තේ නිෂ්පාදනය අඩුවීමෙන් 2013 සිට රටට වුණු පාඩුව ඩොලර් බිලියන 2.6කට ආසන්නයි – පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල
2013 සිට 2024 තෙක් තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 77841ක් ද තේ අපනයනය 74700 ක් ද අඩුවේ
2025 මේ දක්වා තේ කර්මාන්තශාලා 225ක් වැසේ
රසවත් තේ කෝප්පයකින් ලැබෙන නැවුම් ආශ්වාදයත්, ගතට ලැබෙන මිහිරත්, දුරුවන කාන්සියත් ගැන අප ඔබට අමුතුවෙන්ම කිවයුතු නැත. ඕනෑම විඩාබර ගතියක් ඉමිහිරි තේ කෝප්පයක් පානය කිරීමෙන් දුරු කරගත හැකිය.නමුත් අද කියන්නට යන කතාව අනුව නම් අපේ තේ කෝප්පයක රස තවත් කොපමණ කාලයක් විඳගත හැකිදැයි සැක සහිතය. ඒ වෙන කිසිවක් නිසා නොව මේ වසරේ ගතවූ මාස පහක පමණ කාලය තුළ කුඩා ප්‍රමාණයේ තේ කර්මාන්ත ශාලා 225ක් පමණ වැසී ගොස් ඇති බැවිනි. මේ බව කියන්නේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් උඩුගම්පොළ මහතායි.
මේ සඳහා ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ දලු අස්වැන්න අඩුවීම හා ප්‍රමිතියෙන් තොර වීමයි. දලු අස්වැන්න අඩුවීමට බාල පොහොර කර අති බලපෑම සුළුපටු නොවේ.
මෙරට තේ නිෂ්පාදනය ගැන කතාකරන විට තේ වගාව ආරම්භයේදී තේ වගාව උඩරට ප්‍රදේශවලට පමණක් සීමා වුවත් මේ වනවිට උඩරට ප්‍රදේශ පරයමින් පහතරට ප්‍රදේශවලත් ඉතා සාර්ථකව තේ වගාව කරනු ලැබේ. කඳුකරයේ තංගම්මාද, රාජේශ්වරීලාද දකුණේ සිංහල ජනයාද ලංකාවේ තේ නිෂ්පාදනයට හා රටට ඩොලර් ගෙන ඒමට බෙහෙවින් දායක වන්නන්ය.
තේ වගාව ගැන එදා අප බොහෝ උජාරුවෙන් පාරම්බෑවද අද සිදුව ඇත්තේ එහි අනික් පැත්තය. එදා තේ වගාවෙන් අතමිට සරුවූ ගොවියා දැන් අන්ත දිළින්දන් බවට පත්වෙමින් පවතී. තේ කර්මාන්ත ශාලාද වැසීයමින් පවතී. මේ නිසා බොහෝ දෙනකුට රැකියා අහිමි වන තත්ත්වයත් උද්ගතව ඇත. අද අප කතාකරන්නේ මේ වනවිට ලංකාවේ තේ වගාවට සිදුවී ඇති ව්‍යවසනය පිළිබඳවයි.
සුදු ජාතික ජේම්ස් ටේලර් මුල්ම තේ ගස මෙරට රෝපණය කළ දින සිට අපේ රටේ ආර්ථිකයට තේ ගස ශක්තියක් වූ බව අප කවුරුත් දන්නා කරුණකි. එහෙත් මේ වනවිට රටේ ප්‍රධානම ආදායම් මාර්ගය වූ තේ වගාව ආරක්ෂා කරගන්නට දැඩි සටනක් දිය යුතු තත්ත්වයට පත්ව ඇත. ඒ පසුගිය කාලයේ පාලකයන් විසින් ගත් යම් යම් තීන්දු තීරණත් සමගය.
