ශ්‍රී ලංකාව නිවර්තන කලාපයේ පිහිටි රටක් ලෙස වසර පුරා හිරු රශ්මිය නිරන්තරයෙන් ලැබෙනවා සේම වර්ෂාපතනය ද කලානුරූපව ප්‍රධාන වශයෙන් නිරිතදිග හා ඊශාන දිග මෝසම් හරහා ලැබේ. ශ්‍රී ලංකාවේ තෙත් කලාපයට ‘නිරිත දිග මෝසම’ මූලික කරගෙන හා වියළි කලාපයට ‘ඊශාන දිග මෝසම’ මූලික කරගෙන වර්ෂාපතනය ලැබේ. අන්තර් මෝසම් වර්ෂාවන් ද සලකා බැලූ විට, වර්තමානයේ ශ්‍රී ලංකාවේ මෝසම් වර්ෂා රටාවන්හි ඉතා පැහැදිලි වෙනස්කම් දැකගන්නට ලැබෙමින් පවතී. මෙම වෙනස්කම්වලට මූලික සහ ආසන්නතම හේතු සාධකයන් ලෙස ‘ගෝලීය උණුසුම්කරණය’ (global warming) සහ ‘දේශගුණික විපර්යාස’ (climate change) පෙන්වා දිය හැකිය.
ගෝලීය උණුසුම්කරණය සහ දේශගුණික විපර්යාස:
මූලික වශයෙන් ලෝක කාර්මික විප්ලවයත් සමග නව කාර්මික සොයාගැනීම් සහ නවෝත්පාදන විශාල ලෙස ඉහළ ගිය අතර, ඒවායින් බොහෝමයක් කාර්මික ක්‍ෂේත්‍රයට අනුබද්ධ නිෂ්පාදනයන්, බොර තෙල් (crude oil) සහ පොසිල ඉන්ධන (fossil fuel) මත පදනම් විය. එමෙන්ම බොරතෙල් සහ පොසිල ඉන්ධන නිෂ්පාදන ක්‍ෂේත්‍රය ලොව ඉහළම ලාභ ලබන ආර්ථික ක්‍ෂේත්‍රය බවට පත්විය. මේ වකවානුව වන විට බටහිර රටවල් (මූලික වශයෙන් ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, ජර්මනිය, එංගලන්තය (පෙර) ඇතුළු බොහෝ යුරෝපීය රටවල් සිය සංවර්ධිත මාවත්වල ඉහළ තලයන්ට ළඟාවන්නට වූයේ ලෝක පාරිසරික නීති තඹ දොයිතුවකට වත් සැලකිල්ලට නොගෙන වීම ඉතා කනගාටුදායක මෙන්ම හානිදායක ප්‍රතිඵල රාශියක් ලෝකයට උරුමකර දෙන්නට හේතු විය. මෙම වාතාවරණය තුළ ඉතා හානිදායක විමෝචනයන් විශාල ලෙස (CO2, CFC සහ Methane ප්‍රමුඛව) ඉහළ යන්නට විය. මෙම හානිදායක විමෝචන කාරක අතර, බැර කර්මාන්ත, සාගර (නැව්) ප්‍රවාහනය, ගොඩබිම් ප්‍රවාහනය, සහ ගුවන් ප්‍රවාහනය ප්‍රධාන වේ. යථෝක්ත සන්දර්භයේ අවසාන ප්‍රතිඵලය ලෙස වර්තමානය වන විට, ‘ගොඩබිම මතුපිට උෂ්ණත්වයේ සාමාන්‍ය’ (average ground surface temperature) මෙන්ම, ‘සාගරික මතුපිට උෂ්ණත්වයේ සාමාන්‍ය’ (average sea surface temperature/SST) ඉතා හානිදායක ලෙස ඉහළ ගොස් ඇත.
