ගෝලීයව පවතින කිසිදු රෝගයකින් කිසිදු රටකට ගැළවීමක් නැත. කෝවිඩ් වසංගතය ඊට හොඳම නිදසුනකි. වත්මනේ එය සෙම්ප්‍රතිෂ්‍යාව තරම් සාමාන්‍ය තත්ත්වයට පත්වී ඇති බව සිතුව ද සිතනවාට වඩා යකා කළු පැහැති බව අසල්වැසි ඉන්දියාවෙන් රෝගීන් දහසකට වැඩි ගණනක් වාර්තා වීමෙන් පැහැදිලි වේ. කෝවිඩ් වසංගතය පැතිරීමත් සමග එරටින් වාර්තාවී ඇති රෝගයෙන් මිය ගිය සංඛ්‍යාව මිලියන 5.3කි. රෝගය වැලඳී සුවය ලැබූ සංඛ්‍යාව මිලියන 44.5කි. දළ වශයෙන් ගත් විට කේරළයෙන් 430 ක් පමණ ද මහාරාෂ්ත්‍ර ප්‍රාන්තයෙන් 209ක් පමණ ද දිල්ලියෙන් 104ක් ද වාර්තා වී තිබේ. අග්නිදිග ආසියාතික රටවල් ගණනාවකින්ම නව කෝවිඩ් 19 රැල්ලක් පැතිර යමින් පවතින බවත් එය ලොවටම තර්ජනයක් විය හැකි බවත් වාර්තා වී ගත වී ඇත්තේ දින කිහිපයක් පමණි. නව ප්‍රභේදය පැතිරෙන ආසියාතික රටවල් වනුයේ සිංගප්පූරුව, හොංකොං, චීනය, වියට්නාමය සහ තායිලන්තය ය. වැඩි වශයෙන්ම රෝගීන් වාර්තා වී තිබෙන්නේ සිංගප්පූරුවෙනි. පසුගිය අප්‍රේල් මාසයේ සිට එරටින් රෝගීන් 11,000ක් වාර්තා වී ඇති අතර මැයි මාසයේ පළමු සතියේ පමණක් වාර්තා වූ ගණන 14,200කි.
හොංකොං බලධාරීන් ද පවසන්නේ සැලකිය යුතු මට්ටමකින් රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවය. මැයි 10 වැනිදා වන විට හොංකොං දේශයෙන් රෝගීන් දස දෙනකු පමණ වාර්තා වී තිබෙන අතර මේ වන විට මිය ගොස් ඇති සංඛ්‍යාව 30කට අධිකය. තායිලන්තයේ පවතින්නේ ද එබඳුම තත්ත්වයකි. එරටින් මැයි මාසයේ මුලදී වෛරසය ආසාදිත වූවන් 71000ක් වාර්තා වී ඇති අතර මිය ගිය ගණන 19ක් බව වාර්තා වේ. මැයි 18 සහ 24 කාලය තුළ නව රෝගීන් 52,917 ක් වාර්තා වී ඇති අතර සිව් දෙනකු මිය ගොස් ඇත. මේ වන විට තායිලන්ත රජය පොදු ප්‍රවාහන සේවා, පාසල්, කාර්යාල, සාත්තු නිවාස අධි අවදානම් කලාප ලෙස නම් කර තිබේ. පෙර පරිදිම මුහුණු ආවරණ පැලඳීම, සබන් ගා දෑත් සේදීම, දුරස්ථ භාවය පවත්වා ගැනීම වැනි යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වා ගෙන යෑමට නිර්දේශ කර ඇත. වියට්නාමයෙන් ජනවාරි මාසයේ සිට මේ දක්වා වාර්තා වී ඇත්තේ රෝගීන් 148 ක් පමණි. කිසිවකුත් මිය ගොස් නැත. මේ අතර රෝග මර්දනය සහ වළක්වා ගැනීම පිළිබඳ චීන මධ්‍යස්ථානයට අනුව එරට වෛරසය ආසාදිතවූවන්ගේ ගණන සිතුවාට වඩා කිහිප ගුණයකින් ඉහළය. තවම අපේ අසල්වැසියා වූ ඉන්දියාවට නව ප්‍රභේදය එතරම් දුරට තර්ජනයක් වී නොමැත.
