පරිසර සතිය සමරයි…
මේ වන විට නව රක්ෂිත වනාන්තර 5ක් නම් කර ගැසට් කිරීම ඇතුළු පරිසර සතියේ මුල් වැඩසටහන් නිමාවට පත්ව ඇති අතර අදට (03දා) යෙදී ඇත්තේ ජලය හා ජල මූලාශ්‍ර සංරක්ෂණ දිනයයි. 02 වැනිදාට යෙදුණු රක්ෂිත වනාන්තර නම්කිරීමේ උත්සවය බිබිල – රතුගල ආදීවාසී ගම්මානයේදී සිදුකෙරුණු අතර, එහිදී හෙක්ටයාර් 40,685 ක පැතිරීමක් ඇති බිබිල-නිල්ගල ඖෂධ වනාන්තරය රක්ෂිත වනාන්තරයක් බවට ප්‍රකාශයට පත්කරන ලදී.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මක පටබැඳි මහතා අතින් නිල්ගල වනාන්තරය රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කළ අවස්ථාව
එළැඹෙන 05 වැනිදාට යෙදෙන ජගත් පරිසර දිනය නිමිත්තෙන් පරිසර අමාත්‍යාංශය මගින් පාරිසරික සතියක් ක්‍රියාවට නැගෙන අතර ඉකුත් මැයි 30 වැනිදා සිට එය ආරම්භ කෙරිණි. එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන මගින් 1972 දී මුල්වරට සැමරීම ආරම්භ කරන ලද ජගත් පරිසර දිනයට මේ වසරට වසර 53 ක් සපිරෙන අතර, මෙවර 2025 ලෝක පරිසර දිනය ”Ending Plastic Pollution˜ යන ගෝලීය තේමාව යටතේ ගෝලීය වශයෙන් ප්ලාස්ටික් මගින් සිදුවන දූෂණයට අවසන් විසඳුමක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සමරනු ලබයි. ප්ලාස්ටික් දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රායෝගික ක්‍රියාමාර්ග රැසක් ගෝලීය වශයෙන් ගැනීමට අපේක්ෂිත අතර ශ්‍රී ලංකාවද ඉහත තේමාව ඔස්සේ යමින් වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව නම්කර ඇති පරිසර සතියේදී මෙම මාතෘකාවට (තේමාවට) මුල්තැන ලබාදෙමින් තවත් වැඩසටහන් රැසක් ක්‍රියාවට නඟන බව පරිසර අමාත්‍යාංශය පවසයි.

රතුගල ආදිවාසී නායක සුදා වන්නිලැත්තෝ
ශීඝ්‍රයෙන් ඉහළ යන ප්ලාස්ටික් භාවිතය තිරසාර සංවර්ධනයේ පාරිසරික, සමාජීය, ආර්ථික සහ සෞඛ්‍ය මානයන් කෙරෙහි අහිතකර ලෙස බලපාන බරපතළ ගෝලීය පාරිසරික ගැටලුවක් බවට පත්ව ඇත. පසුගිය දශක කිහිපය තුළ ප්ලාස්ටික් නිෂ්පාදනය ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති අතර ගෝලීය වශයෙන් දැනට වසරකට ටොන් මිලියන 430 ක පමණ ප්ලාස්ටික් නිෂ්පාදනය සිදුවේ. වසර 2040 වන විට මෙම අගය දෙගුණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ. වර්තමාන රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වන Clean Sri Lanka වැඩසටහනේ පරිසරය කුලුණ යටතේ පරිසරයට ආදරය කරන සමාජයක් බිහිකිරීම ප්‍රධාන අපේක්ෂාව වේ.

