මැයි මස 23 වන දින පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවක අගමැතිණියගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් පැවැත්විණ. එම රැස්වීම සඳහා ඉල්ලීම් කරනු ලැබූයේ උතුර පළාත නියෝජනය කරනු ලබන දෙමළ මන්ත්‍රීවරුන් විසිනි. 2025/03/28 දින ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2430 අංකය ඇති ගැසට් නිවේදනය මෙම සාකච්ඡාවට හේතු විය. ඉඩම් අමාත්‍ය ලාල් කාන්ත මහතා සහ අදාළ නිලධාරීන් ද අගමැතිණිය ද දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මීට සාභාගි වී ඇත. නමුත් විපක්ෂය නියෝජනය කරනු ලබන සිංහල මන්ත්‍රීවරයකු මීට සාභාගි වූ බවක් දැන ගන්නට නැත. යාපනය දිස්ත්‍රික්කයේ වඩමාරච්චි ප්‍රදේශයේ 5617 සහ 5618 දරන ගම්වල ඉඩම් නිරවුල් කිරීම සඳහා පියවර ගැනීම මෙම ගැසට් පත්‍රය නිකුත් කිරීමේ අරමුණයි. මෙහිදී දෙමළ මන්ත්‍රීවරුන් එම ගැසට් පත්‍රයට විරෝධය පළ කරන ලද අතර ඉඩම් හිමිකම් ඔප්පු කිරීමට දෙමළ ජනතාවට සාක්ෂි නොමැති හෙයින් විශේෂයෙන් පැවති යුද්ධ වකවානුව නිසා ලේඛන අහිමි වීමෙන් මෙම ගැසට් පත්‍රය අනුව හිමිකම් සහතික කර ගැනීමට නොහැකි වන බව ඔවුන්ගේ දුක් ගැනවිල්ල විය.
ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය ආරම්භ කරන ලද්දේ 1903 දීය. පසුව 1927 දී පත් කරන ලද ඉඩම් කොමිසමේ වාර්තාව අනුව 1931 අංක 20 දරන ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ ආඥා පනත සම්මත කර ඇත.
ඉන් පසු 1935 ඉඩම් සංවර්ධන ආඥා පනත පැනවීම ද සිදු විය. ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි පවතින ඉඩම් සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කොට මැනීම් සිදු කොට රජයේ ඉඩම් වෙන් කර අවසාන ගම් සිතියම් සකස් කිරීම එහි අරමුණ විය. මේ කාර්යය දීර්ඝ කාලයක් තිස්සේ දැන් සිදුව ඇත. ඉඩම් නිරවුල් කිරීම ආරම්භ වන්නේ ගමක තිබෙන ඉඩම්වල නාමයන්, දියපහරවල්, මාවත් ආදී සියල්ල සටහන් කර ගැසට් පත්‍රයක් පළ කිරීමෙනි. මාස තුනක් ඇතුළත ගම් වැසියන් තමන්ගේ හිමිකම් ඉදිරිපත් කළ යුතු වෙයි. එවිට ඒවා සලකා බලා පරීක්ෂණයකට ලක්කර රජයේ ඉඩම් සහ පෞද්ගලික ඉඩම් වෙන් කර අවසාන ගැසට් නිවේදනය නිකුත් කරනු ලබයි. මේ ලෙසට දිවයින පුරා විශාල ප්‍රදේශයක මේ වන විට ඉඩම් නිරවුල් කිරීම සිදු කර තිබේ. මෙම ක්‍රියාවලියේ යහපත් එළඹීම් තිබෙන අතර අයහපත් ප්‍රවේශයන් ද තිබෙන බව කිව යුතුය. සෑම ගමකම ඉඩම් හඳුන්වන නාමයන් තිබේ. එම නාමයන් තුළ යම් ඉතිහාසයක් සටහන් වන අතර අවුරුදු දහස් ගණනක් එම ව්‍යවහාරයන් පැවත පැමිණි නිසා ජනතාව ඉඩම් පරිහරණයේ දී කටයුතු කරන ආකාරය පිළිබඳ අවබෝධයක් තිබුණි. උදාහරණයක් වශයෙන් ගම්බද වන ඉඩම්වලට යොදාගත් නාමයන් දැක්විය හැකිය. වන ආඥා පනතට අනුව වනාන්තර යනු රජයේ රක්ෂිත වනාන්තර සහ සෙසු