නිදසුන් ලෙස, ගෝලීය පර්යේෂණ දත්තයන්ට අනුව (IPCC වාර්තා මූලිකව) විශේෂයෙන් බටහිර රටවල සමහර ප්‍රදේශයන්හි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 (0C) ඉක්මවා ඇත. අප වටහා ගත යුත්තේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක දශම ගණනකින් ඉහළ ගියත්, එහි ප්‍රතිවිපාක අති ප්‍රබල බවයි. ගෝලීය උෂ්ණත්වය ඉහළයෑම සෙල්සියස් අංශක 1.5 (0C) ට පහළින් තබා ගැනීම, ‘ගෝලීයව මූලික ඉලක්කයක්’ බවට ද පත්ව ඇත. දේශගුණික විපර්යාස (climate change) යනු සරලව ‘සාමාන්‍ය කාලගුණික රටාවන්හි දීර්ඝ කාලීනව ඇතිවන වෙනස්කම් ය.’ මෙම වෙනස්කම් ප්‍රාදේශීයව මෙන්ම ගෝලීයව ද සලකා බැලිය හැකියි. නූතන දුරස්ථ සංවේදන (remote sensing) දත්ත සහ පර්යේෂණ ප්‍රතිඵල අනුව, ගෝලීය උණුසුම්කරණය, දේශගුණික විපර්යාස ඉතා තීව්‍රර කිරීමට ප්‍රබලව බලපා ඇත. මෙම කනගාටුදායක තත්ත්වය තීව්‍ර කිරීමට, ඉහතින් සඳහන් කළ හානිදායක වායු විමෝචනයන්ට අමතරව නානාවිධ වූ මානව ක්‍රියාකාරකම් හේතු වී ඇත. ලොව ස්වාභාවික වනාන්තර ආවරණය ශීඝ්‍ර ලෙස අවම වීම ද සෘජුව බලපා ඇති කරුණකි. බ්‍රසීලයේ ඇමසන්, මෙන්ම ශ්‍රී ලංකාවේ සිංහරාජ වනාන්තර මේ සම්බන්ධයෙන් මොනවට නිදසුන් සපයයි. අනික් අතට, වනාන්තර විනාශය, පරිසර පද්ධති සේවාවන් (ecosystem services) බොහෝමයක් මිනිසාට අහිමි කරයි.
ගෝලීය උණුසුම්කරණයේ සහ දේශගුණික විපර්යාසවල වඩා හානිදායකව ප්‍රතිඵල ‘අනපේක්‍ෂිත ස්වභාවික ආපදා’ හරහා මිනිසාට අත්විඳීමට සිදු වී ඇත. මෙම අනපේක්‍ෂිත අතිශය ප්‍රබල ආපදාවල (unexpected extreme disasters)ල සුවිශේෂත්වය වන්නේ, ඒවායෙහි තීව්‍රතාවය/ප්‍රබලත්වය (intensity) ඉතා ඉහළ (අසමාන) වන්නා සේම, පුරෝකථනය කිරීමට නොහැකි වීමයි. එනම්, දියුණු රටවල ස්ථාපිත කොට ඇති දියුණු බහු ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිවලට පවා මෙම ස්වරූපයේ ආපදා නිශ්චිතව පුරෝකථනය කිරීමට නොහැකි වී ඇත. මෙම ආපදා මූලික වශයෙන්, ජල-කාලගුණික ආපදා (Hydrometeorological disasters) ලෙස හඳුනාගෙන ඇත. මේ අතර, ‘අධි තීව්‍රතා වැසි’ (torrential rains), අති ප්‍රබල ගංවතුර තත්ත්වයන් (mass flooding events),අනපේක්‍ෂිත නායයාම් (unexpected landslides), දීර්ඝ කාලීන නියඟ (prolonged droughts), උණුසුම් තරංග (heat waves), සීත තරංග (cold waves), අසාමාන්‍ය සීත සෘතු (extreme winter events) සහ දීර්ඝකාලීන සහ ප්‍රබල නිවර්තන වාසුළි තත්ත්වයන් (long-lived super tropical cyclones) ප්‍රධාන වේ.
