ටී. කේ. ජෙනට් තම තුරුණු වියේ රැකියා ස්ථානය ලෙස තෝරා ගත්තේ අලිමංකඩ ලුණු ලේවායයි. මේ වනවිට වයස අවුරුදු 62ක් පමණ වන ජෙනට් අසූව දශකයේ දී ලුණු ලේවායේ රැකියාව තෝරා ගත්තේ ඇගේ මවගේ අඩිපාරේ යමිනි. ඇගේ මව ද අලිමංකඩ ලුණු ලේවායේ සේවිකාවක වූවාය. ඒ හැටේ දශකයේ ය. ජෙනට් අවුරුදු 12කට ආසන්න කාලයක් ලේවායේ රස්සාව කළ අතර ඇගේ මව වසර 20කට ආසන්න කාලයක් ලේවායේ රැකියාවේ නිරත වූවාය.
ජෙනට් තම ජීවන සහකරුවා සොයා ගන්නේ ද එම ලුණු ලේවායෙන්ම ය. ඇගේ අඩිපාරේම ගිය පුතා පෙරියරිම්බරාසා විවාකරන් (35) ද මීට වසර තුනකට පමණ පෙර අලිමංකඩ ලුණු ලේවායේ කම්කරුවකු ලෙස රැකියාවට ගියේය. ඔවුන්ගේ රැකියාව සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති වන්නට පටං ගත්තේ මීට මාස කිහිපයකට පෙරාතුවය.
“මෙතන 200කට වඩා වැඩ කරනවා. අවුරුදු 10ක් විතර වැඩ කරන අයත් මෙතන ඉන්නවා. මීට මාස 06කට කලින් වෙනකම් අපිට මාසෙකට දවස් 20ක් 22ක් වැඩ තිබ්බා. අපි හරිම සතුටෙන් ප්‍රශ්නයක් නැතුව වැඩ කළා. ලුණු වගා කරලා මැයි සිට ඔක්තෝබර් වගේ වෙනකං ස්ටොක් කරනවා. ඊට පස්සේ අප්‍රේල් වගේ වෙනකං ට්‍රාන්ස්පෝර්ට් කරනවා. එක ලොරියකට කිලෝ 30,000ක් විතර අල්ලනවා. එහෙම 1ත් 5ත් අතර ගණනක් දවසකට පිටත් වෙලා යනවා. මිනිස්සු තමයි බෑග්වල දාලා ලුණු ගෙනිහින් පටවන්නේ. අපි අහලා තියනවා අසූගණන්වල 300කට වැඩි පිරිසක් වැඩ කළා කියලා. ඉස්සර ලොරිවලින් විතරක් නෙමේ, කෝච්චිවලිනුත් ලුණු ගෙනිච්චා කියලා අපි අහලා තියනවා. යුද්දේ කාලේ වැඩ කරන අය අඩුවුණා. ඒත් එල්ටීටීඊ යටතෙත් ලුණු ලේවාය තිබ්බා. නිෂ්පාදන කටයුතු ඔවුන් විසින් සිදු කළා. යුද්දෙන් පස්සේ නැවත පටං ගත්තා. අපේ පවුලේ ගොඩක් අය වැඩ කළා ලේවායේ. ලේවායේ ඉස්සර ගොඩනැඟිලි හදද්දි මගේ සීයත් මේසන් බාස් කෙනෙක් විදිහට වැඩ කළා” යැයි පෙරියම්බිරාසා ප්‍රකාශ කළේය.
ඉතිහාසය

අලිමංකඩ ලුණු ලේවායේ ආරම්භය 1938 දක්වා දිවයයි. ශ්‍රී ලංකාවේ ලුණු අවශ්‍යතාවයෙන් මෙට්‍රික් ටොන් 60,000ත් 80,000ත් අතර නිෂ්පාදනය කළ ලේවායේ වැඩ යුද සමයේ තරමක් අඩාල විය. ශ්‍රී ලංකාවේ රජයේ පාලනයක් සහිතව ලුණු නිෂ්පාදනය යුද සමයේ ඇනහිටිය ද, එල්ටීටීඊ සංවිධානයේ මෙහෙයවීමෙන් අලිමංකඩ ලුණු ලේවායේ වැඩ දිගටම කරගෙන ගියේය. යුද්ධයේ අවසානයත් සමග ලුණු ලේවාය සංවර්ධනය කර පෞද්ගලික ආයෝජකයකුට බදු දීම සඳහා එවකට සාම්ප්‍රදායික කර්මාන්ත සහ කුඩා ව්‍යවසාය අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට 2011 දෙසැම්බර් 07 වැනිදා කැබිනට් අනුමැතිය හිමිවිය.
