රට කලඹවන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තිත්ත බෙහෙත් වට්ටෝරුව
පාකිස්ථානය සම්බන්ධයෙන් ඉන්දීය බලපෑම ප්‍රතික්ෂේප කිරීම අවධාරණය කරන භූමියේ සත්‍යය
පාර්ලිමේන්තුව ද අනුමත කළ වසර හතරක ආන්දෝලණාත්මක වැඩපිළිවෙළ ඉදිරියට
මැති සබය නියෝජනය කරන සියලුම පක්ෂවල සාමූහික වගකීම
2009 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව ජා.මූ.අ. ට කළ බලපෑම
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) යම් රටක් සමග ඇතිකර ගනු ලබන ගිවිසුමකට තුන්වන පාර්ශ්වයකට අනිසි බලපෑම් කළ හැකිය. එවැනි බලපෑමක් කිරීම දේශපාලනික තීරණයකි. නමුත් බලාපොරොත්තු වන ඉලක්කය සපුරාගත නොහැකිය. ඊට දිය හැකි ඉතාමත් සුදුසු උදාහරණයක් ඇත. කාශ්මීරයේ ඉන්දියාව පාලනය කරන කොටසේ පසුගිය අප්‍රේල් 22 වන දින සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයට පාකිස්ථානය ඍජුව වගකිවයුතු බවට චෝදනා කළ ඉන්දියාව එම රටට ලැබීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදල නවත්වන ලෙස ජා.මූ.අ. නායකත්වයෙන් ඉල්ලා සිටිය බව විදේශ මාධ්‍ය වාර්තා කළේය. ජා.මූ.අ. ලබාදෙන එම මුදලින් කොටසක් තමන් විසින් මෑතකදී විනාශ කරන (කාශ්මීරයේ සිදුවූ අප්‍රේල් 22 ප්‍රහාරයෙන් පසුව මැයි 7-10 කාලය තුළ) ලද පාකිස්ථානය තුළ තිබූ ත්‍රස්තවාදී කඳවුරු නැවත පිහිටුවීමට යොදවන බවට ඉන්දියාව කළ ප්‍රකාශය ජා.මූ.අ. ප්‍රතික්ෂේප කළේය.
නියමිත පරිදි ඇමෙරිකානු ඩොලර් බිලියනයක මුදල පකිස්ථානයට ලබා දෙන ලදී. දෙපාර්ශ්වය 2024 සැප්තැම්බර් මාසයේ කළ ප්‍රකාශය අනුව වසර තුනක් තුළ පාකිස්ථානයට ලැබීමට නියමිත මුළු මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන හතකි. ජා.මූ.අ. සහ යම් රටක් අතර ඇති ගිවිසුමකට තුන්වන පාර්ශ්වයකට දේශපාලනික කරුණු කාරණා මත බලපෑම් කළ නොහැකි සේම නව ගිවිසුමක් ඇතිකර ගැනීමේදී ද අනවශ්‍ය බාහිර මැදිහත්වීමකට අවස්ථාව නැත. නමුත් විශේෂ අවස්ථාවකදී ජා.මූ.ල. අදාළ රටේ අවශ්‍යතාවය අනුව අවශ්‍ය සංශෝධනය කිරීම ප්‍රතික්ෂේප කරන්නේ නැත. අතිශය ව්‍යාකූල 2016-2020 කාලය ආවරණය පරිදි යහපාලන රජය ලබාගත් ණය පහසුකම දීර්ඝ කිරීමට ජා.මූ.අ. කටයුතු කළේය. ඒ 2018 ඔක්තෝම්බර් අග එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමෙන් ඇතිවූ ව්‍යවස්ථා අර්බුදය නිසා බව අවධාරණය කළ යුතුය. ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින යම් රටක දේශපාලන නායකත්වය අවංකව කටයුතු කරන්නේ නම් ජා.මූ.අ. ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළක් හරහා අපේක්ෂා කරන ඉලක්ක විය හැකිය.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූල) සමග විවිධ තත්ත්වයන් තුළ ගිවිසුම්වලට ඇතුළත් වී ඇත. පළමුවරට එලෙස ගිවිසුම්ගත වීමක් සිදුවූයේ 1965 වසරේදීය. මුදල් අමාත්‍ය ධුරය ද දැරූ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 2023 වසරේදී 17 වෙනි වරට ජා.මූ.අ. සමග ගිවිසුමකට ඇතුල්විය. එය බෙදුම්වාදී දමිළ ත්‍රස්තවාදය පරාජය කළ 2009 දී සිට ශ්‍රී ලංකාව ජා.මූ.අ. පිහිට පැතූ තුන්වන අවස්ථාවයි.
