පරිසර දූෂණය 21 වැනි සියවසේ ලෝකය පුරාම මේ වනවිට ඉස්මතුවී තිබෙන වඩාත්ම අභියෝගාත්මක ගැටලුවකි.
මෙවැනි තත්ත්වයක් උද්ගතවීම උදෙසා පොසිල ඉන්ධන දහනය, ආහාර නිෂ්පාදන අවශේෂ බැහැර කිරීම, අක්‍රමවත් ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම, වනාන්තර විනාශ කිරීම, කෘෂිකර්මාන්තය හා ඉදිකිරීම් කටයුතු අරභයා භූ දර්ශනයේ ව්‍යුහය වෙනස් කිරීම, ස්වාභාවික සම්පත් අවභාවිතය සහ භාවිතය ප්ලාස්ටික් අපහරණය හේතු කාරකවන බව මෑත අතීතයේ සිටම අනාවරණය කරගෙන තිබේ.
මේ සියල්ල කරණ කොටගෙන සිදුවන පාංශු ඛාදනය, වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් මට්ටම වැඩිවීම, ඕසෝන් ස්ථරය ක්ෂය වීම, දුර්වල වායු ගුණාත්මකභාවය, අම්ල වැසි සමගින් විල් හා ජලාශ ආම්ලීකරණය වීමෙන් සිදුවන වෙනස්කම් සමගින් ගෝලීය උණුසුම ඉහළයෑම, ග්ලැසියර දියවීම, මුහුදු ජල මට්ටම ඉහළ යෑම, පානීය ජල මූලාශ්‍ර පානය කළ නොහැකි තත්ත්වයට පත්වීම, දැන් අපි අත් විඳිමු.
එමෙන්ම එකී කරුණු හේතුවෙන්ම ව්‍යුත්පන්න වන දේශගුණික විපර්යාස හමුවේ මේ වනවිටත් සමස්ත මානව සංහතියම මහත් විනාශකාරී මාවතකට තල්ලු වෙමින් සිටින ආකාරයද අපි අත්දකිමු. පෘථිවිවාසී සමස්ත ජීවීන්ගේ පැවැත්මට එමගින් එල්ලවී ඇති තර්ජන පිළිබඳව බොහෝ අවස්ථාවල ජාත්‍යන්තර සම්මේලනවලදී පවා කතිකාවට බඳුන් වී ඇත. මේ ආකාරයෙන් පරිසර විනාශයට ප්‍රබල සාධකයක් වන ප්ලාස්ටික් භාවිතය දැන් කරලියට පැමිණ තිබේ. වර්ෂ 1900 ගණන්වල මුල් භාගයේදී එක්සත් ජනපදයේ දී පළමුවරට කෘත්‍රිම ප්ලාස්ටික් නිර්මාණය කිරීමත් සමඟ එම කර්මාන්තය ආරම්භ විය. එතැන් සිට වර්ධනය වූ ගෝලීය ප්ලාස්ටික් නිෂ්පාදනය වර්ෂ 1950 දී මෙටි්‍රක් ටොන් මිලියන 1.5 සිට 2018 දී මෙටි්‍රක් ටොන් මිලියන 359 දක්වා ඉහළ නැංගේය. වර්ෂ 2019 දී නිෂ්පාදනය කරන ලද මෙටි්‍රක් ටොන් 376 න් 35% ක ප්‍රමාණයක් එක්වරක් භාවිත ප්ලාස්ටික් ලෙස ඇසුරුම් කටයුතු සඳහා යොදාගෙන ඇතිබව අනාවරණය වේ. (ප්ලාස්ටික් නිෂ්පාදකයින්ගේ දර්ශකය, 2021). ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්තය ආශ්‍රිතවම තවත් ප්‍රධාන නිමැවුමක් වන නයිලෝන් සහ පොලියෙස්ටර් වැනි සින්තටික් තන්තු නිෂ්පාදනය, පසුගිය වසර 30 තුළ වාර්ෂිකව මෙටි්‍රක් ටොන් 65 කින් වැඩිවීමක් පෙන්නුම් කර තිබේ.