තේ නිෂ්පාදනය පහළට

තේ වගාව පිළිබඳ පසුගිය කාලය හා සසඳා බැලීමේදී වැඩිම තේ නිෂ්පාදනයක් සිදුකළ වර්ෂය වන්නේ 2013 වර්ෂයයි. 2013 වර්ෂයේ මෙරට තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 340,000 කි. “අපි වවමු රට නගමු” යැයි කිව්වාට පසුගිය දස වසරේ දත්ත සලකා බැලීමේදී කියන්නට ඇත්තේ ඉහළ ගියානම් ඉහළ ගියේ තේ ගොවීන්ගේ වියදම මිස ආදායමවත් තේ නිෂ්පාදනයවත් නොවන බවය.
2015 වන විට මෙරට තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 328,800 දක්වා 2013 වර්ෂයට සාපේක්‍ෂව මෙට්‍රික් ටොන් 11,200 කින් පහළ බැස ඇත. 2016 වර්ෂයේ මෙරට තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 292600කි. 2017 වර්ෂයේ මෙරට තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 307,720කි. 2018 වර්ෂයේ මෙරට තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 303,840කි. 2019 වර්ෂයේ මෙරට තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 300,120කි. එය 2020 වර්ෂය වන විට 278,489 දක්වා තවදුරටත් පහළ බැස ඇත. වසර පහක් තුළ තේ නිෂ්පාදනය පහළ යෑම මෙට්‍රික් ටොන් 50,311 කි. එම අගය සලකා බැලීමේදී ආසන්න වශයෙන් සෑම වර්ෂයකටම තේ මෙට්‍රික් ටොන් 10,000 ක අඩුවීමක් දක්නට ලැබේ. රසායනික පොහොර නොමිලේ හෝ සහන මිලට දුන් පමණින් තේ නිෂ්පාදනය නම් ඉහළ ගොස් නැත. ඒ සඳහා කළ යුත්තේ ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා දීමයි.
ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා වැඩිපුර අවධානය යොමු කළේ කාබනික ගොවිතැනට මුල් තැන දෙන තේ වගාවක් සඳහායි. කුකුළු පොහොර හෝ කොම්පෝස්ට් පොහොර භාවිතයෙන් තේ වගාකළ වර්ෂ කීපයේ මෙරට තේ නිෂ්පාදනයේ දක්නට ලැබෙන්නේත් වර්ධනයක් නොව පහළ යෑමකි. 2023 වර්ෂය වන විට මෙරට තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 256,040 දක්වා පහළ ගොස් ඇත. 2024 වර්ෂය වනවිට මෙරට තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 262,159ක් වශයෙන් වාර්තා වේ. එය 2017 වර්ෂය හා සංසන්දනය කිරීමේදී මෙට්‍රික් ටොන් 45,561 ක පහළ යෑමකි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාබනික වගා සංකල්පයෙන් මෙරට තේ වගාවට සිදු වූ සුගතියක් නැත. 2017 වර්ෂයට සාපේක්‍ෂව 2024 වර්ෂයේ තේ නිෂ්පාදනයේ පසුබෑමේ ප්‍රතිශතය 15%කි.
තේ අපනයනයේත් පසුබෑමක්

තේ නිෂ්පාදනයට සාපේක්ෂව සලකා බලන විට අපට දකින්නට ලැබෙන්නේ තේ කොළ අපනයනයේත් ශීඝ්‍ර පහළ යෑමකි. 2013 වර්ෂයේ තේ මෙට්‍රික් ටොන් 319,700 අපනයනය කරන අපට 2015 වර්ෂයේ අපනයනය කළ හැකිව ඇත්තේ තේ මෙට්‍රික් ටොන් 306,900 පමණි.