සාම්ප්‍රදායික කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද යළිත් 2014 දී මෙම ලුණු ලේවායට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ අතර ඊට 2014 නොවැම්බර් 12 වැනිදා අනුමැතිය හිමිවිය. එම අනුමැතිය සම්බන්ධයෙන් රජයේ නිල නිවේදනයේ මෙසේ සඳහන් විය.
“අලිමංකඩ ලුණු ලේවාය පුනරුත්ථාපනය හා යළි ක්‍රියාත්මක කිරීම – වර්ෂයකට මෙට්‍රික් ටොන් (මෙ.ටො.) 20,000ක ඇස්තමේන්තුගත ලුණු නිෂ්පාදනයක් ළඟා කර ගැනීම පිණිස අදියර I වශයෙන් අක්කර 330ක් වූ ලේවාය භූමි ප්‍රදේශය පුනරුත්ථාපනය කොට යළි ක්‍රියාත්මක කරනු පිණිස “උතුරු වසන්තය” වැඩසටහන යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් 2014 වර්ෂයේදී රුපියල් මිලියන 100ක් ලබා දී ඇති අතර මුහුදු ජල තටාකය, වාෂ්පීකරණ පොකුණු, ස්ඵටීකරණ පොකුණු හා ලුණු පීඨිකා වැනි යටිතල පහසුකම් පුනරුත්ථාපනය කිරීමේ සංවර්ධන කටයුතු දැනට සිදු කෙරෙමින් පවතියි. වර්ෂයකට ලුණු මෙ.ටො. 25,000 – 30,000ක තවත් ලුණු නිපදවනු පිණිස දෙවැනි (II) අදියර වශයෙන් 2015 වර්ෂයේදී අක්කර 447ක් පුනරුත්ථාපනය කොට යළි ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇත. 2015 වර්ෂයේදී ආරම්භ කිරීමට නියමිත දෙවැනි (II) අදියරෙහි ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 125කි.”
වැඩපිළිවෙළක් නැතිකම
ලුණු ලේවායේ වැඩ කටයුතු සම්පූර්ණ වශයෙන් යළි ආරම්භ වී ඇත්තේ 2016 වසරේදීය.
ලුණු ලේවායේ කටයුතු රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ සිදු කිරීමට 2020 දී රජය තීරණය කළේය. ‘කුරුන්චතිවු (අලිමංකඩ – උතුර) ලුණු ලේවාය රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමය යටතේ නැවත ආරම්භ කිරීම’ මැයෙන් කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට 2020 පෙබරවාරි මස 27 වැනිදා අනුමැතිය හිමිවී තිබිණි. ඒ ගැන රජයේ නිල නිවේදනයේ මෙසේ සඳහන් විය.
“පසුගිය සමයේ පැවති යුදමය ගැටුම් හේතුවෙන් නවතා දැමූ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පිහිටි කුරුන්චතිවු (අලිමංකඩ – උතුර) ලුණු ලේවායේ නිෂ්පාදන හා මෙහෙයුම් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී ඇති නමුත් මේ දක්වා එම ක්‍රියාවලිය සාර්ථක වී නොමැත. එකී ලුණු ලේවායේ මෙහෙයුම් කටයුතු මාන්තායි සෝල්ට් ලිමිටඩ් ආයතනය සහ විධිමත් ක්‍රමවේදය අනුගමනය කරමින් තෝරාගනු ලබන ආයෝජකයෙක් අතර ක්‍රියාත්මක කරනු ලබන රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර ක්‍රියාත්මක කිරීම සඳහා කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.”
අලිමංකඩ ලුණු ලේවායට අදාළව යළිත් කැබිනට් පත්‍රිකාවක් 2020 නොවැම්බර් 16 වැනිදා ඉදිරිපත් විය. ඒ අනුව පූර්ණ රාජ්‍ය සමාගමක් වශයෙන් එතෙක් ක්‍රියාත්මක වූ මාන්තායි සෝල්ට් ලිමිටඩ් ආයතනයේ නම ‘ජාතික ලුණු සමාගම’ ලෙස වෙනස් කර අලිමංකඩ ලුණු ලේවාය ද එම සමාගම යටතට පත් කිරීමට රජය තීරණය කළේය.
