යෝ භවෙ දහරො භික්ඛු
යුඤජති බුද්ධ සාසනේ
සො ඉමං ලොකං පභාසෙති
අබභා මුතෙතාච චන්දිමා
යම් භික්ෂුවක් සම්බුද්ධ ශාසනයේ ප්‍රවෘජ්ජා භූමියට පත්ව බුද්ධ ශාසනේ පැවැත්ම වෙනුවෙන් කටයුතු කරයි නම් ඒ භික්ෂුව ඝනවලා කුළකින් මිදුනු සඳුමෙන් මෙලොව බබලවන්නේය.
1975 ජුනි මස 05 වෙනිදින මහනුවර මල්වතු මහා විහාරයේ මංගල උපෝසථාගාරයේ අධිසීල සංඛ්‍යාත උපසම්පදා සීලයෙහි පිහිටි අතිපූජ්‍ය අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ආචාර්ය සාහිත්‍ය සූරී පල්ලේගම හේමරතන අපේ නායක හිමිපාණන් වහන්සේ උපසම්පදා භූමියට පත්ව ජූනි පස් වැනි දිනට අඩ සියවසක් සම්පූර්ණයි කරයි.
පැවිදිව උපසම්පදා භූමියට පත් ජය
ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසත්, රත්න මාලි චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියසත්, අටමස්ථානෙත්, වෙනත් ස්ථානවලත් සිදු කරන ලද ආගමික ජාතික ශාසනික සේවාවන් අපමණය. එබැවින් උන්වහන්සේ බුදු හිමි පෙන්වා දුන් ඉහත ඉගැන්වීමට අනුව ඝන වළාකුලෙන් මිදුණ පූර්ණ චන්ද්‍රයා හා සමාන යයි කිව හැක.
පල්ලේගම හේමරතන නාහිමියන් භික්ෂුත්වය යනු කුමක්දැයි තේරුම්ගෙන භික්ෂු ආකල්පය මත පිහිටා තුණුරුවන් කෙරෙහි බැඳුණු ඉමහත් ශ්‍රද්ධාවෙන් කටයුතු කරන සිල්වත් ගුණවත් මහා තෙර නමකි.
පුරාකෘත පුණ්‍ය බල මහිමය නිසාම අටමස්ථානාධිපති පදවියට පත් උන්වහන්සේ මෙතෙක් ආ ගමන් මග වන මල් පියළි විල්ලුද බුමුතුරුණු මතින් ආ ගමනක් නොවෙයි. ඇණ, උල් ගල් මුල් මතින් අභියෝග ජයගෙන ආගමනකි.
කොපමණ වැඩ තිබුණත් ඒ සියල්ල අමතක කර තමන් වෙත පැමිණෙන ලොකු කුඩා සැවොම මද සිනහවකින් පිළිගැනීම සිරිතකි. තරහ යනු කුමක්දැයි නොදත් උන්වහන්සේ එබඳු හැම අවස්ථාවකම ප්‍රීතියෙන් සතුටින් ඉවසීමෙන් සිටීමට උත්සාහ ගත්හ. ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය යන කියමනෙන් උන්වහන්සේ එය ඔප්පු කොට තිබේ.
ජීවිතේ චාම් බව සරල බව හැමවිටම කැපී පෙනුණු ලක්ෂණයකි. කෑමෙන් බීමෙන්, ඇඳුමෙන් පැළඳුමෙන්, නිදා ගැනීමෙන් පවා චාම් බව සරල බව නොඉක්මවා කටයුතු කිරීම ආදර්ශමත්ය. දිනපතා උන්වහන්සේගේ පිහිටපතා දිළින්දන්, රෝගීන්, දිළිඳු පාසල් ළමුන් පැමිණෙති. ශක්තිය වූ ප්‍රමාණයෙන් ඒ හැමට පිහිටවීම සිරිතකි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගයෙන් පෙලෙන්නන් බොහෝය. මේ ගැන අවධානය යොමු කළ උන්වහන්සේ මහ රෝහලේ සහාය ලබා ගනිමින් රෝගීන් වෙනුවෙන් ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබාදෙමින් උදව් උපකාර කරති. මේ රෝගීන්ගේ සෞඛ්‍ය පහසුකම් සඳහා ප්‍රයෝජනය වෙනුවෙන් මළුවේ වෙන් කරන ලද පඬුරු පෙට්ටියක්ද තිබේ. නීතිවේදී නාකුළුගමුවේ සුමන හිමි හා සම්බන්ධව අනුරාධපුරය සරණ ළමා නිවාසය පවත්වාගෙන යනු ලබන්නේ නාහිමිපාණන් වහන්සේය. ඔවුන්ගේ සියලු පහසුකම් නිසි වේලාවට ඉටු කර දෙන්නේ මෙත් කරුණා ගුණයෙනි.
මුළු මහත් ජාතියට සෙවනක් ලබාදෙමින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුර මහමෙව්නාවේ වැඩ සිටීම අප ලද භාග්‍යයකි.