2020 වර්ෂය වන විට අපට අපනයනය කළ හැකිව ඇත්තේ තේ මෙට්‍රික් ටොන් 265,569 ක් පමණි. එන්න එන්නම රටේ තේ වගාවට ලබා ඇත්තේ නරක කලදසාවකි. 2023 වර්ෂය වන විට එහි තවත් සීග්‍ර අඩුවීමක් පෙන්නුම් කරමින් තේ අපනයනය මෙට්‍රික් ටොන් 241,912 ක් ලෙස වාර්තා වී ඇත. 2024 වර්ෂයේ මෙරට තේ අපනයනය වාර්තා වන්නේ මෙට්‍රික් ටොන් 245000ක් වශයෙනි. අවාසනාවට කරුණ වන්නේ තවමත් තේ කර්මාන්තයට ලබා ඇත්තේ නරක කල දසාවකි. මෙහිදී තවත් කරුණක් සඳහන් කළ යුතුය. ඒ අප අපනයනය කරන්නේ දේශීය නිෂ්පාදනම පමණක් නොවේ.
තේ කර්මාන්තය දිගින් දිගටම කඩා වැටීමට පොහොර ප්‍රශ්නයට අමතරව වෙනත් ගැටලු ගණනාවක් පැවතිය යුතුමය. මන්ද පොහොර ප්‍රශ්නය තේ වගාවට බලපෑවේ මෑත අවුරුදු දෙක තුනේ පමණි. නමුත් පසුගිය වසර දහය තුළම දක්නට ලැබෙන්නේ තේ වගාවේ සීග්‍ර පසුබෑමකි. තේ වගාව මෙරට තුළ ආරම්භ කළ අවධියේත් එම වතුවල වැඩ කිරීමට ශ්‍රී ලාංකිකයන් වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. ඒ නිසාම ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන ඒමට සිදුවිය. දැනටත් අපේ මානව සම්පතේ ප්‍රබල ගැටලුවක් තේ වගාව සංවර්ධනයට බලපා ඇති බව නම් කිව යුතුම ය. මුලින්ම අප කළ යුත්තේ වතු කම්කරුවන්ට වෘත්තීය ගරුත්වයක් ලබාදී මානව සම්පත කළමනාකරණය කිරීමයි.
අද බොහෝ තේ ඉඩම්වල වැඩ කිරීමට මිනිසුන් සොයා ගැනීම දුෂ්කර වී ඇත. සිටින පිරිසට නව තාක්ෂණය මෙන්ම ඒ පිළිබඳ වෘත්තීය දැනුවත්භාවය ලබාදිය යුතුව ඇත. එසේ නැතිවුවහොත් සිදුවන්නේ තව අවුරුදු දහයක් විස්සක් යන විට තේ අපනයනය කරනවා වෙනුවට තේ කොළ පිටරටින් ආනයනය කරන්නට සිදුවීමයි.
ආර්. යෝගරාජන් රත්නපුර ප්‍රදේශයේ පදිංචි දවසේ පඩියට දලු කඩන පුද්ගලයෙකි. මේ ඔහු සිය වෘත්තිය පිළිබඳ දැක්වූ අදහස් කිහිපයකි.
“අපි මේ රස්සාව කරන්නේ ගොඩක් දුක් විඳගෙන. කූඩැල්ලො වැලි කැට ගාණට. අව්ව වැස්ස පින්න කියල නැහැ උදේ හය වෙනකොට අපි යනව දලු කඩන්න. ඉස්සර මම වැඩ කරේ රටේ නමගිය වැවිලි සමාගමක. පඩි මදි නිසා අයින් වුණා. මේ ඔක්කොටම හපන් මිනිස්සු අපි ගැන බලන්නෙ බොහෝම පහත් විදිහට. හැම දුකක්ම විඳින්නේ ළමයින්ට උගන්වන්න ඕන නිසා. අපි විඳින දුක ළමයින්ටත් උරුම කරලා දෙන්න බැහැ. අපේ ළමයි මේ රස්සාවට එනවට අපි කැමති නැහැ. සමහරු අපට කතා කරන්නේ බල්ලො බලල්ලු ගාණට දාලා.