ලුණු කර්මාන්තය ගැන හෝ අලිමංකඩ ලුණු ලේවාය ගැන නිසි තක්සේරුවක් හෝ අවබෝධයක් නැතිව වරින් වර වෙනස් විදිහේ තීන්දු තීරණ මේ ආශ්‍රිතව ගෙන ඇති බව කැබිනට් පත්‍රිකා අධ්‍යයනය කිරීමේදී පෙනී යයි.
කෙසේ වෙතත් ජාතික ලුණු සමාගම ලෙස ස්ථාපිත කිරීමට පෙර අනූව දශකයේ පැවැති සීමාසහිත ලුණු සමාගමට අලිමංකඩ ලුණු ලේවායේ පාලනය භාර කළේ 2001 දී බව ජාතික ලුණු සමාගමේ වෙබ් අඩවියේ සඳහන් කරයි. ඒ ගැන එම වෙබ් අඩවියේ මෙසේ සඳහන් වෙයි.
“2001 දී එලිෆන්ට්පාස් පරිපාලනය කැබිනට් තීරණයෙන් සීමාසහිත ජාතික ලුණු සමාගම යටතට පත් විය. කෙසේ වෙතත් ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ජාතික ලුණුවලට අලිමංකඩ ලුණු ලේවාය ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. 2009 දී ප්‍රදේශය මුදා ගැනීමෙන් පසු ලුණු ලේවාය සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයට පවරා ගත් අතර ඔවුන් මිලියන 100 ක වටිනාකමකින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ලදී. මේ අතර, 2015 වසරේ දෙවන අදියරේ ක්‍රියාකාරකම් සඳහා රුපියල් මිලියන 125ක මුදලක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. 2015 සැප්තැම්බර් 21 වැනි දින ගැසට් නිවේදනය මගින් ලුණු ලේවාය නැවතත් සීමාසහිත ලුණු සමාගමේ පරිපාලනය වෙත පවරා ඇත. 2018 වසරේ පළමු අදියරේ සහ අදියර-2 ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණ කටයුතු 95%ක් අවසන් කර ඇත. අලිමංකඩ උතුරු ප්‍රදේශයේ විශාලතම ලුණු ලේවාය වේ. නුදුරු අනාගතයේ දී වසරකට මෙ.ටොන් 20,000ක් පමණ මෙයින් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කෙරේ. මේ වන විට ලුණු ලේවායේ ස්ථිර/කොන්ත්‍රාත් කාර්ය මණ්ඩලය 25ක් සහ තාවකාලික කාර්ය මණ්ඩලය 150 සිට 200 දක්වා ක්‍රියාත්මක වේ” යනුවෙන් වෙබ් අඩවියේ සඳහන් විය.
අලිමංකඩ වැඩ වර්ජන

පසුගිය කාලයේ මුළු රටේම ලුණු හිඟයක් ඇති වෙද්දී අලිමංකඩ ලුණු ලේවායේ සේවය කරන පෙරියම්බිරිරාසා ඇතුළු පිරිසක් වැඩ වර්ජනයක් සහ විරෝධතාවක් ආරම්භ කළහ. ඒ පසුගිය මැයි 13 වැනිදාය. ඔවුන්ගේ එක් ප්‍රධාන ඉල්ලීම වූයේ ලේවායේ කළමනාකරු ස්ථාන මාරු කළ යුතු බවයි.
අලිමංකඩ ලුණු ලේවායේ කළමනාකරු ලෙස කටයුතු කරන්නේ වී. සුයන්දන් මහතා බව ලුණු සමාගම් වෙබ් අඩවියේ සඳහන් වෙයි. දැනට සේවය කරන කළමනාකරු වයඹ විශ්වවිද්‍යාලයේ ආහාර සුරක්ෂිත බව පිළිබඳ උපාධිධාරියෙකි. ඔහු මීට පෙර ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක රැකියාව කළ අතර අනතුරුව සහකාර කළමනාකරුවකු ලෙස අලිමංකඩ ලුණු ලේවායට සම්බන්ධ විය. ඒ වසර එක හමාරකට පෙරදීය. මීට මාස පහකට පමණ පෙර ඔහු එහි කළමනාකරු බවට පත්විය.
ඔහු ඉවත් කරන ලෙස ඉල්ලමින් වැඩ වර්ජනය කරන පිරිස අතර සිටින පෙරියම්බිරාසා වර්තමාන කළමනාකරු වී. සුයන්දන් මහතා ගැන මෙසේ සඳහන් කරයි.
