මේ සතිය උණුසුම් කළා පමණක් නොව සමාජ – දේශපාලන අංශවල හා ජනමාධ්‍යවල ද ප්‍රමුඛ පුවත බවට පත්වූයේ හිටපු ඇමැතිවරුන් දෙදෙනකු වූ මහින්දානන්ද අලුත් ගමගේටත් නලින් ප්‍රනාන්දුටත් එරෙහිව ලබාදුන් අධිකරණ තීන්දුවය. එහිදී මහින්දානන්දට වසර 20ක් හා නලින්ට වසර 25ක් වැනි බරපතළ හිරදඬුවමක් ලබා දී තිබුණි. මෙම දඬුවම ලබාදීමට පෙර විත්තිකරුවන්ගේ නීතිඥවරුන් විසින් දක්වන ලද කරුණු මෙන්ම ගරු විනිසුරුතුමන්ලා එයට දැක්වූ ප්‍රතිචාර ද කැපී පෙනුණි. ඇත්ත වසයෙන්ම මෙරටේ දේශපාලන බලය හා පොදු දේපළත් මහජන මුදලුත් අවභාවිත කිරීම සම්බන්ධයෙන් මේ තිබෙන වාර්තා වුවද ඇඟ කිළිපොලායන සුළුය. මහජන සේවයට පැමිණ ඒ ජනතා මුදලින් ධන කුවේරයන් බවට පත්ව සිටින දේශපාලනඥයන්ගේ දූෂිත මෙහෙයුම්වල ඇතැම් තොරතුරු දැන් ප්‍රසිද්ධ දේවල්ය. ඇමැතිවරයකුගේ දූෂණ මෙහෙයුම්වලට බොහෝවිට ඔහුගේ පවුල්වල දායකත්වය ලැබී ඇතැයි හෙළිවී තිබේ. විවිධ බැංකු ගිණුම්වල මිලියන ගණන් තැන්පත් මුදල් මෙන්ම වෙනත් වත්කම් ද මේ බොහෝ මූදිත දේශපාලනඥයන්ට තිබෙන බව රහසක් නොවේ.

මහින්දානන්ද හා නලින්ද යන චූදිතයන් මේ රටේ ආර්ථිකය බිඳ වැටීම සඳහා ද දායක වී ඇති බව අධිකරණයේදීත් පැවසුණි. නීතිපති/අල්ලස් කොමිසම වැනි ආයතන නියෝජනය කළ අය ද අවධාරණය කළේ මේ වර්ගයේ අල්ලස් – දූෂණ ක්‍රියා සඳහා මතු අනාගතයේදී පවා නිලධාරීන්ට සිහිපත් වන – තැතිගැන්මක් ඇති වන පරිදි නීතියේ ඉහළම දඬුවම් හිමිවිය යුතු බවය. එය සහතික ඇත්තය. අදත් මෙරටේ ඇතැම් බලවත්හු නීතියට බිය නොවෙති. ඒ අශිෂ්ට ඇබ්බැහිකම් නිසා මේ ආණ්ඩුවේ ගමනට ද බාධා එල්ල වී තිබේ. මන්ද යත් මේ දේශපාලන චෞර නඩවලින් සමාජගත කරන්නේ අද දේශපාලන පළිගැනීම් සිදුවන බවය. එපමණක් නොව ඉදිරියේදී අත්අඩංගුවට පත්වන ඇතැම් හිටපු ඇමැතිවරුන්ගේ නම් ගම් ද පවසා තිබේ. එහෙත් මෙතෙක් අත්අඩංගුවට පත් වූ හෝ දඬුවම් නියම වූ හෝ කිසිදු දේශපාලනඥයෙක්, රාජ්‍ය නිලධාරියෙක් ගැන ජනතාවගෙන් ‘අනේ’ යන තරම් අනුකම්පාවක් ප්‍රකාශ නොවීම ද විශේෂත්වයකි.