යෝගරාජන් පවසන ආකාරයට ඔවුන්ගේ ඉදිරි පරම්පරාව තේ දලු කඩනවාට ඔවුන් කැමති නැත. ඔවුන්ගේ එකම බලාපොරොත්තුව ළමයින්ට හොඳින් උගන්වා මේ නරා වළෙන් එගොඩ කිරීමය. දැනට සිටින පුහුණු ශ්‍රමිකයන් පිරිසත් මේ කර්මාන්තයෙන් කෙමෙන් කෙමෙන් ඉවත්වීම තව තවත් තේ කර්මාන්තය පතුලටම කඩා වැටීමට හේතුවනවා නොඅනුමානය.
ඵලදායිතාවයෙන් අඩු තේ
ලංකාවේ තේ නිෂ්පාදනයේ ඵලදායිතාව අනෙක් රටවල් හා සංසන්දනය කරන විට පවතින්නේ ඉතා අඩු මට්ටමකය. ලංකාවේ තේ කර්මාන්තයට මූලිකවම මේ කාරණය දැඩි බලපෑමක් එල්ල කර ඇත. වසර පනහක් හැටක් තරම් පැරණි තේ ගස් මෙන්ම එවැනි ගස්වලින් ලබාගන්නා අතුරිකිලිවලින් නිපදවන තේ පැළ මගින්ද ලැබෙන ඵලදායිතාව ඉතාම අවමය.
අනෙක් පැත්තෙන් මහා පරිමාණ වතු සමාගම්වල ඇති තේ වගාවන්ද දැන් බොහෝ වයසය. සමහර වගාවන්ට අවුරුදු හැට හැත්තෑවක් තරම් වයසය. තේ පඳුරු ඇත්තේ ආවාට ගියාටය. රජය සතුව පැවැති බොහෝ තේ වතු මේ වන විට පවතින්නේ පෞද්ගලික අංශය අතේය. ඔවුන් කරන්නේ පාඩු ලබන විට එම වතුවල ඇති ගස්කොළන් විකුණා දැමීම මිස වගාව වැඩි දියුණු කිරීම නොවේ.
මෙරට තේ ගොවීන් ඵලදාව අඩු වන හැම අවස්ථාවකම සිදුකරන බරපතළම වැරැද්ද වන්නේ සීමාවකින් තොරව පොහොර යෙදීමයි. ඔවුන් ඵලදාව අඩුවීමට හේතු සොයා බලන්නේ නැත. ඉවක් බවක් නැතිව වැඩි වැඩියෙන් පොහොර කඳු වගා බිම් තුළට හැලීම නිසා සහ වල්නාශක දියර ඉසීම නිසා මේ වන විට බොහෝ තේ ඉඩම් නිසරු බිම් බවට පත්ව ඇත. තේ ඉඩම් බොහෝමයක් පවතින්නේ කඳු ආශ්‍රිත ප්‍රදේශවලය. එවන් භූමිවල පස සෝදා යෑම ඉතා ඉහළය. එයට පිළියම් යොදනවා වෙනුවට බොහෝ ගොවීහු යළි යළිත් කෘෂි රසායන වල පිහිට පතති.
වතු සමාගම් මෙන්ම කුඩා තේ වතු හිමියන් බොහෝමයක් කරන්නේ ඒ අවස්ථාවට පිළියම් යෙදීම පමණි. දීර්ඝ කාලීනව තේ අස්වැන්න වැඩි කර ගැනීමට මේ කිසිවෙක් කල්පනා කරන්නේ නැත.
තේ කර්මාන්තයේ හෙට දවස අඳුරු වීමට බලපාන අනෙක් ප්‍රධානම කාරණය වන්නේ නිෂ්පාදන වියදම ඉහළ යෑමයි. තේ පැළයක් මිල මේ වන විට රුපියල් 30-40 අතර මිලක පවතී. සේවකයකුගේ දවසක කුලිය රුපියල් 2000ක් වත් වේ. මීට අමතරව දලු කඩන පුද්ගලයෙකුට තේ දලු කිලෝවක් කඩනවාට රුපියල් 50ක් ගෙවිය යුතුය. පොහොර මිටියක් රුපියල් 8500කි. මේ සියල්ලටම වියදම් කළ පසු ඉඩම් හිමියාට ඉතුරු වන දෙයක් නැත. ඉඩම් හිමියන්ට දැන් සිදුව ඇත්තේ අතින් කා හරක් බලන්නටය.