වසර හතරක් ක්‍රියාත්මක වීමට නියමිත දැනට ක්‍රියාත්මක ගිවිසුම ඊට පෙර ගිවිසුම් සමග සංසන්දනය කළ නොහැක. ඊට ප්‍රධානතම හේතුව දැනට ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රධානතම අරමුණ ඉතාමත් සංකීර්ණ තත්ත්වයක් යටතේ ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමයි. වැඩි බරක් ඇත්තේ ණය ප්‍රතිව්‍යූහගතකරණය.
ජා.මූ.අ. ගිවිසුම සම්බන්ධයෙන් නැවතත් අවධානය යොමු කිරීමට සිදුවූයේ මෑතකදී එම ණය දෙන ආයතන ශ්‍රී ලංකාවට කළ අනතුරු ඇඟවීම නිසාය. විදුලි බිල වහාම වියදම පියවෙන ආකාරයට සංශෝධනය කළ යුතු බව අවධාරණය කළ එම සංවිධානය ජුනි 2025 සිට එලෙස මිල සංශෝධනයක් සිදු වනතුරු ශ්‍රී ලංකාවට හතරවන වාරිකය නිදහස් නොකරන බවට දැනුම් දීමක් කළේය. ලංකා විදුලි බල මණ්ඩලය මෑතකදී මහජන උපයෝගීතා කොමිසමට 18.3% විදුලි බිල වැඩිවීමක් යෝජනා කළේය. යෝජිත විදුලි බිල වැඩිකිරීම සිදු නොකොළොත් ශ්‍රී ලංකාව යන්තමින් රැඳී ඇති ගිවිසුම කඩා වැටෙනු ඇත. අවාසනාවන්ත තත්ත්වය එයයි.
කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව ක්‍රියාත්මක රජයේ විදුලිය වැඩිකිරීමේ ක්‍රියාවලිය ජා.මූ.අ. ට කිසිසේත් අදාළ නැත. පාර්ලිමේන්තුව හරහා සම්මත කර ගනු ලැබූ පනතක් හරහා පිහිටුවනු ලැබූ මහජන උපයෝගීතා කොමිසමට කළ හැකි දෙයක් නොමැත. තීන්දු තීරණ ගැනීම සම්බන්ධයෙන් යම්කිසි ආකාරයකට ශ්‍රී ලංකාවට ‘නියෝග’ දීමේ බලයක් ජා.මූ.අ. හිමිවී ඇත. ඒ අප පාර්ලිමේන්තුවේ ද පූර්ණ එකඟතාවය මතය. ජනතාව රැවටීමට යෝජිත විදුලි බිල වැඩිකිරීමට එරෙහිව විපක්ෂයේ නියෝජිතයන් කරන ප්‍රකාශවල තේරුමක් නැත. ජාතික ජනබලය (ජාජබ) ආණ්ඩුවට ද විකල්පයක් නැත.