කෙසේ හෝ මේ සතියේදීත් අපට විවිධ දේශපාලන හා සමාජ කැලඹීම් පිළිබඳ සිදුවීම් කීපයක්ම දැක ගැනීමට ලැබුණි. ජනප්‍රිය නිළි මාලිනී ෆොන්සේකා සම්බන්ධ මාතෘකාව ද ආණ්ඩුවට එල්ල කළේ දැඩි චෝදනා පත්‍රයකි. විපක්ෂවලින් පමණක් නොව ඇතැම් මාධ්‍ය හා සමාජ වෙබ් අඩවි ඔස්සේත් ආණ්ඩුවට එල්ල වූ මාලිනී ෆොන්සේකා මුල්කරගත් දේශපාලන විවේචන මේ සතියේත් ඇසුණි. මෙරටේ අතිශය ජනප්‍රිය මෙන්ම අග්‍රගණයේ නිළියක් ද වූ මාලිනීට රාජ්‍ය ගෞරව වෙනුවට රාජ්‍ය අවමන් කළ බව ඒ සියලු චෝදනාවල හරය විය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඇමැති නලින්ද ජයතිස්ස පවා ඇතැම් ප්‍රශ්න කිරීම් නිසා අපහසුතාවකට පත්වූ බවක් ද පෙනුණි. මෙරටේ කලාකරුවන් දේශපාලන වසයෙන් භාවිත වීම මෙන්ම ඇතැම් කලාකරුවන් ස්ව කැමැත්තෙන්ම පක්ෂවලට එක්වී සිටි අයුරු ද කව්රුත් දනිති. අද දවසේත් ඒ ප්‍රවණතාව අපි දකිමු. ඉතා සැකෙවින් කිවහොත් පක්ෂ දේශපාලනය නිසා කලාකරුවන්ට විවිධ වාරණ හා තහංචිවලට මුහුණ දීමට ද සිදු වූ ඒ අප්‍රසන්න ඉතිහාසය අදත් එහෙම පිටින්ම අභාවයට ගොස් නැත. අපේ බොහෝ කලාකරුවන්ට දේශපාලන විඥානයක් තිබුණි දැයි නිසැකව කිව නොහැක. ඒ නිසාම ඔවුන්ට පක්ෂ බලයට පත් කිරීම සඳහා ක්‍රියා කිරීම හැර වෙනත් සමාජ දේශපාලන වුවමනාවක් වීද යන්නත් අපැහැදිලිය. දේශපාලනයේදී ජනප්‍රිය නළු නිළියන්ට පොදු ජන ආකර්ෂණයක් තිබුණු බව ද රහසක් නොවේ. ඒ ඉතිහාසය උපුටා දැක්වීම මේ සටහන අනිසි ලෙස දික්ගස්සා ගැනීමකි. කුමක් වුවත් විජය කුමාරතුංග, එච්. ආර්. ජෝතිපාල, නන්දා මාලිනී ඇතුඵ ප්‍රකට චරිත කීපයක්ම ආණ්ඩුවල විරෝධයට ලක්වූ බව පමණක් මෙහිලා කිව යුතුය. විජය සමග ජයවර්ධන පාලනය ගැටුණේ ඔහු දේශපාලනයට පැමිණීම නිසාය. නන්දා මාලිනිය වාරණයට ලක්වූයේ ඇගේ ගීත පැවති පාලකයන්ගේ නිරුවත හෙළි දැක්වීමත්, සමාජයට ඒ දූෂිත ක්‍රමය හෙළි කිරීමත් නිසාය. ඇත්ත වසයෙන්ම කලාව දේශපාලනිකව භාවිත කිරීමෙන් ජනතාවගේ චින්තනය හා සමාජාවබෝධය පුළුල් වන බව දේශපාලන බමුණු කුලය ද දනී. ඒ සියල්ල වෙනම සාකච්ඡා කළ යුතු පුළුල් මාතෘකාවකි. අපි එය මතුවට තබමු.