ආන්තික ගංවතුර තත්ත්වයන්හි ගෝලීය උපනති:
විශේෂයෙන්ම වර්තමානයේ බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇති කාරණය වන්නේ එදිනෙදා අප අත්විඳින ආපදාවල ස්වරූපය, සාමාන්‍ය තත්ත්වයෙන් ඔබ්බට ගොස් ඇති බවයි. විශේෂයෙන් ජල කාලගුණික ආපදා ‘ආන්තික ආපදා’ (extreme disasters) ස්වරූපයෙන් ලොව බොහෝ රටවලට අත්විඳීමට සිදුව ඇත. මේ උපනතීන් සම්බන්ධයෙන්, මෑත කාලීන ගෝලීය නිදසුන් කිහිපයක් කෙටියෙන් සලකා බැලිය හැකියි.
ගෝලීය උණුසුම්කරණයේ සහ ගෝලීය දේශගුණික අර්බුදයේ (world climate crisis) වඩා ප්‍රබල අන්තය වන්නේ ‘ආන්තික ගංවතුර’ ආපදාවන්ය. පසුගිය වසර හතර තුළ (2021-2024) ලොව බොහෝ දියුණු මෙන් ම දියුණු වන රටවල් ‘මහා ගංවතුර’ :(mass flooding events) තත්ත්වයන්ට ගොදුරුවිය. අතිශය ප්‍රබල තීව්‍රරතාවයකින් කෙටි කාලයක් තුළ ඇදහැලෙන අධික වර්ෂාව මෙම මහා ගංවතුර තත්ත්වයන්ට ප්‍රධාන හේතුවයි. දියුණු රටක් වන ජර්මනිය, 2021 වසරේ ජූලි මස ඇදහැළුණු මහා ධාරානිපාත වර්ෂාව සහ ප්‍රබල ගංවතුර හේතුවෙන් මහා විපතකට ලක්විය. ඉන් ජීවිත සිය ගණනක් අහිමි වූ අතර, ලක්‍ෂ ගණනක් සාමාන්‍ය ජනයා බලපෑමට ලක්විය. ජර්මනියේ ස්ථාපිත කර තිබූ බහු ආපදා පූර්ව-අනතුරු ඇඟවීමේ පද්ධති (multi-hazards early warning systems/ MHEWS), එම සිදුවීම සම්බන්ධයෙන් කිසිදු අනාවැකියක් පළකර නොතිබිණ. සමස්ත දේපළ හානිය යුරෝ බිලියන ගණනක් විය. 2022 වසරේ අගෝස්තු මස දියුණු වන රටක් ලෙස පාකිස්තානය, මෝසම් වැසි අතරතුර ඉතිහාසයේ මහා ගංවතුර ආපදාවකට ලක්වූ අතර, ජීවිත දහසකට වඩා අහිමි විය. ඉන් පුද්ගලයින් මිලියන 33 කට වඩා බලපෑමට ලක්විය. මෙම තත්ත්වය පාකිස්තාන ඉතිහාසයේ ‘මහා දේශගුණික විපත්තිය’ ලෙස නම් කෙරිණ. සමස්ත හානිය පාකිස්තාන ආර්ථිකයට ප්‍රබලව දැනෙන්නට විය.