මේ අතර 2021 දී මෙටි්‍රක් ටොන් මිලියන 390.7 ක් වූ ගෝලීය ප්ලාස්ටික් නිෂ්පාදනයෙන් 32%ක හිමිකාරිත්වයක් චීනය උසුලා තිබේ. ඇමරිකාව 19% ක්ද යුරෝපා රටවල් 15% ක්ද ඒ උදෙසා දායකත්වය දරා ඇත. එම ප්‍රමාණය වර්ෂ 2023 දී මෙටි්‍රක් ටොන් මිලියන 413.8 දක්වා ළඟා විය. ලොව විශාලතම ප්ලාස්ටික් නිෂ්පාදකයා වන චීනය සමග 2023 වසරේ දී, ආසියාව ප්ලාස්ටික් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමූඛයා බවට පත්විය. ප්ලාස්ටික් නිෂ්පාදනවලින් 85%ක් පමණ බැහැර කරන්නේ දිරාපත් නොවන අපද්‍රව්‍ය ලෙස ඉඩම් ගොඩකිරීම් උදෙසා වීම, බරපතළ පාරිසරික ගැටලුවකි.
අපේ රට සම්බන්ධයෙන් සළකා බැලීමේදී මෙරට අපහරණය කරන වඩාත් සුලබ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ලෙස බීමබට, යෝගට් කෝප්ප, මෙගා බෝතල්, ලන්ච්ෂීට්, කිරි පැකට්, කෑම පෙට්ටි, බෑග්, සැෂේ පැකට් සහ ආහාර ඇසුරුම් දවටන හඳුනාගන්න පුළුවනි. මෙහි ඇති අපකීර්තිමත් හා අයහපත් ලක්ෂණය නම් වර්ෂ 2017 දී, ශ්‍රී ලංකාව ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය සාගරයට මුදාහරින රටවල් ලැයිස්තුවේ පස්වන ස්ථානයට පත්වීමයි. ලොව පුරාම මෙවැනි තත්ත්වයක් උරුම කළ ප්ලාස්ටික් නිෂ්පාදනය ආරම්භ වන්නේ තෙල් පිරිපහදු කර්මාන්තයේ දී බොරතෙල් ආසවනය කිරීමෙනි. බොරතෙල් සැහැල්ලු සංරචක කාණ්ඩවලට වෙන්කර ගැනීමේදී නිපදවා ගන්නා නැප්තා ප්ලාස්ටික් නිෂ්පාදනය සඳහා තීරණාත්මක සංඝටකයකි.
මෙලෙස නිෂ්පාදනය කරන ප්ලාස්ටික් ද්‍රව්‍ය එක්වරක් පමණක් භාවිතකර අක්‍රමවත් ලෙස බැහැර කිරීමත් සමඟ මහ පොළොව සහ සාගරයද ප්ලාස්ටික් සුන්බුන් බැහැර කරන සුසාන භූමියක් බවට පත්වෙමින් ඇත. ක්ෂුද්‍ර ප්ලාස්ටික් නිපැයුම්වල සිට බෝතල් සහ බෑග් වැනි විශාල ප්ලාස්ටික් ඇසුරුම් අයිතම දක්වා වන මෙම දූෂක ද්‍රව්‍ය මිනිස් හා සත්ව ප්‍රජාවගේ පැවැත්ම සහතික කරන පරිසර පද්ධතිවලට මෙන්ම සමුද්‍ර ජීවීන්ට පවා තර්ජන එල්ල කිරීමට සමත්ව ඇති බව පර්යේෂණ වෙතින් සනාථ කරගෙන තිබේ. එහෙයින්ම ප්ලාස්ටික් නිෂ්පාදන අපේ කාලයේ විනාශකාරී වාහකයක් බව තහවුරු වේ.