තේ නිෂ්පාදනය අඩුවීමෙන් රටට සිදුව ඇති පාඩුව පිළිබඳ අවධානය යොමු කර ඇති මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසුවේ 2013 වසරේ සිට මේ දක්වා කාලය තුළ තේ නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් රටට අහිමි වී ඇති මුදල් කන්දරාව ඩොලර් බිලියන 2.6කට ආසන්න සංඛ්‍යාවක් බවයි. ඩොලර් බිලියන 2.6ක් යනු මොනතරම් මුදල් ප්‍රමාණයක්ද. උග්‍ර විදේශ විනිමය අර්බුදයකට මුහුණ පා සිටින අවස්ථාවක තේ වලින් මෙම මුදල් ප්‍රමාණය රටට ලැබුණා නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පස්සේවත් ඔවුන් පනවන දහසකුත් එකක් කොන්දේසිවලට යටත්වන්නනට සිදුවන්නේවත් නැත.
1920 ගණන් වන විටත් ලංකාව තේ මෙට්‍රික් ටොන් ලක්ෂයකට වඩා අපනයනය කළ රටකි. නමුත් දැන් අප හා තරග කිරීමට තරගකරුවන් රාශියක් බිහි වී හමාරය. චීනය, ඉන්දියාව, කෙන්යාව, වියට්නාමය, ජපානය ඒ අතරින් කීපයකි. ශ්‍රී ලංකාව ලෝක තේ වෙළෙඳපළේ පළමු ස්ථාන කිහිපය අතර සිටියත් ඉදිරියට එම තත්ත්වය රැක ගැනීම අසීරු කටයුත්තක් වී හමාරය. ඒ මෙරට තේ කර්මාන්තයේ ඵලදායිතාව අඩුවීම හේතුවෙනි.
කසළ තේ වලින් වැනසෙන සිලෝන් ටී

අපේ තේ වෙළඳපළ වෙනත් රටක් අත්පත් කරගත්තොත් එය යළි ලබා ගැනීම සිතන තරම් ලෙහෙසි නැත. මෙරට තේ වලට ලොව බොහෝ රටවලින් හිමිව ඇත්තේ ඉතා ඉහළ ප්‍රසාදයකි. ගොවීන් මෙන්ම කර්මාන්තශාලා ද නිසි ප්‍රමිතියට අනුව තේ නිපදවුවත් තේ අපනයනය කරන කපටි ව්‍යාපාරිකයන් කිහිප දෙනකුගේ ක්‍රියා නිසා අප අපකීර්තියට පත්වූ අවස්ථා කිහිපයක් පසුගිය කාලයේ වාර්තා විය. ඒ මෙරට හොඳ තේ සමග කසළ තේ අපනයනය කිරීම හේතුවෙනි. කිහිප දෙනකුගේ නොමනා ක්‍රියා හේතුවෙන් මේ වන විටත් ‘සිලෝන් ටී’ කීර්තිනාමය ලෝකය ඉදිරියේ අවමානයට ලක්වී අවසානය. අනෙක් පැත්තෙන් කසළ තේ අපනයනය කර අප විසින්ම අපේ වළ කපාගන්නා තත්ත්වයක් මතුව තිබේ.