අව්වැසි සුළං මැද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ එළිමහනේ වැඩ වෙසෙති. රිලවුන් වඳුරන් විවිධ පක්ෂීන් නිති ගැවසෙති. ඔවුන්ගෙන් සිදුවිය හැකි හානි බොහෝය. මේ හැම අවදානමකින්ම ශ්‍රී මහා’ බෝධීන් වහන්සේ සිය පණටත් වඩා ආරක්ෂා කරගනිමින් කලට වේලාවට අවශ්‍ය උපදෙස් උද්භිත’ විශේෂඥයින්ගෙන් ලබාගෙන පිළියම් යොදමින්’ වාර්ෂික සතර මංගල්‍යයන් නිසි වේලාවට සිදුකරමින් බෝ සමිඳු ආරක්ෂා කර ගනිමින් කරන කැපවීම’ ශාසනික සේවාවන් අතර බැරෑරුම් කටයුත්තකි.
ශාසනයේ උන්නතිය පැවැත්මට දැන උගත් ධර්මධර විනයධර ත්‍රිපිටකධර භික්ෂූන් අවශ්‍යය. මේ ගැන විශේෂ අවධානය යොමු කර බොහෝ කලක පටන් මහා විහාර පිරිවෙන පරිවෙනාධිපති කෘත්‍යාධිකාරී වෙමින් අවශ්‍ය සියලු පහසුකම් නිසි වේලාවට සොයා බලා ඉටුකර දීම අගය කළ යුත්තකි. අවශ්‍ය පුද්ගලයින් සමඟ සාකච්ඡා කොට පැරණි ධර්ම පීඨයේ කොටසක් වෙන් කරවාගෙන මහා විහාර පිරිවෙන පවත්වාගෙන යෑමට මුල්වී ක්‍රියා කරනු ලැබූයේ උන්වහන්සේය.
සුඛා සංඝස්ස සාමග්ගි, භික්ෂූන් වහන්සේලාගේ සමගිය ශාසනයේ පැවැත්මට සැපතකි. යන්න අවබෝධ කරගත් උන්වහන්සේ පළාතේ භික්ෂූන් වහන්සේලා මහා විහාරයට ඒකරාශී කරගනිමින් මහා විහාර සංඝ සභාව පිහිටුවීමට මුල් වී ක්‍රියා කළහ. මෙහි සභාපතිත්වය දරන්නේ උන්වහන්සේය. සාමාජික භික්ෂූන් වහන්සේලාගේ විහාරස්ථානයන්හි අඩුපාඩු සොයා බලමින් එය ඉටුකර දෙමින් සංඝ සභාව මුල් කරගනිමින් ප්‍රදේශයේ සුබසාධන ක්‍රියාවලි බොහෝමයක් සිදු කරනු ලබයි.
දුටුගැමුණු රජුට පෙර මෙරට ආක්‍රමණය කරගෙන සිටියේ සොලීන් විසිනි. සොලී පාලනයෙන් රට මුදාගත් දුටුගැමුණු මහරජතුමා එක ධජයක් යටතේ රට පාලනය කළහ. සොලීන්ගෙන් විනාශයට පත්ව තිබූ අනුරාධපුරය, මහා විහාරය අටමස්ථානය නැවත ගොඩනගන ලදි. බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ වැඩි කොටසක් ධාතූන් වහන්සේලා තැන්පත් කොට අසදෘශ රත්නමාලී චෛත්‍යරාජයා ඉදිකරනු ලැබූවේ මහා විහාරය තුළය. ධාතුන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් මෙහි තැන්පත් කර ඇති බැවින් චෛත්‍යරාජයා ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සැදැහැවතුන් සලකනු ලබයි. මේ නිසා විවිධ පුදපූජා පවත්වනු ලබයි. සැදැහැවතුන් තබන මේ පූජාවන් දෙස බලා සතුටු වූ අප නාහිමියෝ සෑම උදෑසනකම තබන පූජාවත් දහවල් පූජාවත් සන්ධ්‍යා පූජාවත් ශ්‍රද්ධාවෙන් වැඩි දියුණු ආකාරයෙන් අතිගාම්භීරව පැවැත්වීමට කටයුතු සංවිධානය කළහ. සුවඳවත් දැව යොදා ගනිමින් ඒ මත විවිධ කලාත්මක හැඩතල මෝස්තර යොදා ගනිමින් දර්ශනීය කුටියක් ඉදිකරන ලදී. මේ කුටිය හඳුන්වනු ලබන්නේ “සුගන්ධ කුටිය” ලෙසයි.
පෙහෙවස්ව මුඛවාඩම් බැඳ සුවඳ දරින් පිළියෙල කර ගන්නා පූජා භාරගත් සැදැහැවතුන් සමඟ උඩු වියන් පාවියන් මතින් ශබ්ද පූජා මධ්‍යයේ වැඩමවා පූජාවන් තැන්පත් කරනු ලබන්නේ මේ සුගන්ධ කුටිය තුළය. දළදා හාමුදුරුවන්ට කෙරෙන පූජා වශයෙන් මෙම පූජාව ද හඳුන්වනු ලබන්නේ “මුරුතැන් පූජාව”ලෙසය.