සෑම වසරකම ජුනි 5 වන දින, ලෝක පරිසර දිනය සමරමින් ලොව පුරා පරිසර සංරක්ෂණය සඳහා විවිධ වැඩසටහන් ඔස්සේ ජාත්‍යන්තර ප්‍රජාවගේ උනන්දුව සහ උත්සාහයන් දිරිමත් කිරීමට එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන ක්‍රියාකරනු ලැබේ. එයට එක් නිදසුනක් ලෙස SEA චක්‍රලේඛය (2018-2024) පෙන්වා දෙන්න පුළුවනි. එය ආසියාව සහ පැසිෆික් කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ United Nations Environment Programme කලාපීය කාර්යාලයේ සහ නැගෙනහිර ආසියානු මුහුද පිළිබඳ සම්බන්ධීකරණ ආයතනයේ මුලපිරීමකි. එහි අරමුණ වන්නේ සමුද්‍ර ප්ලාස්ටික් දූෂණය වැළැක්වීම සඳහා වෙළඳපළ පාදක විසඳුම් ඔස්සේ සක්‍රීය ප්‍රතිපත්ති පිළිපැදීම දිරිමත් කිරීමයි.
ඒ අනුව අග්නිදිග ආසියාතික රාජ්‍යයන් වන කාම්බෝජය, ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය, තායිලන්තය සහ වියට්නාමය ඒකාබද්ධව ස්විඩන රජයේ අරමුදල් මත ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රභවයේදී ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සහ අග්නිදිග ආසියාවේ ප්ලාස්ටික් භාවිතයේ කළමනාකරණය වැඩිදියුණු කිරීම සහතික කිරීම තුළින් සමුද්‍ර පරිසරයට ගොඩබිම පදනම් කරගත් ප්ලාස්ටික් යොමුකිරීමේ අහිතකර බලපෑම අවම කිරීමට වෙර දරනු ලබයි.
මෙවැනි තත්ත්වයන් යටතේ ප්ලාස්ටික් දූෂණයට Plastic pollution එරෙහිව සටන් කිරීම සඳහා සාමූහික ක්‍රියාමාර්ගයක් වෙනුවෙන්, 2025 ලෝක පරිසර දිනය දා කෙරෙන කතිකාවත කෙරෙහි ලෝකවාසීන්ගේ අවධානය දැන් වඩාත් තීව්‍රර ලෙස යොමුවී පවතී.
ඒ අනුව ප්ලාස්ටික් දූෂණයට හදිසි ප්‍රතිචාර වශයෙන්, 2025 ලෝක පරිසර දිනය ප්ලාස්ටික් දූෂණය පරාජය කරන්න Beat Plastic Pollution යන තේමාව යටතේ සාකච්ඡාවට අවතීර්ණ වීමට බොහෝ රටවල් උනන්දුවී තිබේ.
ඒ පිළිබඳ වූ නිල සැමරුම් සඳහා සත්කාරක රට ලෙස දකුණු කොරියාව තෝරාගෙන ඇත. එරට ලෝක පරිසර දිනය පවත්වන දෙවන අවස්ථාව මෙය වන අතර, පළමු වරට වර්ෂ 1997 දී පෘථිවියේ ජීවය සඳහා For Life on Earth යන තේමාව යටතේ ලෝක පරිසර දින සැමරුම පැවැත්වීමට එරට සත්කාරකත්වය දක්වන ලදී.
මෙවර එරට ජේජු දූපත ලෝක පරිසර දිනය සැමරීමට තෝරා ගැනීමට ද විශේෂ හේතුවක් ඇත. මක්නිසාදයත්, ගෘහස්ත අපද්‍රව්‍ය නම් කරන ලද ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයන්හි සැකසීමට යොමුකරවන දකුණු කොරියාවේ ඇති එකම පරිපාලන කලාපය එම දූපත වන අතර එහිදී අනුගමනය කරන ක්‍රමවේදය අනුව පදිංචිකරුවන්ට ස්වකීය පරිශ්‍රයේදීම අපද්‍රව්‍ය වර්ග කිරීමට බැඳී සිටී. එය ප්‍රතිචක්‍රීකරණ අනුපාත වැඩි කිරීමට සහ නැවත භාවිතය ප්‍රවර්ධනය කිරීමට උපකාරයකි.