“කලින් මෙහේ මැනේජර් කෙනෙක් හිටියා. මොකක් හරි ප්‍රශ්නයක් වෙලා එයාව ඉවත් කරලා මන්නාරම ලේවායේ කළමනාකරු විදිහට හිටපු ගයන්ත මහත්තයව මෙහේ කළමනාකරු විදිහට දැම්මා. ගයන්ත මහත්තයා සිංහල කෙනෙක්. ඔහු හොඳට වැඩ කළා. ඔහු යටතේ සහකාර කළමනාකාර කෙනෙක් විදිහට ටික කාලයක් වැඩ කරපු කෙනා තමයි ගයන්ත මහත්තයව අයින් කරලා මීට මාස පහකට කලින් මෙහේ මැනේජර් කළේ. එයාට මේක ගැන අත්දැකීම් නෑ. ඔහු මිනිස්සුන්ට බනිනවා” යැයි පෙරියම්බිරාසා කීවේය.
ඇමැතිගේ ගර්ජන
රටේම ලුණු හිඟයක් ඇතිවෙද්දී ආරම්භ වූ අලිමංකඩ ප්‍රශ්නය ගැන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී ද සාකච්ඡා විය. අලිමංකඩ ලුණු ලේවායේ ප්‍රශ්න ගැන කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේ දී පසුගිය මැයි 22 වැනිදා ප්‍රකාශයක් කළේය.
“අර්චුනා ඔයා මාර චූන් එකක් ගත්තා ගිහින් අලිමංකඩ. අලිමංකඩ ලුණු ෆැක්ටරියේ උද්ඝෝෂණයක් හැදුවා මේගොල්ලෝ. එතන ඉන්න සේවකයෝ 10 දෙනෙක් විතර අරගෙන මේගොල්ලෝ කියනවා උතුරේ ලුණු දකුණට එවන්න එපා කියලා. මාර ලුණු. උතුරේ ලුණු. අලිමංකඩ ලුණු. උතුරේ ලුණු දකුණට ගන්න එපා කිව්වා. උතුරේ ලුණු දකුණේ ලුණු කියලා ලුණු නෑ බොස්. රටේ ලුණු තියෙන්නේ. ඔයාලට උතුරේ ලුණු දකුණේ ලුණු තිබ්බා නම් ඒවා ඒ කාලේ තියාගන්න. දැන් නෑ ඒවා. අපි මේ කාලේ මුළු රටම එකක් කරලා තියෙන්නේ. ඔයාලා ඒ කාලේ හදාගත්තා ප්‍රභාකරන්ගේ ලුණු… ඒවා නෑ දැන්. උතුරේ ලුණු දකුණට දාන්න එපා කියලා ඔයා කිව්වා. ඒගොල්ලොන්ට බොරු පොරොන්දු දුන්නා. ඒ සාකච්ඡාවේ සම්පූර්ණ වාර්තා හැන්සාඩ් වාර්තාවට ඇතුළු කරනවා. 2012 ඉඳන් පුත්තලම සෝල්ට් එකේ තිබුණා රජ ලුණු කියලා නමක්. ඒක අපි හදාගත්ත එකක් නෙමේ, ඒ කාලේ තිබිච්ච එකක්. අපි ඒක වෙනස් කළා ඇත්තටම. රජ ලුණු කියලා නෑනේ. අලිමංකඩ නම් අලිමංකඩ ලුණු. මන්තායි ලුණු නම් මන්තායි ලුණු. එතකොට අපි ඒක වෙනස් කළා. වෙනස් කරලා මේක හැදුවට පස්සේ මෙයා ගිහින් කියනවා රජ ලුණුලු. රජලුණු ශ්‍රී ලංකාවේ රජ්ජුරුවන්ගේ ලුණුලු. අනුර කුමාර රජ්ජුරුවන්ගේ ලුණුලු. බොරු කිව්වා. අපි ඒගොල්ලන්ට ඊපීඑෆ් දෙනවා. එන්න ගමන් පහසුකම් දෙනවා. අලිමංකඩ මිනිස්සු ගහනවා ඔයාට බොරු පච කෙළලා. මම සතුටු වෙනවා කර්මාන්ත ඇමැති හැටියට ලුණු කර්මාන්තය ගැන කතා කරන එක ගැන. ලුණු ප්‍රශ්නය දැන් ඉවරයි. ප්‍රශ්නයක් නැතුව ප්‍රශ්න හදන්න එපා.”