ඉතිහාසයේ පළමුවරට දැරිය නොහැකි තරමේ දැඩි ආර්ථික-දේශපාලනික-සමාජීය අර්බුදයක් මැද මැතිවරණයකින් පිට ජනාධිපතිවරයකු මැතිසබය හරහා 2022 ජූලි මස පත්කර ගැනීම නොසලකා ජාජබ මුහුණ දෙන ඇමෙරිකානු ඩොලර් බිලියන තුනේ (විශේෂ ගැනුම් හිමිකම් බිලියන 2.2ක පමණ) ජා.මූ.අ. විස්තීරණ අරමුදල් පහසුකම ඉදිරියට ගෙනයෑමේ අභියෝගය සම්බන්ධයෙන් සාකච්ඡා කළ නොහැක.
ව්‍යාකූල 2022 වසරේදී සිදුකළ දේශපාලන වෙනස කිරීමට ජවිපෙ නායකත්වය දෙන ජාජබ කළ මැදිහත්වීම සුළුපටු නොවේ. දේශපාලනය උඩුයටිකුරු කිරීම තුළින් බිහිවූ ජාජබ ආණ්ඩුව ආර්ථිකය ගොඩනැඟීමේ ජා.මූ.අ. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම භාර ගෙන ඇත.
වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජා.මූ.අ. සමග ඇතිකර ගනු ලැබූ ආන්දෝලණාත්මක ගිවිසුම සමග පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම පක්ෂයක්ම බැඳී ඇත. ඒ අනුව ජා.මූ.අ. ගිවිසුම සමග ජාජබ ද බැඳී ඇත. ශ්‍රී ලංකාවට ණය දී ඇති රටවල් ද සම්බන්ධ කරගනිමින් ජා.මූ.අ. ක්‍රියාත්මක කළ සූක්ෂම වැඩපිළිවෙළ තුළ විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳව ගිවිසුම ආර්ථික පරිවර්තන පනත (Economic Transformation Bill) හරහා පාර්ලිමේන්තුව ඡන්දයකින් තොරව අනුමත කර ඇත. ඒ පසුගිය වසරේ ජුලි මාසයේදීය. ජනාධිපතිවරණයට සති කීපයකට පෙරය.
ආර්ථික පරිවර්තන පනත හරහා ඊට පසුව පත්වෙන ආණ්ඩුව ජා.මූ.අ. සමග බැඳීම සිදුවිය. එම ක්‍රියාවලිය නැතහොත් ගිවිසුම්ගත වීම 2024 පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ඉලක්ක කර සිදුකළ බව අමුතුවෙන් කිවයුතු නොවේ. කෙසේ වෙතත් ජා.මූ.අ. පදයට නැටීමට ජාජබ ආණ්ඩුවට සිදුවී ඇත. ශ්‍රී ලංකාව ජා.මූ.අ. සමග ඇතිකර ගෙන ඇති 17 වෙනි ගිවිසුම නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීම තුළ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ වසර පහක කාලයෙන් පසුව ශ්‍රී ලංකාවේ තත්ත්වය තීරණය වනු ඇත.
එම පනත සරලව විග්‍රහා කළහොත් 2024 දී මහජන ඡන්දයෙන් බලයට පත්වන ඕනෑම පක්ෂයට මොනයම්ම තත්ත්වයක් තුළදීවත් සමස්ත ආර්ථිකය සම්බන්ධයෙන් ජා.මූ.අ. මාර්ගයෙන් පිටතට ගමන් කළ නොහැකිය. පෙර කළ වැරදි, රැවටිලිකාර වැඩ කළ නොහැකිය. පක්ෂ දේශපාලනයට මෙම තත්ත්වය (ජා.මූ.අ. ගිවිසුම) දැඩි තර්ජනයක් වුවත් එදා මැතිසබය නියෝජනය කරන සියලුම පක්ෂවලට ඊට එකඟ වීම හැර වෙන විකල්පයක් නැත. වර්තමාන පාර්ලිමේන්තුවේ තත්ත්වයද එයමය.