මාලිනී ෆොන්සේකා කලක් එජාපයටත් පසුව පොදුජන පෙරමුණටත් සම්බන්ධ වූ බව රටම දනී. එහෙත් මහින්ද පාලනයෙන් පසු ඇය දේශපාලනික වසයෙන් දැක්වූයේ නිහඬ ප්‍රතිචාරයකි. පාර්ලිමේන්තුවේදී ඇගේ නම සඳහන් වූයේ එවක මන්ත්‍රීවරුන්ට ලබාදුන් ජනාධිපති අරමුදල් පිළිබඳ තොරතුරු දැක්වීමකදීය. ඇත්ත වසයෙන්ම ලක්ෂ සියය දෙසිය ආදිය දේශපාලනඥයන්ට අත දිග හැර දුන් ආණ්ඩු මේ විශිෂ්ට කලාකාරියකට දුන් ලක්ෂ 55 ගැන කතා කළ යුතුවත් නැත. ඇයට අවමන් කිරීමේ අරමුණක් මේ ආණ්ඩුවට නොතිබුණත් විපක්ෂවල හා දේශපාලන අනාථයන් බවට පත්ව සිටින ස්වල්ප දෙනෙකුටත් මාලිනී සම්බන්ධ සිද්ධිය තලු මර මරා රස විඳිය හැකි දේශපාලන ආහාරයක් ද විය. මාලිනීට දුන් ලක්ෂ 55 වැනි සොච්චම මීට ඉහතදීත් දැක්වූ පරිදිම මේසා පුළුල් කලා මෙහෙවරක් කළ රසික හදවත් නිවා සුවපත් කළ කලාකාරියකට කළ නිග්‍රහයක් වැන්න. කුමක් වුවත් දේශපාලන විවේචනවලට ඒවා ඉතා සකු හේතු සාධක ද වනු ඇත.
කෙසේ හෝ දින කීපයකට පෙර ජනාධිපති අනුර කුමාර එක්වූ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් වෙනුවෙන් පැවති ජන්ම දින උළෙලකදී ඔහු මෙන්ම සෝභිත හිමියන් ද දැක්වූ අදහස් මේ දූෂිත හා ගර්හිත දේශපාලනයේ අනිෂ්ට විපාකවලින් ලද පීඩනයේම දෝංකාරයක් බව අපට සිතුණි. හම්බන්තොට දී පැවති ආචාර්ය සෝභිත හිමියන්ගේ 75 වැනි ජන්ම දින උළෙල තුළ රැව් දුන්නේ ද අද මේ රට අපේක්ෂා කරන නව ශිෂ්ටාචාර ඇරඹුමක උද්යෝගයයි. ඕමල්පේ හිමියන් දැඩිව අවධාරණය කළේත් තමන් වහන්සේ ඇතුළු මේ රටම ගෙවී ගිය පාලන යුගවලදී අල්ලස, දූෂණය, වංචාව වැනි දුසිරිත් ආකාරයක් බවට මේ රට ඇදගෙන යනු කම්පිතව බලා සිටි බවය. රටේ නීතිය බිඳ වැටීම, පවුල්වාදය, අයථා ධන එක් රැස් කිරීම් ආදිය කොපමණ පරිමාවකින් සිදුවන්ට ඇද්දැයි කිසිවකුට කිව නොහැක. එහෙත් දැන් ඒ අශිෂ්ට මෙහෙයුම්වලින් ඇබින්ද ඇබින්ද ධර්මාධිකරණය වෙත යොමු වන බව ද පෙනේ. සෝභිත හිමියන් තිරසරව ප්‍රකාශ කළේත් මේ රට යළි ප්‍රතිරූප දේශයක් කිරීමට සංඝරත්නයේ සහාය හිමිවන බවය.
ජනාධිපති අනුරගේම වචනවලින් කිවහොත් ඒ දූෂිත, ගර්හිත වංකභාවයේ ඇඳුම් පැලඳුම් ගලවා විසිකර අලුත් ශිෂ්ටාචාරයක ඇඳුම්වලින් සැරසී අලුත් දේශපාලන ගමනක් ඇරඹීම නමැති අධිෂ්ඨානශීලී ව්‍යායාමයට තම ආණ්ඩුව කැප වී සිටින බවය. ජනාධිපතිවරයාට 2/3 බලයක් සහිත ඔදවත් පාර්ලිමේන්තුවක් ලබාදුන් ජනතාවගේ එකම අපේක්ෂාවද එබඳු සංස්කෘතිකයක ශිෂ්ටාචාර ගමනක පාර්ශ්වකරුවන් බවට පත්වීම බවද නිසැකය. එහෙත් ඒ ගමන දුෂ්කරය. ජනාධිපතිවරයාට රාජ්‍ය නෞකාව පැදවීමට සිදුව ඇත්තේ කැළඹිලි සහිත කුණාටු සාගරයක් මැදින්ය. ඒ සාගර පත්ලෙන් ඉඳහිට මතුවන විවිධ බලවේගද තිබේ. දේශපාලන තෝරු මෝරු නැතත් එක් සැණකින් මතු වී සාගර ජලකඳ කළඹා යාමට හැකි ප්‍රාණීහුද වෙති.
