හාවර්ඩ් විශ්වවිද්‍යාලය, ධවල මන්දිරය විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් ලැයිස්තුවක් ප්‍රතික්ෂේප කිරීමෙන් පැය කිහිපයකට පසු, එම කීර්තිමත් විශ්වවිද්‍යාලය සඳහා ෆෙඩ්රල් අරමුදල්වලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 2කට වඩා අත්හිටුවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය පවසා තිබුණේ පසුගිය අප්‍රේල් මාසයේදීය.
ට්‍රම්ප් පරිපාලනයේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ පළමු ප්‍රධාන ඇමෙරිකානු විශ්වවිද්‍යාලය බවට හාවර්ඩ් විශ්වවිද්‍යාලය පත්ව ඇති අතර, ධවල මන්දිරය තම ආයතනය “පාලනය” කිරීමට උත්සාහ කරන බවට චෝදනා කර තිබේ. කෝපයට පත්ව සිටින ජනාධිපති ට්‍රම්ප් දැන් රටේ පැරණිතම විශ්වවිද්‍යාලයට වටිනා බදු සහනය අහිමි කර ඇත. විශ්වවිද්‍යාල තුළ වාමාංශික පක්ෂග්‍රාහීත්වයක් ඇති බව ජනපති කියයි. පසුගිය වසරේ ගාසා තීරයේ යුද්ධයට සහ ඊශ්‍රායලයට ඇමෙරිකාව දුන් සහයෝගයට එරෙහි විරෝධතාවලින් රට පුරා විශ්වවිද්‍යාල මණ්ඩප කැලඹී ගිය විට, ප්‍රමුඛ විශ්වවිද්‍යාල යුදෙව් සිසුන් ආරක්ෂා කිරීමට අපොහොසත් වූ බවට ධවල මන්දිරය චෝදනා කර තිබේ. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ ඩොලර් බිලියන 50කට වඩා වටිනා පරිත්‍යාග අරමුදල් ය. ආයෝජනය කරන ලද මෙම අරමුදල් 17 වන සියවසේ සිට ලැබුණු පරිත්‍යාග හරහා ගොඩනඟා ඇත.
එසේම පසුගිය මාසයේ ජනපති ට්‍රම්ප් පැනවූ “නීතියට අනුගත වීමට අපොහොසත් වීමේ ප්‍රතිඵලයක් ලෙස” හාවර්ඩ් විශ්වවිද්‍යාලය ජාත්‍යන්තර සිසුන් ඇතුළත් කර ගැනීම නතර කිරීමට පියවර ගෙන තිබේ. මෙය බරපතළ ප්‍රශ්නයක් වී තිබේ. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සිසුන් 6,800ක් පමණ ඉගෙනුම ලබන අතර, ඔවුන් මෙම වසරේ එහි ඇතුළත් කිරීම්වලින් 27%කට වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය කරයි. එහි විදේශීය සිසුන්ගෙන් තුනෙන් එකක් පමණ චීනයෙන් වන අතර, 700කට වැඩි පිරිසක් ඉන්දියානුවෝ වෙති. හාවර්ඩ් විදේශ සිසුන්ට වාරණය කිරීම “ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රතිරූපයට සහ ජාත්‍යන්තර කීර්ති නාමයට හානි පමුණුවන” චීන රජය නිවේදනය කළ අතර මෙය “හැකි ඉක්මනින්” තහනම ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේ ය. ඇත්තෙන්ම චීන ජනපති ෂි ජින්පින් ගේ දියණිය පවා හාවර්ඩ් උපාධිය ලැබූ අයෙකි. 2023 වසරේදී ඉන්දියාවේ ශ්‍රේයා මිශ්‍රා රෙඩ්ඩි හාවර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ විට, ඇගේ දෙමාපියෝ “සතුටින් ඉපිල ගියහ. නමුත් දැන්, උපාධිය ලැබීමට ආසන්නව තිබියදී, ඇයට තම පවුලේ සාමාජිකයන්ට නරක ආරංචියක් දැනුම් දීමට සිදුවී තිබේ: ට්‍රම්ප් පැනවූ “නීතියට අනුගත වීමට අපොහොසත් වීමේ ප්‍රතිඵලයක් ලෙස” හාවර්ඩ් විශ්වවිද්‍යාලය ජාත්‍යන්තර සිසුන් ඇතුළත් කර ගැනීම නතර කිරීමට පියවර ගැනීමෙන් පසු, ජූලි මාසයේදී විධායක නායකත්ව වැඩසටහනෙන් ඇයට උපාධිය හිමි නොවනු ඇත.