පසුගිය දශක තුන තුළ, දකුණු කොරියාව ප්ලාස්ටික් නිෂ්පාදනය, නැවත භාවිතා කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය යන අදියරයන් ආවරණය වන පරිදි පරිපූර්ණ ප්ලාස්ටික් කළමනාකරණ උපාය මාර්ගයක් ක්‍රියාත්මක කරයි.
එමගින් දකුණු කොරියාව තිරසර ලෙස ප්ලාස්ටික් දූෂණයෙන් තොර අනාගතයක් සඳහා නිවැරදි ක්‍රියාමාර්ගයක ගමන්කරමින් සිටින ආකාරය දැකගත හැකිවේ. ප්ලාස්ටික් දූෂණය පිළිබඳ ගෝලීය ගිවිසුමක් අරභයා පැවැත්වූ එක්සත් ජාතීන්ගේ ප්ලාස්ටික් ගිවිසුමේ අන්තර් රාජ්‍ය සාකච්ඡා කමිටුවේ (INC-5) පස්වන සැසිවාරයට අදාළව, ප්ලාස්ටික් දූෂණය අවසන් කිරීමේ වැදගත්කම පිළිබඳව ගෝලීය දැනුවත්භාවය ඉහළ නැංවීමට 2025 ලෝක පරිසර දින සම්මන්ත්‍රණය අවස්ථාවක් වනු ඇතැයි එරට අපේක්ෂා කෙරේ.
“ජෙජු දූපත්වාසීන් සමඟ එක්ව, අපි ප්ලාස්ටික් දූෂණය අවසන් කිරීමේ ප්‍රමුඛ රට බවට පත්වන්නෙමු.” යැයි දකුණු කොරියානු ජනරජයේ පරිසර අමාත්‍ය කිම් වන්-සුප් Kim Wan-sup ප්‍රකාශකර තිබෙන්නේ හුදු හිතළුවක්ම නොවන බව මෙම පසුබිම ඔස්සේ අපට පසක් වේ.
ඒ ආකාරයෙන් වර්ෂ 2025 ජුනි 5 වන දින ලෝක පරිසර දිනය සැමරීම සඳහා ලෝකවාසීන් පෙළ ගැසෙන විට, පිරිසිදු ශ්‍රී ලංකා ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලාංකික අපි දූරදර්ශී මුලපිරීමක් තබා ඇති බව සාඩම්බරයෙන් පැවසිය හැකි වෙමු. හුදෙක් දේශපාලන න්‍යාය පත්‍රයකට වඩා, එය එක් පොදු මෙහෙවරක් යටතේ ජාතිය සාමුහිකත්ව වගවීමකට යොමුකිරීම සඳහා හඳුන්වාදී ඇති පරිවර්තනීය දැක්මකි.
ස්වකීය භෞතික පරිසරය වැඩිදියුණු කිරීම සහ සදාචාරාත්මක ජීවිතයක් සඳහා කැපවීමේ අවශ්‍යතාව සමාජයේ සෑම ස්ථරයක් තුලටම තිරසර ලෙස ගැඹුරින් කාවැද්දීමට එමගින් උත්සාහ දරයි.
ඒ ඔස්සේ ආර්ථික, පාරිසරික සහ සමාජීය යහපැවැත්මේ තිරසරභාවය උදෙසා වන පරිවර්තනීය උපායමාර්ගික පදනමක් මත සමස්ත ලාංකික ජාතිය කල්පවත්නා ලෙසින් ප්‍රතිශ්ටාපනය කිරීම අපේක්ෂා කෙරේ.