විශේෂයෙන් වියළි කාලගුණයක් පවතින අරාබිකරයට (සවුදි අරාබිය ප්‍රමුඛ), 2024 වසරේ ජනවාරි මස ලැබුණු අධික වර්ෂාවෙන් විශාල ගංවතුර තත්ත්වයක් උදාවිය. එම වසරේ අප්‍රේල් මස කෙන්යාවේ නයිරෝබි ප්‍රමුඛ ඊශාන දිග අප්‍රිකානු කලාපයට ලැබුණු මහා වර්ෂාවෙන් ජීවිත සිය ගණනක් අහිමි වී ලක්‍ෂ ගණනක් අවතැන් විය. එමෙන්ම පසුගිය වසරේ ඔක්තෝබර් මස ස්පාඤ්ඤයේ දකුණු (වැලන්සියා ප්‍රමුඛ) සහ නැගෙනහිර ප්‍රදේශවලට ‘ඩානා’ සුළි කුණාටුව හේතුවෙන් ඇදහැළුණු ඓතිහාසික වර්ෂාව මගින් විනාශකාරී ගංවතුර තත්ත්වයක් උද්ගත වූ අතර අති විශාල ආර්ථික හානියක් එම ප්‍රදේශවලට අත් විඳින්නට විය. එම ප්‍රදේශවලට ඔක්තෝබර් 29 දින පැය 24 ක කාලය තුළ වර්ග මීටරයට වර්ෂාපතනය ලීටර් 200 කට වැඩියෙන් ලැබී තිබුණි. විශේෂයෙන් වැලන්සියා වැනි ප්‍රදේශයන්ට මෙම තීව්‍රතාව පැය අටක් තුළ වර්ග මීටරයට වර්ෂාපතනය ලීටර් 400 ඉක්මවීය. වාර්තා වූ ජීවිත හානිවලට අමතරව ලක්‍ෂ ගණනක් නාගරික ජනතාව අවතැන් විය. සමස්ත හානිය යුරෝ බිලියන ගණනක් වූ අතර, බරපතල ලෙස එරට පාලනාධිකාරිය මහජන දෝෂාරෝපණයට ලක්විය. එම තත්ත්වයට මූලිකව හේතුව වූයේ එරට පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති නිසි ලෙස ක්‍රියාත්මක නොවීමයි. මෙම ආන්තික තත්ත්වයන් හමුවේ ලොව දියුණු රටවල් බරපතල අර්බුදයන්ට ලක්වී ඇති වටපිටාවක් තුළ, අප ශ්‍රී ලංකාව වැනි දියුණු වන රටක තත්ත්වය කොතරම් බරපතල විය හැකිද?
දින 45හේ ගංවතුර:
දින 45හේ ගංවතුර යනු, ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ කළු ගංගාවේ මධ්‍යම සහ පහළ නිම්න මිටියාවත්වල ගංවතුර සමග දසක ගණනක් තිස්සේ ජීවත් වන ජනතාවගේ පාරම්පරික ඥාන භාවිතයන් (traditional knowledge practices) මත පදනම් ව හඳුනාගෙන ඇති ස්වාභාවික සංසිද්ධියකි. දින 45 යන්න ගණනය කරන්නේ සෑම වසරකම අප්‍රේල් මස මැද සිටිය. එනම් අප්‍රේල් මස 15 වන දින සිට මැයි මස අවසානය වන විට දින 45 සපිරේ. සෑම වසරකම මැයි මාසයේ නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රීය වේ. නිරිතදිග මෝසමෙන් වැඩිම වර්ෂාපතනයක් ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ තෙත් කලාපයටයි. මේ අතර සබරගමු පළාත, බස්නාහිර පළාත සහ දකුණු පළාත ප්‍රධාන වේ. මේ අනුව, සෑම වසරකම මැයි අවසානයේ හෝ ජූනි මස ආරම්භයේ කළු ගංගාවේ මධ්‍යම සහ පහළ නිම්න ප්‍රදේශයන්ට (රත්නපුර ප්‍රමුඛව) සුළු වශයෙන් හෝ ගංවතුර තත්ත්වයක් ඇතිවේ. 