නිළි රැජන මාලිනී එදා හෙළි කළ ජීවිත කතාව
පළමු කොටස
බොහෝ නිර්ව්‍යාජ වූ ද නිහතමානී වූ ද හැඟුමකින් මම මේ ලිපිය ලියන්නට පටන් ගනිමි.
එබැවින් මින් පෙර කිසිදු අවස්ථාවක ඔබ නොකියවූ තොරතුරු රැසක් මේ ලිපියට ඇතුළත් වීමට ඉඩ ඇත. කිසිවක් වසන් කිරීමේ අපේක්ෂාවකින් තොරව ඒ සියල්ල ඉතා අවංකව ලියූ බව පමණක් සිතන මෙන් කරුණාවෙන් ඉල්ලමි.
වන්නි ආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා නම් වූ මම 1947 අප්‍රේල් මස 30 දින කැලණියේ පෑලියගොඩදී උපන්නෙමි. මගේ තාත්තා වන්නි ආරච්චිගේ ගිල්බට් ෆොන්සේකාය. මව සීලවතී ෆොන්සේකාය.
මා ඉපදී ඇත්තේ ලංකාවේ බියජනක ගංවතුරක් ලෙස හැඳින්වෙන එක්දහස් නවසිය හතළිස්හතේ ගංවතුරේ සැඩ පහරින් මුළු කැලණි ගම්පියසම යටවී ගිය බිහිසුණු අවස්ථාවකය. උතුරා ගලා යන ගංවතුරේ සැඩ පහරින් අප නිවස යට නොවුණේ එය තරමක් උස් බිමක පිහිටා තුබූ බැවින් යැයි කියති. රෝහලකට යෑමට අවස්ථාවක් නොවූයෙන් මා ඉපිද ඇත්තේ ගෙදරදීමයි. අම්මාත් තාත්තාත් තවමත් සිනාවෙන් සිහිපත් කරන කරුණක් මෙහි සටහන් කළ යුතුය.
දින ගණනක් තිස්සේ නොකඩවා ගැලූ ගංවතුරෙන් ගම් බිම් හා ගෙවල් කොටු වී තිබූ බැවින් ඒ කාලයේ ඔර්ලෝසු ද වැඩි හරියක් නතරවී තිබිණි. ඔර්ලෝසු වයින් කර නිවැරදි වෙලාව අහගන්නට අවස්ථාවක් නොවූයෙන් මා උපන් වෙලාව වින්නඹු අම්මාගේ සිත් සෝදිසියට ලකුණු කර දී ඇත.
පසු දවසක එම වේලාව දී හඳහන හැදූ විට ඒ වේලාව අනුව නම් ඉපදිය යුත්තේ පිරිමි දරුවකු බැවින් “මේ පින්වත් කුමරු හට යනුවෙන්” නම් කර නැකත්කරුවා වේලාපත්කඩය ලියා දී ඇත. පසුව කරුණු දැන්වූ පසු ගැහැනු දරුවකු ඉපදිය යුතු වෙලාව ශාස්ත්‍රානුකූලව ගැන බලා ඒ වෙලාවට මා උපදින්නට ඇතැයි ඔහු තීරණය කළේය. මගේ උපන් වේලාව ඔන්න ඔය විදියේ එකකි.
දරුවන් එකොළොස් දෙනකුගෙන් යුත් පවුලක මම තුන් වැන්නා වීමි. පද්මසිරි දයානන්ද හා රංජිත් ශ්‍රියානන්ද යන අයියලා දෙන්නාට පසු පවුලේ තුන්වැන්නා වශයෙන් මා ඉපදී ඇත. කල්‍යාණි පුෂ්පලතා, ශ්‍රියාණි පද්මලතා, රසාදරී චන්ද්‍රලතා, දමයන්ති ප්‍රියලතා නමින් නංගිලා හතර දෙනෙක් ද පියසිරි මහින්ද, ගුණසිරි ආනන්ද, උපාලි ලීලානන්ද හා නිමලසිරි සුනන්ද යන නමින් මල්ලිලා හතර දෙනෙක් ද මට සිටිති.