ඇමෙරිකාවේ උසස් අධ්‍යාපන ප්‍රශ්නය ගැන කතා කළේ මෙරට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීටයට මේ වසරේ සිට සාමාන්‍ය සිසුන්ට වාරණය කර ඇති නිසාය. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 2025/26 අධ්‍යයන වර්ෂය සඳහා විදේශ ශිෂ්‍යයන් සහ කැඩෙට් නිලධාරීන් පමණක් බඳවා ගැනීමට රජය තීරණය කර ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා මැයි 22 වැනි දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ විවිධ පාඨමාලා සඳහා ශිෂ්‍යයන් බඳවා ගැනීම සඳහා මැයි 21 වැනි දින ප්‍රසිද්ධ දැන්වීම් පළ කර ඇති අතර, එම දැන්වීමේ වෛද්‍ය පීඨය සඳහා ශිෂ්‍යයන් බඳවා ගැනීම සම්බන්ධයෙන් වන වගන්ති නිවැරදි කිරීමක් කළ යුතුව තිබෙන බවත්, පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙවර වෛද්‍ය පීඨයට විදේශීය ශිෂ්‍යයන් සහ කැඩෙට් නිලධාරීන් පමණක් බඳවා ගැනීමට තීරණය කර ඇති බවටය. වෛද්‍ය පීඨයට සිසුන් බඳවා ගැනීමේ ප්‍රසිද්ධ දැන්වීම පසුගිය මැයි 21 දින පුවත්පත්වල පළ කර තිබූ අතර, 22 දින පාර්ලිමේන්තුවේදී රැස්වූ ජාතික ජනබලවේග මන්ත්‍රී කණ්ඩායම පක්ෂ නායකත්වයට ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබිණි. විදේශීය සිසුන් සහ කැඩෙට් සිසුන් බඳවා ගැනීමට තීරණය වූයේ ඒ අනුව බවද වාර්තා විය. පාර්ලිමේන්තුවේ ජාතික ජනබලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරු කණ්ඩායම සාමාන්‍ය සිසුන් බඳවා ගැනීමට දැඩි ලෙස විරුද්ධවීම මේ වාරණයට හේතුවී තිබේ.
වර්තමාන ආණ්ඩුවේ තීරණය රටට අවාසියකි. ඇත්තෙන්ම මෙය කුහකත්වය ප්‍රකාශ කිරීමකි. රටින් නැවතත් පිටරටට මුදල් ඇදෙන්නේ වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීම සඳහා පිටරට යා යුතු බැවිනි. මේ පාඨමාලාව නැවත්වීම නිසා කොතලාවල සරසවියට අහිමිවන මුදල බිලියන දෙකකට අධිකය. ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙහි වෛද්‍ය පීඨය 2009 වර්ෂයේ දී ආරම්භ කරන ලදුව ඒ වනවිට ත්‍රිවිධ හමුදාවන්හි පැවැති වෛද්‍ය නිලධාරීන්ගේ ඌණතාවය සම්පූර්ණ කිරීමේ අරමුණ ඇතිව 2009 වර්ෂයේදීම වෛද්‍යවේදී හා ශල්‍ය වෛද්‍යවේදී උපාධි පාඨමාලාව ආරම්භ කර තිබේ. ත්‍රිවිධ හමුදාවන්හි පැවති වෛද්‍ය නිලධාරීන්ගේ අවශ්‍යතාවය ක්‍රම ක්‍රමයෙන් සම්පූර්ණ වීමත් සමග, රටට අවශ්‍ය විදේශ විනිමය ජනනය කිරීමේ අරමුණ ඇතිව විදේශ පුරවැසිභාවය සහිත ශ්‍රී ලාංකික දෙමව්පියන්ගේ දරුවන් එම උපාධි පාඨමාලාව සඳහා බඳවා ගැනීම 2013 වර්ෂයේ දී ආරම්භ කරන ලදී. එසේම දකුණු ආසියානු තාක්ෂණික සහ වෛද්‍ය විද්‍යා ආයතනයෙහි (SAITM) වෛද්‍යවේදී සහ ශල්‍ය වෛද්‍යවේදී පාඨමාලාව සඳහා ලියාපදිංචි වූ සිවිල් සිසුන් 864 දෙනකු 2017 වර්ෂයේදී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය වෙත අන්තර්ග්‍රහණය කරන ලදී. එමෙන්ම ජාතික විශ්වවිද්‍යාලයන්ට සිසුන් බඳවා ගැනීමේ නිර්ණායක ප්‍රතිසංශෝධනය කිරීම හේතුවෙන් උද්ගත වූ ගැටලුව විසඳීම සඳහා 2022 වර්ෂයේදී සිවිල් සිසුන් 87 දෙනකු ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙහි වෛද්‍යවේදී සහ ශල්‍ය වෛද්‍යවේදී උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් යොමු කර තිබිණි.