2017 වර්ෂයේ සාපේක්‍ෂව මෙම තත්ත්වය ඉතා ප්‍රබල විය. මූලික වශයෙන් ම නිරිතදිග මෝසම වඩා ප්‍රබල වීමට බලපෑ ඇති ප්‍රධාන හේතු සාධකය වන්නේ, නිවර්තන කලාපය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීමයි. විශේෂයෙන්ම නිරිත දිග මෝසම් සුළං හමාඑන ශ්‍රී ලංකාවට නිරිත සහ දකුණු මුහුදු ප්‍රදේශය (ඉන්දියන් සාගරය) විශාල ගොඩබිම්වලින් තොරය. මේ හේතුවෙන් එම සුළං නිරන්තරයෙන් ජලවාෂ්පවලින් සංතෘප්ත වී හමා එයි. මේ අනුව සුළං මුහුණතේ පිහිටි තෙත් කලාපයේ බොහෝ ප්‍රදේශවලට ධාරානිපාත වැසි ලැබේ. ගෝලීය උණුසුම්කරණය සහ දේශගුණික විපර්යාසවල බලපෑම නිසා, නිරිතදිග මෝසමේ සාමාන්‍ය ස්වරූපය වෙනස් වී, ඒ හා සම්බන්ධ ආපදාවන් ආන්තික (extreme) මෙන්ම ඉතා විනාශකාරී :(disastrous) ස්වරූපයක් ගෙන ඇත. එමෙන්ම මෝසම් වර්ෂා රටාවන්හි (අන්තර් මෝසම් ඇතුළුව) විචලතාවයන් ද කෙමෙන් තීව්‍ර වී ඇත. මෙම පසුබිම මත, 2025 වසරේ මැයි මස අවසානයේ හෝ ජුනි මස ආරම්භයේ පැමිණීමට නියමිත දින 45හේ ගංවතුර ඉතා ප්‍රබල වීමට තිබෙන සම්භාවිතාව ඉහළය.

නූතන පර්යේෂණ ප්‍රතිඵල:
විශේෂයෙන් ම පසුගිය වසරේ දින 45හේ ගංවතුරට අදාළව, ඓතිහාසිකව ප්‍රබල සහ ඉතා ඉහළ තීව්‍රතාවකින් ධාරානිපාත වර්ෂාපතනයක් ලැබුණේ 2024 ජුනි මස දෙවැනි දිනයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ වාර්තාව අනුව මෙම දින (පැය 24 ක කාලය තුළ) ඇහැලියගොඩ ප්‍රදේශයට මිලි මීටර් (මි.මි.) 436.6 ක ද, හල්වතුර වතුයාය ප්‍රදේශයට මි.මි. 349 කද, මාකෙලි ඇල්ල ප්‍රදේශයට මි.මි. 301.5 ක ද ආන්තික වර්ෂාපතනයන් පතිත වී ඇත. මේ අනුව අපගේ පර්යේෂණයට භාජනය වූයේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රදේශයයි. ක්‍ෂේත්‍ර සමීක්‍ෂණවලින් අපට හඳුනාගත හැකි වූයේ, ‘ධනාගල කඳුකර’ ප්‍රදේශයට සහ අවට පිහිටි කරදන දකුණ (143 A)ත කරදන – උතුර (143) සහ සිරිසමන්පුර (143 E) ග්‍රාමනිලධාරී වසම්වලට යථෝක්ත මි.මි. 436.6 ක ආන්තික වර්ෂාපතනය පතිත වී ඇති බවයි. අප පර්යේෂණ කණ්ඩායම ප්‍රදේශවාසීන් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවලින් තහවුරු වූයේ, ඔවුන්ගේ ජීවිත කාලය තුළ අත්විඳි අති ප්‍රබලම වර්ෂාපතනය එය බවයි.