ඒ අනුව බලශක්ති භාවිතය විවිධාංගීකරණය, කාබන් විමෝචනය අවම කිරීම, ප්ලාස්ටික් භාවිත අවම කිරීම, ජල මූලාශ්‍ර සංරක්ෂණය කිරීම, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, ප්‍රජා වනවගා කටයුතු සහ අපද්‍රව්‍ය කළමනාකරණය බලාත්මක කිරීමේ පිළිවෙත් හරහා ප්‍රධාන පාරිසරික ගැටළු කෙරෙහි සාධනීය විසඳුම් සඳහා ඒ තුලින් ආමන්ත්‍රණය කරනු ඇත.
මූලික වශයෙන්, ප්‍රජා සහභාගීත්වය ඔස්සේ මෙම මුලපිරීමට ජනතාව බලමුළු ගන්වයි.
එය සහභාගීත්වය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සහ යහපැවැත්ම පෝෂණය කරයි. හරිත ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම, තිරසර කර්මාන්ත දිරිමත් කිරීම සහ පරිසර හිතකාමී ව්‍යවසායකත්ව ස්ථාපනයට සහාය වීම මගින් මෙරට තිරසර ලෙස සංවර්ධනය කිරීමට ගනු ලබන වෑයමක අඩිතාලමක් වනු ඇත.
ප්‍රතිපත්තිමය වශයෙන්, මෙම ව්‍යාපෘතිය අවදානම් කළමනාකරණය, රාජ්‍ය පාලනයේ විනිවිදභාවය සහ මහජන හවුල්කාරිත්වයන් අඛණ්ඩ අධීක්ෂණය කරමින් යහපාලනයක පැවැත්ම සහතික ලෙස අවධාරණය කරයි. සත්‍ය වශයෙන්ම ‘ක්ලීන් ශ්‍රී ලංකා’ මුලපිරීම ජනාධිපතිවරයා සතු වූ කාර්යයක් ලෙස නොතැකිය යුතුය.
අඑය රජයේ ආයතනගත රාජ්‍ය සේවකයින්, පෞද්ගලික අංශයේ සේවයේ නිරතවූවන්, රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් සමගින් මහජනතාව සහ සම්බන්ධ වන සුසංයෝගී ක්‍රියාදාමයක් බව අප අවබෝධකර ගත යුතුය. මෙහිදී නාගරික පවුල් කුටුම්භයක සිට ග්‍රාමීය පවුල් කුටුම්භයක් දක්වා වූ සෑම පුද්ගලයෙකුම එහි කොටස්කරුවෝ වෙති. පරිසරයේ පිරිසිදුකම සහ සිවිල් වගකීම පිළිබඳ සංස්කෘතියක් මුසුකරවන නව මාවතක ගමන් කිරීමට ඉන් ජනතාවට ආරාධනා කර ඇත.
එමගින් සමස්ථ රටවැසියාගේ මානසිකත්වය පිරිසිදු කරනු ඇත. සමාජ වටිනාකම් ඉහළ නංවනු ඇත. ශ්‍රී ලාංකිකයන් ලෙස අපගේ අනන්‍යතාව නැවතත් අර්ථවත් කරනු ඇත.
ලෝක පරිසර දිනය සනිටුහන් කරන ජුනි 05 දා සිට පිරිසිදු ශ්‍රී ලංකා ව්‍යාපෘතිය පරිසරය සුරැකීමේ ජාතික සහ ගෝලීය වගවීමේ ව්‍යාපාරයක් ලෙස ඉදිරියට ගමන්කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.
ඒ ඔස්සේ ශ්‍රී ලංකාව එහි අද්විතීය උරුමය සහ ඔරොත්තු දීමේ ආත්ම ශක්තිය පෙරදැරිකරගත් මානව ක්‍රියාකාරකම් සමඟ පෙළ ගැසෙන ජාතියක පරිවර්තනීය ගමනකට මුලපිරීමක් වනු ඇත. ඒ සඳහා අපි එක්ව නැගී සිටිමු.

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