ඊට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා මෙසේ කීවේය.
“එහෙම උතුරයි, නැගෙනහිරයි කියලා ලුණු මුකුත් නෑ. ඒ ගැන මං කතා කළේවත් නෑ. මේක පාර්ලිමේන්තු වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරන්න පුළුවන් අපහාසයක්. මන්ත්‍රී කෙනෙක් කතා කරපු නැති එකක් කතා කළොත් අපහාසයක්. මම කොහෙවත් කිව්වේ නෑ රජ ලුණු, රාජ ලුණු කියලා. එතන ඉන්න මිනිස්සු උද්ඝෝෂණය කරනවා, මෙයාලව ජොබ් එකෙන් එළවලා තියෙනවා. එයාලගේ ජොබ් එක අයින් කරන්න එපා කියලා විතරයි මම කතා කළේ. මම කිව්වේ නෑ මේක කොටිගේ ලුණු, උතුරේ ලුණු දකුණට ගේන්න එපා කියලා. ගේන්න දකුණට. පැක්කරන්න ලස්සනට. අඩුම ගාණට විකුණන්න. ඒකට අපි උදව් කරන්නම් කියලා අපි කියලා තියෙන්නේ. පාර්ලිමේන්තු වරප්‍රසාද පනත අනුව වරදක් මම කියපු නැති ඒවා කිව්වා කියලා කියන එක. මම දිවුරලා කියන්නම්, මම කවදාවත් එහෙම කිව්වේ නෑ” යැයි මන්ත්‍රී අර්චුනා කීවේය.
ඇමැතිවත් අන්දලද?

අලිමංකඩ ලුණු ලේවායේ ඇත්ත තත්ත්වය වෙනතකට යොමු කරවීමේ උත්සාහයක් ඇත්දැයි සැක මතු වන්නේ අමාත්‍යවරයාගේ කතාවේ මීළඟ කොටසින් බව සේවකයෝ පවසති. අමාත්‍යවරයා අර්චුනාට යළි පිළිතුරු දෙමින් මෙසේ කීවේය.
“අර්චුනා ප්‍රිවිලේජ් ඇක්ට් එක කියවලා තියන එක ගැන මම සතුටු වෙනවා. අපේ කාලේ ඉතුරු වෙනවානේ එතකොට. මම කිව්වේ මෙයාලා සේවකයො එක්ක කතා කරපු මිනිට්ස් අනුව. මෙයාලා කියනවා 11 වෙනි කාරණය. මැනේජර් මාරු කරන්න කියනවා. හේතුව මෙයා කිලිනොච්චි කෙනෙක් නිසා මාරු කරන්න කියලා. යාපනේ නෙමේ නිසා. එයාගේ වරදක් තියනවා නම් මාරු කරන්න පුළුවන්. මේ කියන්නේ අලිමංකඩ ඉන්න පුළුවන් යාපනේ මිනිහෙක්ට විතරයි. කිලිනොච්චියේ දක්ෂ මිනිහෙකුට වත් එතන ගිහින් වැඩ කරන්න බෑ. අපි මාස තුනක් අරං තියනවා, එයාගේ වැරැද්දක් තියනවා නම් ක්‍රියාමාර්ග ගන්නවා. එහෙම නැතුව කිලිනොච්චි කෙනකුට යාපනේ ඉන්න බෑ කියලා නීතියක් නෑ බොස්, හරිද? ඒවා තියා ගන්න එපා. ඔයාලා අඩුම තරමේ රැකියාවක් කරනකොටවත් අසාධාරණ විදිහට සලකන්න එපා ඒවගේ. කිලිනොච්චි කෙනාට යාපනේ ජොබ් කරන්න එකටත් විරුද්ධ වෙනවා මේගොල්ලෝ” යැයි ද අමාත්‍යවරයා කීවේය.
ඊට පිළිතුරු දෙමින් අර්චුනා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ තමා කිසි දිනක එවැනි ජාතිවාදී ප්‍රකාශයක් කර නැති බවයි. “මම කිව්වේ නෑ සර් කවදාවත් එහෙම. පට්ට පල් බොරුවක් කියන්නේ මේ. මගේ බිරිඳ සිංහල. මම කොහොමද ජාතිවාදියෙක් වෙන්නේ? පාර්ලිමේන්තුවේ බොරු කියන්න එපා.” අර්චුනා කීවේය. වැඩවර්ජනයේ මූලිකත්වය ගෙන සිටින පෙරියම්බරාසා ඒ ගැන මෙසේ ප්‍රකාශ කළේය.