ප්‍රදේශවාසීන්ට අනුව, මෙම මහා වර්ෂාතනය නිසා, එම ප්‍රදේශවල, නායයාම්, ගස් ඇලවීම් සහ පෙරළීම්, අසාමාන්‍ය ලෙස භූමිය ඉරිතැලීම්, පාෂාණ සහ කණ්ඩි කඩා වැටීම්, භූමිය විකෘතිවීම්, නව උල්පත් පැනනැගීම්, අතු ගංගා මාර්ග වෙනස්වීම්, අධි තීව්‍රතාවයකින් යුත් අතු ගංගා ගලායෑම්, ඉහළ ජලපෝෂක ප්‍රදේශයන් පවා ගංවතුරට යටවීම යනාදී අහිතකර ප්‍රතිඵල රාශියක් අත්විඳින්නට සිදු වී ඇත. මෙහි ඇති භයානකම අවදානම වන්නේ, අධි තීව්‍රතාවකින් යුත් වර්ෂා තත්ත්වයන් නිසා, නාය යෑමට කිසිදු විභවතාවක් නැති ප්‍රදේශ/ස්ථාන පවා නාය යෑමට ලක්විය හැකි වීමයි. එනම් බොහෝ ස්ථාවර භූමිස්කන්ධ පවා අස්ථාවර වී නායයෑමට ලක්විය හැකියි. නිදසුනක් ලෙස, යථෝක්ත ආන්තික වර්ෂාපතනයට සමගාමීව උඩුවක ග්‍රාම නිලධාරී වසමේ (138 C) සිදු වූ “උඩුවක නායයාම” දැක්විය හැකිය. මෙය සාපේක්‍ෂව, විශාල නායයාමකි.
ඉහතින් සඳහන් කළ වර්ෂාපතනයන්හි පසුගිය වසර 30 ක කාලසීමාව තුළ :1991 – 2020)ල ස්වරූපය හඳුනාගැනීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ, භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ දර්ශනසූරී උපාධිය හදාරන මහකුමාරගේ අජිත් නන්දන මහතා, දුරස්ථ සංවේදන දත්ත (Remote Sensing data) භාවිත කර (දෛනික වර්ෂාපතන දත්ත) සිදුකළ විශ්ලේෂණයේ දී අපට හඳුනා ගත හැකි වූයේ,
පසුගිය වසරේ දින 45හේ ගංවතුරට සමගාමීව ලැබුණු අති ප්‍රබල වර්ෂාපතනය තරම් දැඩි තීව්‍රතාවකින් යුත් වර්ෂාපතනයක් ශ්‍රී ලංකාවට ලැබී නැති බවයි. මෙම පර්යේෂණ ප්‍රතිඵලවලින් මොනවට ගම්‍යමාන වන්නේ, ශ්‍රී ලංකාවේ අද්‍යතන වර්ෂාපතනයන්හි තීව්‍රතාවය ඉතා භයානක ලෙස ඉහළ ගොස් ඇති බවයි. ලෝක අත්දැකීම් අනුව මෙම තත්ත්වයන් පුරෝකථනය කිරීමට ද හැකියාවක් නැත. 2021 ජර්මන් ගංවතුර සහ 2024 ස්පාඤ්ඤ ගංවතුර තත්ත්වයන් මොනවට නිදසුන් දරයි.
සමස්තයක් ලෙස යථෝක්ත තත්ත්වයන් සඳහා මනා ආපදා පෙරසූදානමක් (disaster preparedness) අප රටට අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන් රත්නපුර, කළුතර, ගාල්ල, කොළඹ, ගම්පහ, මාතර, මහනුවර සහ නුවරඑළිය යනාදී දිස්ත්‍රික්කයන්හි පහත් නිම්න ප්‍රදේශවල සහ කඳුකර ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාව මෙන්ම තෙත් කලාපයේ සෙසු දිස්ත්‍රික්කයන්හි ජීවත්වන ජනතාව ද මෙම කාල වකවානුවේ ඉතා සැලකිලිමත් විය යුතුය. වර්තමාන වර්ෂාපතන හා සම්බන්ධ ආපදාවල (ගංවතුර සහ නායයෑම් ප්‍රමුඛ) සැබෑ ස්වරූපය වන්නේ “බහු ආපදා” (compounding/multi-facets disasters) තත්ත්වයන් බැවිනි.
මහාචාර්ය ආනන්ද කරුණාරත්න
භූගෝල විද්‍යා අධ්‍යයන අංශය,
කොළඹ විශ්වවිද්‍යාලය