මළුවේ පැවැති පැරණි බුදු මැඳුර ඉවත්කොට ටෙලිකොම් ආයතනයේ සහය ලබාගෙන වායු සමීකරණය කරන ලද දර්ශනීය බුදු මැඳුර ඉදිකරවා ගන්නා ලදී. ආබාධිත සැදැහැවතුන්ට අපහසුතාවයකින් තොරව චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳ පුදා ගැනීමට පහසු වන ආකාරයෙන් උතුරු දොරටුවේ ආබාධිත පාලම ආධාර උපකාර ලබා ඉදිකරවා ගන්නේ උන්වහන්සේ විසිනි .පහත මළුවේ සකස් කොට සුදු වැලි අතුරා වන්දනාකරුවන්ට වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා දීම පැසසිය යුතුය.
ඉදිරියේදී මහා විහාරය තුළ සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන වැඩ අතර ලෝවාමහාපාය සංවර්ධනය කර ගැනීමට පියවර ගෙන තිබීම කාලෝචිත වූවකි. මේ පොසොන් සතියයි. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සිහිපත් කොට විවිධ පූජා උත්සව මහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් පවත්වනු ලබයි. මේ පින්කම් අතරත් ජාතික පොසොන් උත්සව කමිටුව මගින් මහමෙව්නාවේ පැවැත්වෙන සති පිරිත් දේශනයට ප්‍රධාන’ අනුශාසකත්වය ලබාදෙන්නේ නාහිමියන්ය.
උන්වහන්සේ අතින් තවත් සුවිශේෂිත ශාසනික මෙහෙවරක් සිදුවේ. එනම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශ්‍රී නාමය අප රටේත් දේශ දේශාන්තරයන්හිත් පවත්වාගෙන යෑමට රාජතාන්ත්‍රික ඉල්ලීම් මත ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර පරිත්‍යාග කිරීමයි. බොහෝ බෞද්ධ රටවලට මේ අංකුර පරිත්‍යාග කිරීමෙන් මේ වන විටත් ජාත්‍යන්තර සබඳතා ගොඩනැගී තිබේ.
හේමමාලා දන්ත කුමරු දළදා හිමි පළමුවරට මෙරටට වැඩමවා අභයගිරිය ආශ්‍රිතව කිත්සිරි මෙවන් රජු විසින් කරවන ලද මාලිගාවේ තැන්පත් කරන ලදී. එතැන් පටන් අභයගිරි මුල් කරගෙන දළදා පෙරහැර පවත්වා තිබේ. රාජධානිය වෙනස් වනතුරු දළදා පෙරහැර පවත්වා ඇති බව ඓතිහාසික මූලාශ්‍රවලින් පෙනේ. කාලයාගේ ඇවෑමෙන් අභාවයට ගොස් තිබුණු මේ පෙරහැර වාර්ෂිකව පැවැත්වීමට මුල්ව ක්‍රියා කළේ නාහිමියන්ය.
1954 වසරේ උපත ලබා 1968 වසරේ පැවිදිව 1975 වසරේ උපසම්පදාව ලබා මහා විහාරීය භික්ෂුවක් වශයෙන් ශක්ති වූ ප්‍රමාණයෙන් මහා විහාරයට කළ සේවා සදානුස්මරණීය වේ. එම’ සේවාවන්ගෙන් ස්වල්පයක් මෙසේ සනිටුහන් කළෙමි.
විවිධ සමිති සමාගම් හරහා කලාවට සෞඛ්‍යයට’ අධ්‍යාපනයට සාහිත්‍යයට පුරාවිද්‍යාවට කරන සේවය අපමණය.
සසුන් කෙත මල්ඵල බරින් සරුවට වැඩුණු මහා වෘක්ෂයක් සේ අප නාහිමියෝ උපසම්පදා භූමියේත් පැවිදි භූමියෙත් කළ සේවාවන් අගය කරමින් පැවිදි සහෝදර ශිෂ්‍යයන් භික්ෂූන් වහන්සේලාත් දායක දායිකාවන් විසින් බදාදා (04දා) සවස බෝධි පූජාව සහ පරිත්‍රාන ධර්ම දේශනයක් සිදු කරයි. අනතුරුව’ බෝ සමිඳුට පුද පූජා පවත්වා සෙත් පිරිත් සජ්ඣායනා කොට ශතාධික මහා සංඝරත්නය විෂයෙහි ද දන් පූජා කොට සෙත් පැතීමේ මහා පින්කමක් මේ මස බ්‍රහස්පතින්දා (05) වැනි දින පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
එම ආශිර්වාදයෙන් අප නාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.

අනුරාධපුර ඓතිහාසික ලංකාරාමාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක
රැළපනාවේ ධම්මජෝති නාහිමි