මෙසේ අග්නිදිග ආසියාව පුරා පැතිරෙන JN.1 නම් වූ නව ඔමික්‍රෝන් ප්‍රභේදය මුලින්ම ලොවින් හඳුනාගෙන තිබෙන්නේ 2023 වසරේදීය. ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් එය සැලකිලිමත් විය යුතු ප්‍රභේදයක් ලෙස නම් කර තිබිණි. එතෙක් පැවැති ප්‍රභේදවලට වඩා දරුණු ලෙස මුහුණුවර වෙනස්කරගත් වෛරසයක් ලෙස විද්‍යාඥයන් මේ ප්‍රභේදය හඳුනාගෙන තිබිණි.
JN.1 නම්වූ නව ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතවූ විට ඇතිවන ලක්‍ෂණ ද අනෙක් කෝවිඩ් 19 ප්‍රභේද වැළඳුණු විට ඇතිවන ලක්‍ෂණවලට සමානය. උණ, උගුර වණවීම, නාසයෙන් සොටු දියර ගැලීම හෝ නාසය අවහිර වීම, වියළි කැස්ස, වෙහෙස, හිසරදය, රස හෝ සුවඳ නොදැනීම ආසාදිතවූවන්ට ඇති වන ලකුණුය. මේ නිසා කෝවිඩ් එන්නත් ලබා ගන්නා ලෙස ද සමාජයේ ගැවසීමේදී මුහුණු ආවරණ පලඳින ලෙසට ද සබන් ගා දෑත් සෝදන ලෙසට සහ දුරස්ථ භාවය පවත්වා ගන්නා ලෙස ද රෝගය ව්‍යාප්ත වන රටවල සෞඛ්‍ය බලධාරීන් ජනතාව දැනුවත් කර තිබේ.
තමිල්නාඩුවෙන්, ගුජරාටියෙන් වෙනස්ම ප්‍රභේද දෙකක්
තමිල්නාඩුවෙන් හඳුනාගෙන ඇති නව කොරෝනා වෛරස ප්‍රභේදය NB.1.8.1 ලෙසත් ගුජරාටියෙන් වාර්තාවූ ප්‍රභේදය LF.7 ලෙසත් හඳුනා ගෙන තිබේ. මේ උප විශේෂ දෙක ලෝක සෞඛ්‍ය සංවිධානය අධීක්ෂණය කරමින් පවතින අතර චීනයේ සහ අනෙක් අග්නිදිග ආසියානු රටවල් අතර පැතිරෙන නව කොරෝනා වෛරසය සමග ඇති සබඳතාව ද සොයා බලමින් සිටියි.
අපේ රටේත් පීසීආර් පරීක්ෂණ පහසුකම් වැඩි කරලා
ආසියානු රටවල පැතිරෙමින් පවතින නව කොරෝනා වෛරස ප්‍රභේදය තවමත් ශ්‍රී ලංකාවට තර්ජනයක් වී නැතත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටින්නේ නව කොවිඩ් ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නේදැයි සොයා බැලීම සඳහා රට පුරා පී.සී.ආර්. පරීක්ෂණ වැඩිකිරීමට පියවර ගන්නා බවය. බොරැල්ලේ වෛද්‍ය පර්යේෂණ ආයතනය, නුවර සහ ගාල්ලේ ජාතික රෝහල්වල පරීක්ෂණ පහසුකම් වැඩි කර ලංකාවේ වර්තමාන කෝවිඩ් තත්ත්වය සහ නව ප්‍රභේදය මෙරටට පැතිරීම පිළිබඳව සොයා බැලීමට පියවර ගන්නා බව පසුගියදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාලයේ පවත්වන මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේය. මේ සියල්ලෙන්ම සියලු පුරවැසියන් සිතා ගත යුත්තේ කෝවිඩ් සමයේ යහපත් සුවපුරුදු යළි ඇති කර ගැනීම නුවණට හුරු බවය.
සී. ඩී. කුලසිංහ