මගේ මව සහ පියා විවාහ වී ඇත්තේ විවාහ යෝජනාවක් අනුවය. පියා විවාහයට කලින් මව දැක ඇත්තේ තුන් වතාවක් පමණක් බව කියති. එහෙත් ඔවුහු ඉතා ආදරයෙන් සහ සතුටින් අප හදා වඩා ගෙන සියලු දුක් පීඩා විසඳාගන්නට ශක්තියක් ලැබූහ. එහිද රසවත් සිද්ධියක් තිබේ. (අපේ අම්මාගේ තාත්තා) සීයා රාජකාරිය කර ඇත්තේ ආණ්ඩුවේ අච්චු කන්තෝරුවේය. මේ කාලයේ වැඩ ඉගෙන ගන්නට හොඳ තරුණයෙක් ආවේය. සුවච කීකරු තරුණයකු ලෙස ද ඉතා දක්ෂ වැඩකාරයකු ලෙස ද මොහු වැඩ ඉගෙන ගත් බැවින් මේ ගෝලයාට තම දියණිය විවාහ කර දීමට සීයා තීන්දු කළේය. ගෝලයා අපේ තාත්තාය. අම්මාගේත් තාත්තාගේත් විවාහය එපරිද්දෙන් සිදුවිය.
පවුලේ පරම්පරා පිහිටීම අනුව කියනවා නම් මා නාට්‍ය කලාවට ඇදීයෑම හා සිනමා ශිල්පයට පිවිසීම අම්මලෑ ඇත්තන්ගේ ආරෙට යෑමක් ලෙස වැඩිහිටියෝ හඳුන්වති. ඒබ්‍රහම් සිල්වා නමින් හැඳින්වුණු අපේ සීයා (මවගේ පියා) ටවර් හෝල් නාට්‍ය යුගයේ ඉතා ප්‍රසිද්ධ නාට්‍ය කලා ශිල්පියකු විය. නාඩගම් ගෙන්වීමෙන් හා නාඩගම් ගීත රචනා කිරීමෙන් ඔහු ඒ කාලයේ අතිමහත් ප්‍රසිද්ධියක් ලැබීය. අපේ අම්මා නාට්‍ය කලාවට හෝ වෙනත් කලා ශිල්පයක් ගැන කෙළින්ම උනන්දුවක් නොදැක්වුවද ඒ හුරුව හා ආභාෂය ඇයට ද යටි සිතෙහි පිහිටා තිබිණි.
පියාගේ පවුලේ එකම පිරිමියා තාත්තා වූ අතර ඔහුට සහෝදරියෝ තිදෙනෙක් සිටියහ. අම්මාට සිටියේ සහෝදරයකු සහ සහෝදරියක පමණි.
පියා රෙද්ද සහ කෝට් එක ඇන්දේය. ඔහු ඉතා චාම් නිහතමානී දිවිපෙවතකට හුරු පුරුදුව සිටි අයෙකි. මේ තැන්පත් බව තාත්තාගේ ජීවිතයේ අදත් නොවෙනස්ව දක්නට ඇතැයි මා සඳහන් කරන්නේ ගෞරවයෙනි.
මා ඉපදී ස්වල්ප කලකට පසු තාත්තා පෑලියගොඩ පදිංචිය අතහැර නුගේගොඩ ජම්බුගස්මුල්ල පාරේ නිවසක පදිංචියට ආවේය. මගේ මුල්ම පාසල් දිවිය ඇරඹුණේ නුගේගොඩ පදිංචිව සිටි අවධියේය.
රජයේ මුද්‍රණාලයේ සේවය කළ තාත්තාට ඒ දිනවල ලැබුණේ සුළු පඩියකි. වතුපිටි, ඉඩකඩම් හා වෙනත් ආදායම් මාර්ග ලැබෙන කිසිවක් තාත්තාට තිබුණේ නැත. එබැවින් පවුලේ නඩත්තුව ගෙන යා යුතුව තිබුණේ ඉතාමත් අසීරුවෙනි.
නුගේගොඩ රජයේ පාසලට ගිය මුල්ම පාසල් ගමන මට සිහිනයක් මෙන් තවමත් මතකය. තාත්තාගේ අත අල්ලාගෙන පංති කාමරයතෙක් ගොස් තාත්තා ආපසු යන්නට හැදූ මොහොතේ ඇති පදම් ඉකිබිඳ හැඬුවෙමි. හඬමින්ම තාත්තාගේ අත අල්ලාගෙන ආපසු ගෙදර ආවෙමි. පාසල් දිවියේ මුල් දවස එසේ ආරම්භ විය. එහෙත් පසුව තාත්තා මගේ සිත අස්වසා පාසල් යෑම ප්‍රියජනක කාර්යයක් බවට පත් කළේය.