කෙටියෙන් කිවහොත් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පක්ෂයට එක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණක් හිමි මන්ත්‍රීවරු 225 සිටි මැතිසබයේ (2020-2024) ඔහු ඉදිරිපත් කළ ආර්ථික පරිවර්තන පනතට එරෙහිව ඡන්දයක් ඉල්ලීමට කිසිදු පක්ෂයක් ඉදිරිපත් වූයේ නැත. ඒ පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් (පොහොට්ටු පක්ෂය) පත්වූ මන්ත්‍රීවරු 145 සිටිය බව අමතක කළ නොහැකිය. නමුත් අදාළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත්වන විට එම පක්ෂය දියවී ගොස් තිබිණි.
ආර්ථික පරිවර්තන පනත ඡන්දයකින් තොරව සම්මත කිරීම තුළ ජා.මූ.අ. ශ්‍රී ලංකාවේ අත කැරකවූ තරම අපට තේරුම්ගත හැකිය. ආර්ථික පරිවර්තන පනත මහා දේශපාලන විනාශයක් ලෙස ප්‍රකාශ කළ කිසිවකු ඊට එරෙහිව ඡන්දය දීමෙන් වැළකී සිටිය බව අවධාරණය කළ යුතුය. පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මෙම පනත ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්ම පක්ෂ දේශපාලනයට කළ හැකි හානිය දැඩි ලෙස අවධාරණය කළේය. ඒ අවස්ථාවේදී පොහොට්ටුවෙන් ඉවත් වී සිටි එම මන්ත්‍රීවරයා සහයෝගය පළකළේ ප්‍රධාන විපක්ෂය වූ සමගි ජන බලවේගයට (සජබ) බව පෙන්වා දිය යුතුය. නමුත් ඔහු තම සටන අවසානයකට ගෙන ගියේ නැත.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටි ප්‍රධාන අපේක්ෂකයන්ට ජා.මූ.අ. ඉදිරිපත් කළ ඇඟ හිරිවට්ටන යෝජනා දිරවූයේ නැති නමුත් හිස නමා පිළිගැනීමට සිදුවිය. ජාජබ සහ සජබ එම මැතිවරණයෙන් පසුව අදාළ ගිවිසුම සම්බන්ධයෙන් කථිකාවක් ආරම්භ කරන බවට පොරොන්දු විය. නමුත් ජා.මූ.අ. ශ්‍රී ලංකාවට (ආණ්ඩුවට) කිසිදු බුරුලක් දීමට සූදානම් නැත. විදුලි බිල වහාම වැඩි කළ යුතු බවට ජා.මූ.අ. ප්‍රකාශ කර තිබෙන්නේ ඒ නිසාය. සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණය ජයගත්තා නම් ඔහුට සිදුවන්නේ ද ජා.මූ.අ. න්‍යාය පත්‍රය අනුව ක්‍රියාකිරීමටය. කිසිවකුට විකල්පයක් නැත. වර්තමාන පාර්ලිමේන්තුව තුළද ඒ පිළිබඳව හරවත් සාකච්ඡාවක් සිදුවන්නේ නැත. සාකච්ඡා කිරීමේ තෙරුමක්ද නැත. ඒ පිළිබඳව සාකච්ඡාවක් සිදුවන්නේ නම් රටේ අවශ්‍යතාවය දේශපාලන විරසක කම් පසෙක දමා ජා.මූ.අ. සමග ඇතිකර ගනු ලැබූ ගිවිසුම නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට දේශපාලන එකඟතාවයකට ඒමයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන එකෙකුටවත් පවතින තත්ත්වය තුළ තනියම ගොඩයෑමට නොහැකිය.