කැලෑ නැතිනම් ගම්බද වනය විය. පරිපාලන පහසුව සඳහා වන රක්ෂිතයන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු විය. ගම්බද වනයන් දිසාපතිවරුන් සතු විය. ගැමියා වනය පරිහරණය කරන්නේ වන ඖෂධ එකතු කිරීමට, මී පැණි එකතු කිරීමට මෙන්ම ළඳු කැළෑවල හේන් ගොවිතැන් කිරීමටත්ය. බ්‍රිතාන්‍ය පාලනයත් සමග මේ සියල්ල තහනම් විය. වන රක්ෂිත නීතිය අදටත් එසේමය. වනය අතරින් ගලා එන දිය කඳුරු ගම් හරහා ගලා බසී. ඒවා නිසා ගමේ දිය උල්පත් පෝෂණය වේ. ගැමියා ඒවාට දුන් නම් රැසකි. ඉඩම් නිරවුල් කිරීම්වලදී ගමට සම්බන්ධ මේ පොදු ව්‍යවහාරයන් සැළකිය යුතු බව දක්වා ඇති සෑම විටම නොසලකා ඇත. අවසාන ගැසට් නිවේදනය නිකුත් කිරීමේ දී ගැමියාට සම්බන්ධ මෙම පොදු සම්පත් ගැමියාට අහිමි කර තිබේ. ජල උල්පත් හෝ ගමට සම්බන්ධ වන ඉඩම් රකින්නට කෙනකු නැත. නොයෙකුත් සංවර්ධන කටයුතුවලදී මෙම පොදු සම්පත් විනාශ වෙයි.
උතුරු පළාතේ යාපන දිස්ත්‍රික්කයේ ඉඩම් පසුගිය සියවස තුළ නිරවුල් කිරීමක් සිදුව නොමැත. ඊට හේතුව 1931 දී යාපනය දිස්ත්‍රික්කයේ ඉතා සුළු ඉඩම් ප්‍රමාණයක් හැරුණු කොට අනෙක් ඒවා නිරවුල් කිරීම් බැහැර කිරීමයි. මලලගම නැතිනම් මල්ලාකම් තෙන්මාරච්චි සහ වඩමාරච්චිහි විශාල ඉම් කොටසක් මෙලෙස නිරවුල් කිරීම් වලින් බැහැර කර තිබේ. හැත්තෑව දශකයේ ඇරඹි ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නිසාද උතුරු පළාතේ නිරවුල් කිරීමේ ක්‍රියාවලිය සිදු වූයේ නැත. ජනතාව අවතැන් වූ අතර බොහෝ ඉඩකඩම් සහිත ඉඩම් හමුදා ක්‍රියාන්විත සඳහා පවාරගනු ලැබිණ. 2009 දී යුද්ධය අවසන් වූ පසු අවතැන් වූ පිරිසට නැවත ඉඩම් බෙදා දීම ආරම්භ කළ අතර ඒ කටයුතු බොහෝ විට ප්‍රාදේශීය ලේකම්වරුන් ගේ මනාපය පරිදි සිදු විය. යාපනය දිශාව පෙර කී පරිදි තෙන්මාරච්චි වඩමාරච්චි මල්ලාගම සහ පච්චිලායි පල්ලෙයි යනුවෙන් කොටස් හතරකට වෙන් වී ඇත. පැරණි ව්‍යවහාරය අනුව ත්‍රි නම් ත්‍රි භූමිය විය. ස්වභාවික ජල බස්නාවන්ගෙන් ඒ කොටස් වෙන් වී ඇත. යාපනය අවට දූපත්ද රැසකි. මෙවැනි තත්ත්වයක් යටතේ රජයේ ඉඩම් ප්‍රතිපත්තිය අනුව ඉඩම් නිරවුල් කිරීම සිදු කළ යුතුය. 2009 න් පසුව අවිධිමත් ලෙසට සිදු වී ඇති පදිංචි කිරීම් නිවැරදි කරලීමට නම් ඉඩම්වල ස්වභාවය සහ අයිතිකරුවන් හඳුනා ගත යුතුය. දෙමළ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ දී අගමැතිණිය සහ ඉඩම් අමාත්‍යවරයා හමු වී ඔවුන්ගේ ජනතාව වෙනුවෙන් කතා කර තිබේ. එහෙත් 1981 වන විට වඩමාරච්චි ප්‍රදේශයේ ජීවත් වූ සිංහල ජනතාව පිළිබඳ කරුණු ඉදිරිපත් කරලීමට මන්ත්‍රීවරු කිසිවකුත් නැත. ජන සංගණනය අනුව වඩමාරච්චි උතුර සහ දකුණේ සිංහලයන් 102 ක් ජීවත්ව සිට ඇත. යුද්ධය නිසා අවතැන් වූ ඔවුහු නැවත පදිංචි කර නැත. මේ ප්‍රදේශයේ තිබෙන පැරණි පුරාවස්තු පිළිබඳව ද නිසි ගවේශණයක් කර නැත.