මේ සියලු කාරණා සැලකිල්ලට ගනිමින් “ජගත් පරිසර දින සැමරුම් වැඩසටහන” 2016 අප්‍රේල් 28 දින ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව ජගත් පරිසර දින ජාතික උත්සවයට සමගාමීව “ජාතික පරිසර සතියක්” ලෙස ප්‍රකාශයට පත් කෙරේ. ඒ අනුව මැයි මස 30 දින සිට ජූනි 05 දින දක්වා සතිය “ජාතික පරිසර සතිය” ලෙස මෙසේ ප්‍රකාශයට පත් කර ඇති අතර එම දිනයන් හත පහත පරිදි නම් කර ඇත. මැයි 30 ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ දිනය, මැයි 31 වායු දූෂණය හා එහි අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය, ජුනි 01 පරිසර පවිත්‍රතාවය පිළිබඳ දැනුවත් කිරීමේ දිනය, ජුනි 02 ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය, ජුනි 03 ජලය හා ජල මූලාශ්‍ර සංරක්ෂණ දිනය, ජුනි 04 වෙරළ කලාප පවිත්‍ර කිරීමේ දිනය සහ ජුනි 05 රුක් රෝපණය හා ජගත් පරිසර සැමරුම් දිනය වශයෙනි.

ඒ අනුව, ජාතික පරිසර සතිය තුළදී රාජ්‍ය ආයතන, පාසල්, පෞද්ගලික අංශය, වැවිලි සමාගම් හා වතු ක්ෂේත්‍ර, රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සංවිධානවල මූලිකත්වයෙන් ප්‍රජාවගේ සහභාගිත්වයෙන් පහත කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් පරිසර සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.
පරිසර අමාත්‍යාංශය, Clean Sri Lanka සහ ජනාධිපති කාර්යාලය ඒකාබද්ධව මෙවර පරිසර දින ජාතික වැඩසටහන සිදුකරනු ලබන අතර, පරිසර දින සැමරීමෙන් අවසන් නොවී මෙම වසර පුරාවට පරිසරය සංරක්ෂණය සහ පාරිසරික සංවර්ධනය උදෙසා විවිධ ක්‍රියාමාර්ග රැසක් ලබාගැනීමට නියමිතය. මෙරටට පමණක් ආවේණික මත්ස්‍යෙයකු වන “බන්දුල පෙතියා” සංරක්ෂණය සඳහා එම මත්ස්‍යයන් ජීවත්වන ගලපිටමඩ ප්‍රදේශය වනජීවී අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම, නව රක්ෂිත වනාන්තර 5ක් නම් කර ගැසට් කිරීම ඇතුළු පරිසර හිතකාමී සැලසුම් ක්‍රියාවට නැංවීමට කටයුතු යෝදා ඇත. ජගත් පරිසර දින ජාතික සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 05 වැනි දින උදෑසන 8.30ට කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
මේ වන විට නව රක්ෂිත වනාන්තර 5ක් නම් කර ගැසට් කිරීම ඇතුළු පරිසර සතියේ මුල් වැඩසටහන් නිමාවට පත්ව ඇති අතර අදට (03දා) යෙදී ඇත්තේ පෙර කී ජලය හා ජල මූලාශ්‍ර සංරක්ෂණ දිනයයි. 02 වැනිදාට යෙදුණු රක්ෂිත වනාන්තර නම්කිරීමේ උත්සවය බිබිල – රතුගල ආදීවාසී ගම්මානයේදී සිදුකෙරුණු අතර, එහිදී හෙක්ටයාර් 40,685 ක පැතිරීමක් ඇති බිබිල-නිල්ගල ඖෂධ වනාන්තරය පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මක පටබැඳි, පරිසර අමාත්‍යාංශයේ උපදේශක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් රක්ෂිත වනාන්තරයක් බවට ප්‍රකාශයට පත්කරන ලදී. මෙම අවස්ථාවට රතුගල ආදිවාසී නායක සුදා වන්නිලැත්තෝ ඇතුළු වැදී ප්‍රජාව, පරිසරවේදීන්, නිලධාරීන් ඇතුළු පරිසර හිතකාමීන් රැසක් සහභාගිවූ බව “දිවයින” පරිසර අංශය වෙනුවෙන් මෙම අවස්ථාව ආවරණය කර අප වෙත වාර්තා කළ “පරිසර යුක්ති කේන්ද්‍රය – CEJ” සහ එම මධ්‍ය නිලධාරී රන්ජන් කරුණානායක මහතා පවසයි.
ජගත් කණහැරආරච්චි
ඡායාරූප – පරිසර යුක්ති කේන්ද්‍රය