ජාජබ ජනාධිපතිවරණයට පෙර දෙවරක් නිල වශයෙන් ඉහළ පෙළේ ජා.මූ.අ. නියෝජිත කණ්ඩායම් සමග කොළඹදී සාකච්ඡා කළේය. ජනවාරි 18, 2024 දින ආචාර්ය හරිනි අමරසූරිය ගේ නායකත්වයෙන් ජාජබ කණ්ඩායම පැලවත්තේ පිහිටි ජවිපෙ ප්‍රධාන මූලස්ථානයේදී ජා.මූ.අ. නියෝජිතයන් මුණගැසුන අතර දෙවන සාකච්ඡාව කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්විණි. ඒ 2024 මාර්තු 4 වන දිනය. ඊට අමතරව නිල නොවන මට්ටමින් ජාජබ ජා.මූ.අ. සමග පමණක් නොව ශ්‍රී ලංකාවේ ද්වීපාර්ශ්වික ණය දුන් රටවල් සමගද සාකච්ඡා කළ බවට සැකයක් නැත. ඇත්ත වශයෙන්ම පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ ජාජබ පමණක් නොව ප්‍රධාන පරාජිත කණ්ඩායම් ද ජා.මූ.අ. ගිවිසුම අනුමත කර තිබූ බව අවධාරණය කළ යුතුය.
ශ්‍රී ලංකාව සහ ජා.මූ.අ. අතර ගිවිසුම පිළිබඳව රට තුළ සාකච්ඡාවක් ඇතිවිය යුතුය. වොෂින්ටනයේ පැවැත්වූ ජා.මූ.අ. මාධ්‍ය සාකච්ඡාවකදී එම සංවිධානය අප රටට කළ අනතුරු ඇඟවීම ශ්‍රී ලංකාව පත්වී ඇති අසරණ තත්ත්වය යළි යළිත් අවධාරණය කරයි. නමුත් ජා.මූ.අ. පදයට නටනවා හැර ආණ්ඩුවට වෙන ක්‍රියාමාර්ගයක් ගත නොහැකිය. පාර්ලිමේන්තුව 2024 ජුලි මාසයේ සම්මත කළ ආර්ථික පරිවර්තන පනත හරහා ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ සාමූහික වගකීම සියලුම පක්ෂවලට ඇත. එදා ඡන්දයකින් තොරව එම පනත සම්මත වනවිට ජාජබ මන්ත්‍රී කණ්ඩායම තිදෙනකුගෙන් – අනුර කුමාර දිසානායක, විජිත හේරත් සහ ආචාර්ය හරිනි අමරසූරියගෙන් සමන්විත විය. අද ඒ කණ්ඩායම 159 කි. එදා මන්ත්‍රී කණ්ඩායමේ නායකයාවූ අනුර කුමාර දිසානායක විධායක ජනාධිපතිවරයාය. නමුත් විධායකය සහ ව්‍යවස්ථාදායකයේ 2/3 බලයක් හිමි එම පක්ෂයට අවශ්‍ය ආකාරයට විදුලි බිල තීරණය කළ නොහැකිය. ඩිසල්, පෙට්‍රල් සහ ජල බිල පිළිබඳව තීරණ ද ආණ්ඩුවට ඕනෑ ආකාරයට කළ නොහැකිය.
මෑතකදී ශ්‍රී ලංකාවේ තම සේවා කාලය අවසන් කළ Mizukoshi Hideaki නමැති ජපාන තානාපතිවරයා මෙම ලියුම්කරු සමග 2024 අගෝස්තු මාසයේ ඔහුගේ නිල නිවසේදී කළ විශේෂ සාකච්ඡාවකදී ජා.මූ.අ. සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක ගිවිසුම පිළිබඳව අපූරු අදහසක් ඉදිරිපත් කළේය.