ඇමැතිවරයා කිව්ව කතාව සම්පූර්ණ වැරදි. දැන් ඉන්න කළමනාකරු කිලිනොච්චි කෙනෙක් නෙමේ. ඔහු යාපනේ දෙමළ කෙනෙක්. අපි ඔහුට විරුද්ධ වෙන්නේ යාපනේ දෙමළ ද නැද්ද කියන එක නිසා නෙමේ. ඔහුගේ කළමනාකරණය හොඳ නැති නිසා. අපි ඔක්කොම ඉල්ලන්නේ යාපනේ දෙමළ කෙනෙක් පත් කරන්න කියලා නෙමේ, සුදුසු කෙනෙක් පත් කරන්න කියලා. ඇත්තටම අපි මුල ඉඳන් කිව්වේ මෙහේ කලින් ඉඳලා මන්නාරම ලේවායට දාපු සිංහල කෙනා නැවත මෙහේ කළමනාකරු කරන්න කියලා. සිංහල කෙනා-ගයන්ත මහත්තයාවයි අපි නැවත පත් කරන්න කිව්වේ. අපි ජාතිවාදය අවුස්සන්නේ නෑ.” යැයි ඔහු කීවේය.
කම්කරු ප්‍රශ්නය
පෙරියම්බරාසා මෙන්ම රත්තිනම් කුගේන්ද්‍රන් ඇතුළු තවත් සේවකයන් කිහිප දෙනකුම ප්‍රකාශ කළේ තම රැකියා සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වී තිබෙන බවයි.
“අපිට දවසේ පඩියක් ගෙවන්නේ. හැබැයි පඩිය මාසිකව තමයි ගන්න පුළුවන්. 2022 වෙද්දි අපිට දවසකට රුපියල් 1950 වගේ ලැබුණා. දැන් 2150ක් ලැබෙනවා. ඉස්සර මාසෙකට දවස් 20කට වඩා වැඩ තියනවා. දැන් මාසෙකට වැඩ දවස් ගාණ අඩුයි. ඒ නිසා අපිට හම්බෙන පඩිය අඩුයි. අපිට අඩුවෙන් ගෙවලා වැඩ නැති කරලා තමයි මෙහේ ලාභය පෙන්වන්නේ. සේවකයන්ට අලුත් කළමනාකරු බනිනවා. හරියට සලකන්නේ නෑ. කලින් මේ කාන්තාවන්ට දවසේ ටාගට් එක ට්‍රැක්ටර් එකයි. දැන් එක හමාරක්. ඒ කියන්නේ ට්‍රැක්ටරයට පුරවන්න ඕනා දවසේ ගාණ ගන්න. සමහර දවසට වැඩ නෑ. සේවකයන්ට කළමනාකරු බනිනවා. මේ නිසා තමයි අපි කළමනාකරු මාරු කරලා කලින් හිටපු සිංහල මහත්තයා ගේන්න කියන්නේ. අපි මැයි 13 ස්ට්‍රයික් එක පටං ගත්තා. ඊට පස්සේ අර්චුනා මන්ත්‍රී ඇවිත් කතා කරලා ගියා. ඊට පස්සේ ආණ්ඩු පක්ෂයේ තවත් මන්ත්‍රී කෙනෙක් ආවා. එයාගේ මගපෙන්වීම අනුව පොලිසියත් ආවා. අපිට කිව්වා ස්ටොක් එකේ තියන ලුණු අරං යන්න දෙන්න කියලා. අපේ ප්‍රශ්නය විසඳනකං ඒක කරන්න දෙන්න බෑ කියලා අපි කිව්වා. ඊට පස්සේ පොලිසිය උසාවි නියෝගයක් අරං ආවා ලුණු අරං යන්න බාධා කළොත් නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. පොලිසිය ආයුධ සන්නද්ධව ඇවිත් බැකෝ මාර්ගයෙන් ලුණු පුරවලා ලුණු අරං ගියා. අන්තිමට මණ්ඩලෙන් ඇවිත් සාකච්ඡා කරලා ප්‍රශ්නය විසඳනවා කිව්වා. මැනේජ්ර්ගේ ඔප්පු කරන්න පුළුවන් වරදක් තියනවා නම් විතරක් මාරු කරන්න පුළුවන්, නැත්නම් මුකුත් කරන්න බෑ කියලා මණ්ඩලයෙන් ආපු අය කිව්වා. ඒ අනුව අපි තාවකාලිකව වර්ජනය අතෑරියා. හැබැයි අපේ ප්‍රශ්න විසඳන්න ඕනා” සේවකයෝ කිහිප දෙනෙක්ම කීහ.