ලන්දේසි යුගයේදී මලබාරයෙන් ගෙන්වන ලද වහල් ශ්‍රමිකයන් සඳහා පැනවූ තේසවලාමෙයි නීතිය බ්‍රිතාන්‍ය සමයේ දී සමස්ත නීති පද්ධතියට එකතු වීම මත පදිංචිව සිටි සිංහල ජනතාවට ඉඩම් ලබා ගැනීම ඉතා දුෂ්කර විය. දෙමළ නොතාරිස්වරුන් විසින් ලියන ලද ඇතැම් ඔප්පු ලියාපදිංචි කර නැත. බේකරි ව්‍යාපාරයන්, රන්කරුවන්, ගරාජ් කාර්මිකයන් ලෙසට සිටි බහුතර සිංහල ජනතාව 1985 වන විට සහමුලින්ම අවතැන් විය. ඔවුන් සතුව තිබූ ලේඛන පවා සොයා ගන්නට නැත. පරංගි සමයේ උතුරේ සිටි බහුතර ජනතාව සිංහල වූ අතර ලන්දේසි යුගයේ දී ඔවුන්ගේ ඉඩම් ලන්දේසි කොම්පඤ්ඤය විසින් බදු ගැනීම සහ බලෙන් පවරා ගැනීම නිසා ඉඩම් අහිමි වී තිබේ. සියවස් දෙකකට ආසන්න කාලයක් තුළ ඔවුන්ට සිදු වූ අසාධාරණ කම් සාකච්ඡා වී නැත. උතුරේ තිබූ බෞද්ධ සිද්ධස්ථාන වර්තමානය වන විට පවතින්නේ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙනි. ඒවා සතු ඉඩම් නිරවුල් කර ගැනීම ද ලෙහෙසි පහසු නැත. තිස්ස රාජමහා විහාරයේ ඉඩම් සහ කාරතිවුවල වෙහෙරපිටිය පුරාවිද්‍යා නටබුන් සහිත ප්‍රදේශය උදාහරණ ලෙසට දැක්විය හැකිය. 1940 දශකය වන විට අඟලේ සිතියම්වල සළකුණු කරන ලද පුරාවිද්‍යා නටබුන් 1980 දශකයෙන් පසුව ඉවත් කර ඇත. එවායින් ඇතැම් ස්ථාන භූමියේ ද නැත. ඩෝසර් කර නව ගොඩනැඟිලි තනා තිබේ. මෙවැනි තත්ත්වයක් යටතේ ඉඩම් නිරවුල් කිරීම පහසු ක්‍රියාවක් නොවේ. දෙමළ දේශපාලකයන් කලබල වී තිබෙන්නේ ඉඩම් නිරවුල් කිරීමේ දී මලබාරයෙන් පැවත එන දෙමළ ඉතිහාසය හෙළිවන බැවිනි. ඒ නිසා නීතිය පසෙකට කර දේශපාලන පක්ෂපාතීකම්වලින් ඉඩම්වලට ඔප්පු ලබා ගැනීම ඔවුන්ගේ අරමුණයි. නමුත් පෙර දක්වන කරුණු අනුව ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනතට යම් සංශෝධන කීපයක් එක් කර ගැනීමෙන් වඩා පහසු ක්‍රියාදාමයක් ඇරඹිය හැකිය. එවිට ඉඩම්වල සැබෑ ස්වභාවය හඳුනා ගනිමින් රජයේ ඉඩම් සහ වැසියන්ගේ ඉඩම් වෙන් කරගත හැකිය. අවතැන් වූ අයගේ ඉඩම් සඳහා ද නිවැරදි ප්‍රවේශයක් ගත හැකිය. එහෙත් ඡන්ද පොරොන්දු ඉටු කිරීමට ගොස් දෙමළ ජනතාවට හෝ මුස්ලිම් ජනතාවට පමණක් ඉඩම් ලබා දීමේ ක්‍රියාවලිය දිගින් දිගටම සිදු කළහොත් මේ රටේ අසාධාරණයට ලක්වන්නේ ඓතිහාසික උරුමය හිමි සිංහල ජනතාවයි. පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන බහුතරයක් සිංහල මන්ත්‍රීවරු මේ තත්ත්වය අවබෝධ කරගත යුතුය.
මතුගම සෙනෙවිරුවන්