ඔබට අවශ්‍ය කුමන අපේක්ෂකයා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට දැයි විමසූ විට ජපන් රාජ්‍යතාන්ත්‍රිකයා අවධාරණය කළේ කුමන පක්ෂය ජයග්‍රහණය කළත් තමන්ට අවශ්‍ය නැතහොත් අනිවාර්යෙන්ම සිදු විය යුත්තේ දැනට ක්‍රියාත්මක ජා.මූ.අ. වැඩපිළිවෙළ ඒ ආකාරයෙන්ම ඉදිරියට යෑම බවයි. එම වැඩපිළිවෙළ කිසිදු ආකාරයකින් වෙනස් කළ නොහැකි බව සිනාමුසු මුහුණින් ප්‍රකාශ කළ එතුමා ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් යථා තත්ත්වයට පත්වීම රඳා පවතින්නේ එම වැඩසටහන පක්ෂ දේශපාලනයෙන් තොරව ක්‍රියාත්මක කිරීම තුළ බව පැවසීය. ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජහා මාධ්‍යවේදීන් කණ්ඩායමක් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී හමුවූ අවස්ථාවේදී පෙර මෙම ලියුම්කරු ඉන්දියාවේ අවශ්‍යතාවය පිළිබඳව විමසූ විට එතුමා ද ජා.මූ.අ. ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ දැඩි අවශ්‍යතාවය අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවට ජා.මූ.අ. ගිවිසුමෙන් ගැලවිල්ලක් නැත. ආර්ථික අර්බුදය දැඩි අවස්ථාවක මුදල් ලේකම් මහින්ද සිරිවර්ධන රූපවාහිනිය සමග කළ සජීවී සාකච්ඡාවකදී දැනට ක්‍රියාත්මක ජා.මූ.අ. ගිවිසුම ශ්‍රී ලංකාවට ලැබෙන අවසාන අවස්ථාව බව අවධාරණය කළ එතුමා මීට පෙර ජා.මූ.අ. සමග ගිවිසුම් ගතවූ අවස්ථාවලදී ශ්‍රී ලංකාව එම ආයතනයද රැවට්ටුව බව ප්‍රකාශ කළේය. මුදල් ලේකම්වරයා කළ ප්‍රකාශයෙන් පසුව 2022 අරගලය ක්‍රියාත්මක වීමට පෙර පත්වූ කිසිදු ආණ්ඩුවක් සම්බන්ධයෙන් ජනතාවට මූල්‍ය විනය සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් තිබිය නොහැකිය. ඡන්දය දෙන ජනතාව පුරුද්දට මෙන් රවටන අප රටේ ආණ්ඩුවලට ජා.මූ.අ.
රැවටීම සුළු දෙයකි. නමුත් ජා.මූ.අ. සමග ඇතිකර ගත් 2023 ක්‍රියාත්මක කළ 17 වැනි ගිවිසුම ඊට පෙර ගිවිසුම් වලට හාත්පසින්ම වෙනස්ය. ජා.මූ.අ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක් ගෙන ඇත. ජා.මූ.අ. ට අවශ්‍ය ආකාරයට එම ගිවිසුම ක්‍රියාත්මක නොකොළහොත් එය තවදුරටත් ක්‍රියාත්මක නොවනු ඇත.
දිසානායක ජනාධිපතිවරයා පසුගිය වසරේදී ජනතාවට දුන් ප්‍රධානතම පොරොන්දුවක් පිළිබඳව ලංකාව සහ ජා.මූ.අ. අතර ඇති ගිවිසුම සැලකිල්ලට නොගෙන සාකච්ඡා කළ නොහැක. ජනාධිපතිවරයා විදුලි බිල 30% අඩුකරන බවට මහ මැතිවරණයේදී පොරොන්දුවක් දුන්නේය. වික්‍රමසිංහ – රාජපක්ෂ ආණ්ඩුවට එල්ලවූ ප්‍රධානතම චෝදනාවක් වූයේ ජනතාවට සහ ව්‍යාපාරවලට දැරිය නොහැකි විදුලි බිලක් ක්‍රියාත්මක බවයි. මහජන උපයෝගිතා කොමිසමේ මැදිහත්වීමෙන් 2025 ජනවාරි මාසයේදී සමස්තයක් ලෙස 20% පමන විදුලි බිල අඩු කරන ලදී. එම විදුලි බිල අඩු කිරීම සිදුවූයේ දැඩි ආන්දෝලණාත්මක තත්ත්වයක් තුළය. විදුලි බල මණ්ඩලයේ දැඩි අකමැත්ත මතය.