කෙසේ වෙතත් කළමනාකරුට පක්ෂපාතී සේවකයෙක් කීවේ වර්තමාන කළමනාකරු ඉතා හොඳින් කළමනාකරණ කටයුතු සිදු කරන බවයි.
“වත්මන් කළමනාකරු හොඳයි. ඔහු ආවට පස්සේ මෙතන බීලා වැඩ කරන අයට ඉඩ දුන්නේ නෑ. ලුණු හොරකං කරන්න දුන්නේ නෑ. ඒ නිසා සමහරුන්ට කළමනාකරු එක්ක ප්‍රශ්නයක් තියනවා” යැයි තවත් සේවකයෙක් කීවේය.
ශ්‍රී ලංකාව පුරාම ලුණු හිඟයක් ඇතිවෙද්දි, ලංකාවේ බෙදා හැරීමට ලුණු නොමැති තත්ත්වයකට පත් වෙද්දී රටටම බෙදා හැරීම සඳහා ලුණු ගෙන ගියේ අලිමංකඩ ලුණු ලේවායෙනි. අලිමංකඩ ලුණු ලේවා නිලධාරී ඩී. එම්. සී. සාලිය ගජනායක මහතා යටතේ පසුගිය කාලයේ දී ලුණු ලේවායේ වසරකට හතර පස් වතාවක් ලුණු නිෂ්පාදනය කළ අවස්ථා තිබේ. ඒ අනුව රටේම ලුණු හිඟ වෙද්දී රටටම ලුණු බෙදන්නට අලිමංකඩ ලුණු ලේවායට හැකිවිය. වර්ජනයේ නියුතු සේවකයන් ඇතුළු සේවකයෝ පසුගිය කාලයේ මහන්සියෙන් වැඩ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස එලෙස ලුණු සංචිත ඉතිරිව තිබිණි.
ඉබි ගමනින් ආ කම්හල
අලිමංකඩ ලුණුවලට අතීතයේ සිටම ලොකු ඉල්ලුමක් තිබිණි. අලිමංකඩ ලුණුවල ප්‍රමිතිය ගැන බොහෝ දෙනකුට හොඳ අත්දැකීම් තිබිණි. එසේම අලිමංකඩ ලුණුවලට විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ පවා ලොකු ඉල්ලුමක් තිබේ. කෙසේ වෙතත් අලිමංකඩට තිබූ ලොකුම ගැටලුව ලුණු පැකට් ලෙස නිෂ්පාදනය කිරීමට හැකියාව නොතිබීමයි. අලිමංකඩින් ගන්නා ලුණු ලංකාවේ වෙනත් පැතිවලට ගෙන ගොස් පැකට් කර විකිණීම සිදුවිය. ඒ අනුව අලිමංකඩ ලුණු පැකට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක අවශ්‍යතාවය මත මූලික වැඩ 2016 දී ආරම්භ කළේය.
වසර ගණනක් තිස්සේ ඇදි ඇදී ගිය අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාවේ වැඩ අලුත්ම යන්ත්‍රාගාරය සකස් කිරීමෙන් පසු අවසන් වූයේ පසුගිය මාර්තු මස 29 වැනිදාය. අලිමංකඩ යන්ත්‍රාගාරයේ කළමනාකරු ආර්. ඩී. ලලිත් කුමාර මහතා යටතේ මේ වන විට යන්ත්‍රාගාරයේ පරීක්ෂණ මට්ටමේ නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබේ. එය ලංකාවේ විශාලතලම ලුණු නිෂ්පාදනාගාරය බවට නොබෝ දිනකින් පත්වීමට නියමිතය. පැයකට ලුණු මෙට්‍රික්ටොන් 05ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව එම කර්මාන්ත ශාලාවේ පවතී.
තවත් සති දෙකකින් පමණ මෙම මෙම නිෂ්පාදනාගාරයෙන් පිටතට එන්නේ ‘අලිමංකඩ ලුණු’ ලෙසට ලේබල් වූ ලුණු පැකට්ටුවකි. එය සාර්ථක වුවහොත් ලංකා ඉතිහාසයේ ‘ලුණු’ ගැන බොහෝ දේවල් වෙනස් වීමට නියමිතව ඇත.