පසුගිය දිනවල වැඩවර්ජන අනතුරු ඇඟවීම් කීපයක්ද අපි දිටිමු. විශේෂයෙන් ජනතාවගේ පොදු ප්‍රවාහනයේ න්‍යෂ්ටිය බඳු දුම්රිය සේවාව බිඳ වැටුණි. පොදු ජනතාව වෙනුවෙන් පවතින සෞඛ්‍ය පද්ධතියේද අඩාලවීම් විය. ඒ සමගම තැපැල් වර්ජනයක් ගැනද වාර්තා විය. වර්ජනය යනු ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ලෙස අපි පිළිගනිමු. එහෙත් මේ වර්ජන සම්බන්ධයෙන් ඇසෙන, පෙනෙන ඇතැම් කරුණු සමග බලද්දී ඒවා වෘත්තීය සටන්වලට වඩා පසුගාමී දේශපාලන මෙහෙයුම් දැයි සැක සිතේ. කුමක් වුවත් මේ ආණ්ඩුව බලයට ගෙනඒමට කැපවූ පොදු ජනතාව විසින් පෙරළා දමන ලද අධිපතිවාදී හා වැඩවසම් ප්‍රභූ දේශපාලනයට යළි හිස එසවීමට ඉඩ නොතබා ක්‍රියා කිරීමේ වගකීම ජාජබ ආණ්ඩුව සතුවූවකි. එහෙත් ආණ්ඩුවේ ඇතැම් කළමනාකාරී දුබලතා දේශපාලන තීන්දු ආදිය නිසා වින්දිතයන් බවට පත්ව සිටින ජනතාවක්ද සිටින බව මෙහිදී සිහිපත් කළ යුතුය.
දැන් තවමත් සමාජ දේශපාලන අංශ කළඹවන මාතෘකාවක් බවට පත්ව තිබෙන පළාත් පාලන බල පොරය දෙසට හැරෙමු. මේ පොරයේ සජබයේ හා එජාපයේ අභ්‍යන්තර පොර ගැන ද ජනතාවට අවබෝධයක් තිබේ. එහෙත් මේ ආණ්ඩුවට පළාත් පාලන ආයතන බලය අත්වනු දැකීමට පොදුවේ ඔවුන් සියල්ලෝම නොරිසි වෙති. පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලය විග්‍රහ කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ ආණ්ඩුවේ ජනවරම බිඳී තිබෙන බවකි. සිය පාක්ෂිකයන් සිරිකොතට කැඳවූ ඔහුගේ උපදේශය වූයේ තම පක්ෂය බලය සඳහා ඉතිහාසයේද එක් කණ්ඩායමක් ලෙස ක්‍රියා කර තිබෙන බවය. ඔහු පැවසුවේ විපක්ෂයේ සියලු කොටස් එක්ව හැකි හැම සභාවකම බලය පිහිටුවිය යුතු බවය. පසුගිය මැතිවරණවලදී දේශපාලනය පිළිබඳ අත්දැකීම් සහිත පුරුදු අය පරදවා ආධුනිකයන් හෙවත් පුහුණුවන්නන් (එල් බෝඩ්කාරයන්) ජනතාව විසින් තෝරා ගන්නා ලද බවද ඔහු සිහිපත් කළේය. එහිදී ඔහුගේ ඇඟවීම වූයේ මේ ගමන යෑමට පරණ පුරුදු ඇති ඒ කණ්ඩායම් වුවමනා බවය.