ජා.මූ.අ. සම්බන්ධයෙන් සඳහන් කළ යුතු විශේෂ දෙයක් ඇත. දෙමළ ත්‍රස්තවාදයට එරෙහි හමුදා මෙහෙයුම් අවසාන අදියරට පැමිණි තිබුණ අවස්ථාවේදී (2009 අප්‍රේල්-මැයි) මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය ණයක් බලාපොරොත්තු විය. ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී සිටිය දෙස් – විදෙස් පාර්ශ්ව ඒ අවස්ථාවේදී ජා.මූ.අ. ශ්‍රී ලංකාවට ණයක් දීම වැළැක්වීමට දැඩි උත්සහයක් ගත්තේය. එදා තිබූ තත්ත්වය අවධාරණය කිරීමට දිය හැකි ප්‍රබලම උදාහරණය ජා.මූ.අ. ණය නැවත්වීමට එදා ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් කළ මැදිහත් වීමයි. ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයකු/ලේකම්වරියක එවැනි මැදිහත්වීමක් කිරීමට නම්මවා ගැනීම සුළුපටු දෙයක් නොවේ. නමුත් හිලරි ක්ලින්ටන් කිසිදු හිරිකිතයකින් තොරව එම මැදිහත්වීම කළ හේතුව තේරුම් ගැනීමට අපහසු නැත. නමුත් ජා.මූ.අ. ඇය කළ මැදිහත්වීම නොසලකා හැරීය.
ජා.මූ.අ. 2009 ජුලි මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 2.6 ණයක් මාස 20 ආවරණය වන පරිදි ලබා දුන්නේය. ඒ ගිවිසුම ක්‍රියාත්මක වූයේ ත්‍රස්තවාදය පරාජය කර දින 100 තුළය. ජාමූල ශ්‍රී ලංකාවේ ඉල්ලීමට ප්‍රතික්ෂේප කළානම් මහින්ද රාජපක්ෂ රජය දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්වීමට තිබිණි.
ඊට පසුව ශ්‍රී ලංකාව නැවතත් ජා.මූ.අ. පිහිට ලබා ගනු ලැබුවේ 2016 ජුනි මාසයේදීය. ඒ යහපාලනයේ දෙවන අවුරුද්ද බව මතක් කළ යුතුය. දෙවන මහා බැංකු කොල්ලය කළ වසරයි. පළමුවන මහා බැංකු කොල්ලය සිදුකරන විට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා එම ධුරයට පත්වී දින 50ක් වත් ගතවී තිබුණේ නැත.
අද රට ආර්ථිකමය වශයෙන් පත්වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කරන විට මහ බැංකු අධිපති ආචාර්ය වීරසිංහ පාර්ලිමේන්තු කෝප් සහ කෝපා පාර්ලිමේන්තු කාරක සභා දෙක ඉදිරියේ කළ ප්‍රකාශ දේශපාලන පක්ෂවලට මතක් කර දිය යුතුය.
ගෝඨාභය රාජපක්ෂ රජයට ලබා ගැනීමට අවස්ථාව තිබූ ජා.මූ.අ. ණය පහසුකම අහිමි කිරීමෙන් අරගලයට මග පෑදුව පුද්ගලයන් ඔහු පාර්ලිමේන්තුවේදී නම් කළේය. ජා.මූ.අ. ඉදිරිපත් කළ යෝජනා සහ අවවාද නොසලකා හැරිය ආකාරය එතුමා අවධාරණය කළේය. රටේ ආර්ථිකයට කිසිසේත්ම දරාගත නොහැකි සෑම ක්ෂේත්‍රයක්ම පාහේ ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළ බදු කප්පාදුව ඇති කළ තත්ත්වය පෙන්වා දුන්නේය.