‘අලිමංකඩ ලුණු’ ලේබල් වෙයි
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරී එම්. ජේ. ටී. මන්සිල් මහතා ප්‍රකාශ කළේ මෙම යන්ත්‍රාගාරය අලුතෙන්ම නිර්මාණය කරන ලද්දක් වන බැවින් මුලින් පරීක්ෂණ මට්ටමෙන් නිෂ්පාදන කටයුතු සිදු කළ යුතු බවයි.
“මුලින් පර්යේෂණ මට්ටමෙන් නිෂ්පාදනය කරනවා. ඒ යටතේත් අපිට පැකට් ලෙස එළියට දෙන්න පුළුවන්. ජුනි 10 වගේ වෙද්දි අපිට පුළුවන් වෙයි ලුණු පැකට් විදිහට නිකුත් කරන්න. ‘අලිමංකඩ ලුණු’ නමින් තමයි අපි ඒ ලුණු පැකට් නිකුත් කරන්නේ.” යැයි සාමාන්‍යාධිකාරීවරයා කීවේය.
දැනට ඇති ගැටලු ගැන සඳහන් කළ සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළේ සේවකයන් සමග සාකච්ඡා කර දැන් ගැටලු විසඳා ඇති බවයි. “අපි සේවකයො එක්ක කතා කළා. ඒවා ප්‍රශ්නවලට අපි විසඳුම් දෙනවා. ඔවුන්ගේ එක් ඉල්ලීමක් තමයි කළමනාකාරු මාරු කිරීම. එහෙම වරදක් නැතුව, සාක්කි නැතුව කෙනෙක් මාරු කරන්න බෑ. ඔහුගේ වරදක් තියනවා නම් අපිට ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. අපි ඒ බව පැහැදිලි කළා සේවකයන්ට. කාගෙවත් කීමට කළමනාකරු මාරු කරන්න ඉල්ලන්න එපා කිව්වා. ඔවුන් වර්ජනය නවත්වලා නැවත සේවයට එන්න එකග වුණා. ඉදිරියේ දී සේවකයන්ගේ ප්‍රශ්න ගැන අපි බලනවා” යැයි සාමාන්‍යාධිකාරී මන්සිල් මහතා කීවේය.
අලිමංකඩ ලුණු ලේවායේ සේවක ගැටලු ගැන විමසීමට අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියට සිකුරාදා (30) උදෑසන 8.50ට ඇමතුමක් ගත් අතර ඇය ප්‍රකාශ කළේ තමා වැඩසටහනක සිටින බවයි. “මම ප්‍රෝග්‍රෑම් එකක ඉන්නේ. මට කතා කරන්න බෑ.” යැයි ඇය කීවාය. ඇයට ඇමතුමක් ගත හැකි වේලාවක් ගැන විමසීමේදී ලේකම්වරිය ප්‍රකාශ කළේ “ප්‍රෝග්‍රෑම් එකක ඉන්නේ. ඒ නිසා හවස්වරුවේ බලන්න වෙන්නේ.” යනුවෙනි. විෂය භාර සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා විදෙස් නිල සංචාරයක නිරත වන හෙයින් සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.
කම්කරු ප්‍රශ්නයට ද විසඳුම් ලබා දෙමින් නිසි වැඩපිළිවෙළක් යටතේ අලිමංකඩ ලුණු ලේවාය සංවර්ධනය කළහොත් රටටම ඩොලර් ගෙනන ව්‍යවසායක් බවට අලිමංකඩ පත්වනු ඇත. ලුණු ලේවායේ ඉතිහාසය සහ රාජජ්‍ය ප්‍රතිපත්ති වෙනස්වීම් දෙස ලැබූවිට පැහැදිලිවම පෙනෙන්නේ පාලකයන්ට ලුණු කර්මාන්තය දියුණු කිරීම ගැනත්, අලිමංකඩ ලුණු නිෂ්පාදනය ගැනත් හරි අදහසක් නොතිබූ බවයි. ලුණු ලේවාය සහ ලුණු කර්මාන්තය පෞද්ගලීකරණය කිරීමට මාන බලනවා වෙනුවට නිසි වැඩපිළිවෙළක් අනුව කටයුතු කළේ නම් මේ වන විට උතුරේ විශාල පිරිසකට රැකියා සපයන රටට ඩොලර් ගෙනෙන කර්මාන්තයක් බවට අලිමංකඩ ලුණු පත්වී තිබෙන්නට ඉඩ තිබිණි.

තරිඳු ජයවර්ධන