මෙරට තේ නිෂ්පාදනයෙන් 75%ක්ම කුඩා තේ වතු හිමියන් නියෝජනය කරනු ලබයි. මහා පරිමාණ වැවිලි සමාගම් සඳහා හිමිවන ප්‍රතිශතය 25% කි. කුඩා තේ වතු හිමියන්ට අස්වනු වැඩිකර ගැනීමට රාජ්‍ය අංශය මගින් නිසි මාර්ගෝපදේශයක් ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. රටේ විවිධ පළාත්වල පසට ගැළපෙන තේ වර්ගය කුමක්ද, ඊට යොදන පොහොර වර්ගය හා ප්‍රමාණය, තේ වලට දිලීර රෝග ඇති වූ අවස්ථාවල ඊට යොදන රසායනික ද්‍රව්‍ය කවරේද යන්න රාජ්‍ය අංශය මගින් නිසි ලෙස ලැබෙනවා නම් මීට වඩා ඉහළ ඉලක්කයකට ළඟා විය හැකි බව අප හා කතාබහ කළ කුඩා තේ වතු හිමියන් කිහිප දෙනෙක්ම පැවසූහ.
අජිත් කොඩිතුවක්කු මහතා කලවාන ප්‍රදේශයේ පදිංචි තේ ඉඩමක් හිමි පුද්ගලයෙකි. මේ ඔහු තේ වගාව පිළිබඳ පළ කළ අදහස් කිහිපයකි මේ.
“මම මීට කලින් වෙනත් ව්‍යාපාරයක් තමයි කළේ. ඒත් තේ වලට හොඳ මිලක් ලැබුණු නිසා සහ මේ ප්‍රදේශවලට නිතරම වහින නිසා රබර් තිබුණු ඉඩම්වලත් රබර් ගලවල තේ ඉන්දුවා. තේ කියන්නේ පොඩි ළමයෙක් වගේ පරිස්සමින් බලාගන්න ඕන වගාවක්. හරියට දිනයට දලු ටික කඩන්න ඕන. නැතිනම් ගස් යනවා. වෙලාවට පොහොර ටික නොදැම්මොත් දලු නැහැ. නැත්තම් දල්ල කහපාට වෙනවා. වෙලාවට කලාවට එළි කරන්න ඕන. අද කඩන්න බැහැ හෙට දලු කඩනවා කියලා කල් අරින්න බැහැ. හැමතිස්සෙම වගාවත් එක්ක ඉන්න ඕන.
ආර්ථික අර්බුදයක් එක්ක ඩොලරයේ අගය වැඩි වුණු දවස්වල නම් දලු කිලෝ එකට රුපියල් තුන්සීයට වඩා වැඩි මුදලක් ලැබුණා. දැන් නම් දෙසිය ගාණයි ලැබෙන්නේ. අපට තියෙන ලොකුම ගැටලුව තමයි පොහොර මිල. රුපියල් හය හත්දාහට ගත්ත පොහොර මිටිය දැන් රුපියල් 20,000ට කිට්ටුයි. අනෙක් එක තමයි තේ ඉඩම් සුද්ද කරන එක. බෙහෙත් ගැහුවාම පසේ වැලි මතුවෙනවා. දැන් වැඩ කරන්න මිනිස්සු නැහැ. එන මිනිස්සු එක තැන ඉන්නේ මාස හයයි නැත්තං අවුරුද්දයි. මුලින් හොඳට වැඩ කරනවා. වැඩිපුර රුපියල් පන්දහක් දහදාහක් ඉල්ල ගන්නවා පඩියෙන් කැපෙන්න කියලා. ඔය විදිහට රුපියල් තිස් හතළිස් දාහක් එකතු වුණාට පස්සේ පැදුරටත් නොකියා මාරු වෙනවා. මිනිස්සු තියාගන්න ඕන නිසා සල්ලි නොදිත් බැහැ. කරන වංචා නිසා සල්ලි දීලත් නැහැ.”
පසුගිය කාලයේ තල් ගසට මෙන්ම, පොල් ගසටද ඇමැතිවරු සිටි ආකාරය අපට මතකය. රටේ පවතින ආර්ථික භොගයක් ගානේ ඇමැතිවරු සිටින රටේ මේ එක් අයෙකුගෙන්වත් රටේ ආර්ථිකයට නම් සිදු වූ සුගතියක් නැත.
සමීර කන්නන්ගර