පුංචි සභා 339ම සභික නම් ගැසට් කළත්
සියයට 50 නැති සභා රැස්කිරීම කොමසාරිස් නම් කරන දිනයක
178ක් තවම බැහැ
ගැසට් නොකළ කිසිම නමක් සභිකයකු ලෙස පත් කිරීමට බැහැ
පළාත් පාලන ආයතන 339ටම අදාළව පත්වූ සභිකයන්ගේ (මන්ත්‍රීවරුන්ගේ) නම් ගැසට් මගින් ප්‍රකාශයට පත් කළත් කිසිදු ගැටලුවක් නොමැතිව අද (02දා) රැස්විය හැක්කේ පළාත් පාලන ආයතන 161කට පමණක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්. රත්නායක මහතා ‘දිවයින’ ට ඊයේ (01දා) පැවසීය. ඉතිරි 178 සම්බන්ධයෙන් ගැටලු පවතින බවද ඔහු කීය.
මෙම ආයතන 161ට පත්වූ සභිකයන් අතරින් නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති, උපසභාපති නම් කර ගැසට් මගින් ප්‍රකාශ කර ඇති බවත් එසේ නම් කළේ තනතුරුවලට පත්වූ පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ ඡන්ද ප්‍රතිශතය සියයට පනහ (50%) ඉක්මවා ඇති නිසා බවත් ඒ මහතා කීය.
ඉතිරි පළාත් පාලන 178 අධ්‍යයනය කිරීමේදී කිසිම පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් සියයට පනහ ලබාගෙන නොමැති බවත් ඒ මහතා කීය. එවැනි අවස්ථාවක පළාත් පාලන කොමසාරිස්වරයා විසින් අද සිට දින හතක් (වැඩ කරන) තුළ දිනයක් සඳහන් කර පත්වී සිටින සියලුම සභිකයන් කැඳවා රැස්වන පළමු දිනයේම නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති, උපසභාපති යන තනතුරු සඳහා සභාවේ ඡන්දයකින් නියෝජිතයන් පත්කර ගැනීම සිදුකළ යුතු බවත් එසේ සිදුකරන ලෙස පළාත් පාලන පනතේ සඳහන් කර ඇති බවත් සභාපතිවරයා පැවසීය.
දිස්ත්‍රික්ක 21ට අදාළ පළාත් පාලන ආයතන 339ට පත්වූ සභිකයන් නම් කර තියෙන්නේ කොමිෂන් සභාවට පක්ෂවලින් හෝ ස්වාධීන කණ්ඩායම්වලින් ලැබී තිබූ නාමලේඛනයෙන් බවත් මේ අතරින් ඇතැම් සභාවලට පත්කරන සභිකයන් කවුදැයි කොමිෂන් සභාවට නම් එවා නැති ආයතන කිහිපයක් ඇති බවත් ඒ මහතා කීය.
ගැසට් මගින් ප්‍රකාශ කර නොමැති කිසිදු නමක් සභිකයකු ලෙස හෝ තනතුරක් සඳහා පත් කළ නොහැකි බවත් සභාවක් සඳහා කිසියම් පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් නම් එවන තෙක් එම සභාව පවත්වාගෙන යා නොහැකි බවට පනතේ සඳහන් නොවන නිසා ගැසට් කර ඇති සභිකයන්ට සිය සභා පවත්වාගෙන යා හැකි බවත් රත්නායක මහතා කීය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත (262 වන අධිකාරිය) යටතේ කිසිදු ගැටලුවක් නොමැතිව අද රැස්විය හැකි පළාත් පාලන 161කට අදාළ පත්කර ඇති නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති, උපසභාපති අයගේ නම් ලැයිස්තු මෙසේය.
කොළඹ, ගාල්ල ඇතුළු පළාත් පාලන 178කට අදාළ තනතුරු පත්කිරීම පළාත් පාලන කොමසාරිස්ගේ ප්‍රධානත්වයෙන් රැස්කරන රැස්වීමේදී තීරණය කෙරේ. පළාත් පාලන ආයතනවලට අදාළ විපක්ෂ නායකවරුන් පත්කිරීම පළාත් පාලන ආයතන රැස්වීමෙන් පසු තීරණය කිරීමට නියමිතය.
අද දිනය තුළ රැස්වන පළාත් පාලන ආයතනවල නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති, උපසභාපති යන අය දිව්රුම් දීම සිදුකරන අතර සභාව රැස්වන දිනය සම්බන්ධයෙන් නගරාධිපති හෝ සභාපති ප්‍රකාශ කරනු ඇත.
චමින්ද සිල්වා, රනිල් ධර්මසේන