තවත් අවස්ථාවක අය-වැය ඉදිරිපත් කිරීමේදී රජය පාර්ලිමේන්තුව නොමඟ යවන ආකාරය නැතහොත් රවටන ආකාරය අවධාරණය කළේය. එම අවස්ථාවන් දෙකටම මුදල් ලේකම් සිරිවර්ධන ද සහභාගි විය. ඊට අමතරව පෙර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට මහා බැංකු අධිපතිවරයා කළ දේශනය ආර්ථිකය මුහුණ දෙන අභියෝගය සහ එම අභියෝග ජයගතහැකි ආකාරය පෙන්වා දුන්නේය.
කවුරු බලයේ සිටියත් මහ බැංකු අධිපතිවරයා මැති සබයේදී කළ ප්‍රකාශ නිසියාකාරයෙන් තේරුම්ගත් පාර්ලිමේන්තුවක් නැවතත් කිසිදා රට සාමූහිකව විනාශ කරන්නේ නැත. අවසානයේ අවධාරණය කිරීමට ඇත්තේ මොනයම්ම තත්ත්වයක් තුළදීවත් දැනට ක්‍රියාත්මක ජා.මූ.අ. සමග ගිවිසුම අවදානමට ලක් කිරීමට ජාජබ ආණ්ඩුවට නොහැකිය. එම ගිවිසුම අනතුරට ලක්කිරීම තුළින් අවදානමට ලක්වන්නේ 2028 දී නැවතත් ලෝකයට ණය ගෙවීම ආරම්භ කිරීමට ජා.මූ.අ. පොරොන්දු වී ඇති ශ්‍රී ලංකාවයි. එසේ කිරීමට ජාජබට ජනවරමක් නැත. ඡන්දය ජයග්‍රහණය කිරීමට දුන් බොරු පොරොන්දු ඉටු කිරීමට නොහැකි වුවත් ප්‍රශ්නයක් නැත. ආර්ථිකය නැවතත් අනතුරේ හෙලන කිසිවක් කිසිදු රජයක් නැවතත් නොකිරීම ජනතාවගේ ප්‍රාර්ථනයයි.
මෙම ලිපිය අවසාන කරන මොහොතේ හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දුට පිළිවෙළින් වසර 20 සහ 25 බැගින් බරපතළ වැඩසහිත සිර දඬුවම සම්බන්ධයෙන් යමක් සඳහන් කළ යුතුය. 2015 ජනාධිපතිවරණ සමයේදී කැරම් බෝඩ් 14,000 ක් සහ සහ දාම් ලෑලි 11,000 ක්‍රීඩා සමාජවලට නොමිලේ බෙදා රජයට රුපියල් ලක්ෂ 530 පාඩු කිරීමට එරෙහි නඩුව (රුපියල් බිලියන භාගයකට වැඩි) සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂක අනුත්තරා ජයසිංහ කළ ප්‍රකාශයට අවධානය යොමු කළ යුතුය. මේ ආකාරයේ ක්‍රියාකලාපයන් රට බංකොළොත් වීමට හේතු වූවා. ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයේ සභාපති මහේෂ් වීරමන් අවධාරණය කළේ රජයට දේශීය සහ විදේශීය ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් උදා වීමටද මෙවැනි ක්‍රියාකාරකම් හේතු වූ බවයි.
අල්ලස් කොමිසම වෙනුවෙන් ජයසිංහ මහත්මිය අධිකරණයෙන් ඉල්ලූ පරිදි නැවතත් වංචා, දූෂණ සහ අක්‍රමිකතා කරනවා තබා එවැනි දේ සිතීමටවත් බියවන ආකාරයට නඩු තීන්දුවක් දී ඇත. අධිකරණය ගනු ලැබූ තීරණයට ජනතාවගේ උපහාරය නොඅඩුව හිමිවෙනු ඇත.
ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