එජාප නායකයා එසේ කියද්දී සජබ නායකයාගේ තත්ත්වය කුමක්ද? මේ වනවිට සජබය තුළ හටගත් ගින්න පහවී යමින් තිබුණත් එහි උණුසුම නම් තවම අඩුවී ඇතැයි කිව නොහැක. සජබයෙන් ලද සංවිධායක කම් නිලබල අත්හැර ඉච්ඡාභංගත්වයට පත්ව සිටි සමහරු ද මේ වනවිට සජබය කරා පැමිණෙමින් සිටිති. එසේ පැමිණි අය පවසන්නේ නායක සජිත් හමුවී තම ගැටලුවලට විසඳුම් ලබාගත් බවකි. එසේ වුවද සජබය නිර්දය ලෙස හෙළා දුටු අයගේ විවේචන මෙන්ම පක්ෂයේ සෙවෙල ක්‍රියාකාරකම් ගැන ද ඇසුණු කතා තවමත් පාවෙමින් තිබේ. ඇත්තටම පක්ෂය හැරගිය ඒ වැඩිදෙනෙකුට දේශපාලනය සඳහා සජබය හැර වෙනත් පක්ෂයක් නැති බව එහි නායකයෝ දනිති. දින කීපයකට පෙර සජබ මහ ලේකම් පුවත්පතකට පවසා තිබුණේ ද සංවිධායකවරුන් ඉල්ලා අස්වූ පලියට තම පක්ෂය කලබල නොවන බවකි. මේ අන් කිසිවක් නොව අද පවතින දේශපාලන වහල් සම්ප්‍රදායේම මුහුණුවරය.
මේ වාතාවරණය තුළ වුවද තවමත් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙන්නේ කොළඹ මහ නගර සභාවේ බලය අල්ලා ගැනීමය. විශේෂයෙන් අඛණ්ඩවම දක්ෂිණාංශික දේශපාලනයේ (එජාපයේ) බල කේන්ද්‍රය වූයේ කොළඹ නගර සභාවය. මොන ක්‍රමයකින් හෝ කොළඹ බලය දිනා, එහි පුරපති පුටුවට තම පාර්ශ්වයෙන් කෙනෙකු තෝරා ගැනීම සජබයේද අරමුණ වේ. එජාපයද ඒ සඳහා මැදිහත් වුවත් දැන් ඒ සටන තනිකරම සජබය සිදුකරයි. එජාපය පියවරක් පසු බැස සජබය සමග එක්ව කොළඹ පුරපති පත් කරගන්නා බව කියයි. සජබයේ මුජිබර් රහමන් මේ දේශපාලන සටනේ ප්‍රමුඛ සෙන්පතියා වී සිටියි. එනිසාම ඔහුට ද පක්ෂයේ සමහරුන්ගේ විවේචන එල්ල වේ. විශේෂයෙන් සජබයේ නැගී එන චරිතයක් වන මරික්කාර් හා මුජිබර් අතර විරසකය පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේද දැකගත හැකි වූවකි. ඒ මොනවා වුවත් මුජිබර් පවසන්නේ කොළඹින් පත්ව සිටින ස්වාධීන සභිකයන් බහුතරයක් තමන්ට සහාය පළකර ඇති බවය. එනිසා අනිවාර්යයෙන්ම කොළඹ පුරපති ලෙස තම කණ්ඩායමේ අයෙක් පත්වන බවද ඔහු දැඩිව පවසයි. එහෙත් තවමත් ඒ පුරපති මුහුණ සැඟවී ඇත.
මේ පුරපති සටන ආණ්ඩුවටද අතිශය වැදගත්ය. ආණ්ඩුවේ මුල් පෙලින් දැනටමත් ප්‍රකාශ වී තිබෙන්නේ කොළඹ පුරපති ලෙස තම පක්ෂයේ ව්‍රායි බල්තසාර් මන්ත්‍රීවරිය පත්වීම සහතික බවය. මෙය ජාජබයේ ඇමැති උප ඇමැති ආදීහුද තහවුරු කර සිටිති.
කෙසේ වුවද තවත් දින කීපයකින් මේ පුරපති සටනේ ප්‍රතිඵලය අපටත් – ජනතාවටත් දැනගත හැකි වනු ඇත. මෙම පුරපති සටනේදී කිසිසේත් පොදුජන එක්සත් පෙරමුණ, ශ්‍රීලනිපය, සර්වජන බලය ඇතුළු තවත් පිරිසක්ද ආණ්ඩුවට සහාය නොදක්වන බව දැනටමත් ප්‍රකාශ කර තිබේ. සජබයට හෝ එජාපයට සහාය දැක්වීම තම පිළිවෙත නොවූවද ජාජබය බලයට පත්වීමට ඔවුන්ට ඉඩ දිය නොහැකි බවද එහි මුල් පෙළේ නායකයන්ගේ අදහස වී තිබේ.