2024 අප්‍රේල් මස 08 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙහි වෛද්‍යවේදී සහ ශල්‍ය වෛද්‍යවේදී උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා සිවිල් සිසුන් බඳවා ගැනීමට ප්‍රතිපත්තිමය තීරණය ගනු ලැබිණි. එම යෝජනාව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණකි. එම යෝජනාවට අනුව පසුගිය වසරේ සිට එම වෛද්‍ය උපාධි වැඩසටහන සඳහා ගෙවීමේ පදනමින් සහ උසස් පෙළ z score අගය හා අනෙකුත් සුදුසුකම් මත පදනම්ව සිසුන් ඇතුළත් කර ගැනීම සිදු කෙරිණි. නමුත් දැන් සියල්ල ආපසු හැරවීම කනගාටුදායකය. මෙය රට නැවත ගල් යුගයට ගෙන යන තීරණ වේ.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට විදේශික සිසුන් සහ කැඩෙට් නිලධාරීන් හැර වෙනත් දේශීය සිසුන් බඳවා ගැනීම නතර කිරීමට රජය ගෙන ඇති තීරණය බරපතළ වරදක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබුණේ පසුගියදා විශේෂ ප්‍රකාශයක් කරමිනි. විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කළේ මෙම තීරණය මගින් රටේ සිසු දරුවන්ට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති අවස්ථා අහිමි කර ඇති බවයි. ඔහු මෙසේද පවසා තිබිණි. “රජය තීරණය කරලා තිබෙනවා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක කරන වෛද්‍ය උපාධි පාඨමාලාව දේශීය සිසුන්ට නතර කරන්නට. මෙම වෛද්‍ය උපාධි පාඨමාලාව
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගත්ත පාඨමාලාවක්. ඒ වගේම මේ පාඨමාලාව තුළින් විදේශීය සහ කැඩෙට් සිසුන් 50කටත් අභ්‍යන්තරව අප රටේ තවත් සිසුන් 100 කටත් වශයෙන් මුළුමනින් වාර්ෂිකව සිසුන් 150කට වෛද්‍ය උපාධිය හැදෑරීමේ අවස්ථාව ලැබෙනවා. මෙය නතර කිරීම තුළ එක් පැත්තකින් අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිසු දූදරුවන්ට තිබෙන අවස්ථාවන් නැති කිරීමක් හැටියට අපි දකිනවා. ඒක බරපතළ වරදක්. අපේ රටේ සිසුන්ට මේ වෛද්‍ය උපාධි පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව අහිමි කරලීම තුළ බරපතළ හානිදායක දේවල් කිහිපයක් සිද්ධ වෙනවා. එක පැත්තකින් මේ පාඨමාලාව හදාරන්නට හිටපු සිසුන් අපේ රටේ රුපියල් ලක්ෂ 130ක් පමණ වැය කරලා හදාරන වෛද්‍ය උපාධිය වෙනුවට ඔස්ටේ්‍රලියාවට ගිහිල්ලා රුපියලේ වටිනාකමින් ලක්ෂ 400 – 500 අතර ප්‍රමාණයක්, මැලේසියාවට ගිහිල්ලා ලක්ෂ 300 – 400 අතර ප්‍රමාණයක්, ඉන්දියාවට ගිහිල්ලා ලක්ෂ 200 – 300 අතර ප්‍රමාණයක් වියදම් කිරීම ඩොලර්වලින් සිදුකිරීම තුළ අපේ රටේ රඳවාගන්නට පුළුවන් ඩොලර් ප්‍රමාණය රටට අහිමි වෙනවා. ඒ වගේම කොතලාවල විශ්වවිද්‍යාලයේ මෙම වෛද්‍ය උපාධි පාඨමාලාව හදාරන සිසුන් ගණනාවක් ඉන්නවා ඔවුන්ට නැගෙනහිර විශ්වවිද්‍යාලය, සබරගමු විශ්වවිද්‍යාලය, ඌව විශ්වවිද්‍යාලයෙන් නිදහස් අධ්‍යාපනයෙන් අවස්ථා ලැබිලාත් දුරබැහැරකම නිසාත් වෙනත් හේතූන් නිසාත් කොතලාවල වෛද්‍ය පීඨයට ඒ අය ඇතුළු වෙලා තිබෙනවා. ඒ නිසාම නිදහස් අධ්‍යාපනයෙත් නැගෙනහිර, ඌව, සබරගමු විශ්වවිද්‍යාවල තවත් සිසුන් පිරිසකට අමතර අවස්ථා නිර්මාණය වෙනවා යනුවෙනි.
ආණ්ඩුවේ තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේ, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට දරුවන්ට යෑමට ඇති අවස්ථාව කඩාකප්පල් නොකරන ලෙසටය. “ඔය තීන්දුව වෙනුවට ආණ්ඩුව දකින විදිහට එම විශ්වවිද්‍යාලයේ කිසියම් අඩුපාඩු ඇත්නම් ඒවා නිවැරදි කර දරුවන්ට අධ්‍යාපනය ලබා දෙනවා විනා විශ්වවිද්‍යාලය වසා දැමීම නොකළ යුතුයි. මෙම ක්‍රියාමාර්ගය ශ්‍රී ලංකාවේ ශිෂ්‍යයන්ට කරන දැඩි අසාධාරණයක් මෙන්ම ආණ්ඩුව මෙරට අධ්‍යාපනයට ගහපු කනේ පහරක් ලෙසයි මම දකින්නේ.” යනුවෙන් සඳහන් කර තිබිණි.
චතුර පමුණුව