කැඳවීමට නියෝග කොට තිබිණි.
එලෙස අධිකරණයේ නියෝගය අනුව නඩුව ඊයේ (30දා) කැඳවූ අවස්ථාවේදී සැකකරු අධිකරණය හමුවේ පෙනී සිටියේය.
හල්ලොලුව මහතාට මෑතකදී සිදුව ඇතැයි කියන වෙඩි තැබීමකට ලක්ව ඔහුගේ ලිපිගොනු පැහැර ගැනීමක් වී ඇති බවට වූ සිදුවීමක් තවමත් නොවිසඳුණු කරුණක් බවට පත්වී තිබේ.
ඒ. ජේ. ඒ. අබේනායක