පවුලේ පළමුවැනි මිනිබිරිය මා වීම නිසා ඒබ්‍රහම් සීයා මට බෙහෙවින් ආදරය කළේය. ඒ නිසා මට නමක් ද පට බැඳුණේය. බොහෝ කාලයක් යනතුරු පවුලේ වැඩි දෙනකු මා ඇමතූ ‘නෝනා’ යන ආදර නාමයයි. ඒ, අම්මා අලුත් පුංචි කිමෝනා ගවුමක් අන්දවා මාව සීයා බලන්නට එක්ක ගිය මුල් දිනයේ “කෙල්ල කිමෝනා ඇඳලා හරියට නෝනා කෙනෙක් වගේ” යැයි සීයා කියා ඇත. එදා සිට මෑතක් වනතුරුම පවුලේ වැඩිමනත් දෙනකුට මං “නෝනා” වූවාය.
හය හැවිරිදි හත් හැවිරිදි වයසට පත් වන විට පුදුම දඟකාරකමක් මා තුළ පිහිටා තිබිණි. පාසල් ඇරී ආපසු ගෙදර එද්දී පාර දෙපස කජු ගස්වලට කොල්ලන් හා සම සමව ගල් ගැසුවෙමි. වැටෙන කජු පුහුලම උන්ටත් පෙර උදුරා කෑවෙමි. ඉදුණු අඹ ගෙඩිවලට නොව උණ අඹ ගැටවලට පොලු ගැසුවෙමි. අයියලා සමග තරගෙට පේර කැඩුවෙමි. වෙරළු ඇහින්දෙමි. ජීවිතයේ බරක්පතලක් හෝ වගකීමක් නොතිබූ ඒ සැහැල්ලු ජීවිතය ගැන අද සිහිපත් වන විට එය යළි දෝතින් බදා වැලඳ තුරුලු කරගන්නට තරම් ආශාවක් හිතෙයි. හිතුවක්කාරකමක හෝ දාංගලයක හැඟීමක් නැතිව මා කළ දඟකාරකම් සියල්ල ඒ වයසේ මිහිරි හැඟුම් විසින් උපදවනු ලැබූ ඒවාය. එහෙත් මගේ පුංචි වයසේ අනෙක් දැරියන්ට වඩා මා තරමක් දඟකාර වූ බව මම පිළිගතිමි.
පාසල් යන ගමනේදී අප යන පාර අයිනෙන් පුංචි කෝච්චිය යන හැටි බලා සිටීමෙන් ලද සතුට හා ආස්වාදය ඉමහත්ය. අමුතු සද්දයකට හූ හඬ නඟා කුදුගැහුණු අඟුටුමිට්ටෙක් පුංචි පාරක් හරහා දුවන්නාක් මෙන් ඇදී ගිය පුංචි කෝච්චිය මා තුළ ඉමහත් ආස්වාදයක් ඇති කළේය. එක දවසක්දා ආච්චි සමග පුංචි කෝච්චියේ නැඟී මඟුල් ගෙදරක ගිය ගමන අදත් සිහිනයක් මෙන් මතකයන් අවදි වී එයි. මල් ඉහිරුණු අලුත් ගවුමක් හැඳ රතු රිබන් පටියක් බැඳ චමත්කාරයකින් ගිය ඒ ගමන මා තුළ තවමත් මිහිරි හැඟුමක් මවයි. එවැනි ගමනක් පුංචි කෝච්චියේ අදත් යා හැකි නම් එය කෙතරම් සුන්දර අත්දැකීමක් වේද?
කැලණි පන්සල වඳින්නට ද බෙල්ලන්විල පෙරහැර බලන්නට ද ආච්චි මා කැඳවාගෙන ගියාය.
ඒ කාලයේ මා ඉතා ප්‍රීතියෙන් කියවූ විශේෂාංගයක් වූයේ ලංකාදීප පත්‍රයෙහි ඉතා හුරු බුහුටි පිටු දෙකක් ලෙස පළ කළ ළපටි පෙළයි. කෝච්චියක රෝද ලෙස හැඳ තිබූ ළපටි පෙළ අකුරු පෙළේ පටන් එම පුංචි පිටු දෙකේ ලියා තිබූ සෑම අකුරක් පාසාම කියෙව්වේ දැඩි රසවත් කමකිනි. එම පිටුවේ කොටස් වශයෙන් පළවූ ‘නීලා’ චිත්‍ර කතාව කුඩා අවධියේ මා තුළ මහත්ම නොඉවසිලිමත් බවක් ඇති කළ චිත්‍ර කතාවයි.
කියවීමටත් ඉගෙනීමටත් ඇති මේ රුචිකත්වය වර්ධනය කරගන්නට තාත්තා බෙහෙවින් ධෛර්ය දුන්නේය.
දිළිඳු ආර්ථික තත්ත්වය හා වෙනත් විවිධ දුෂ්කරතා නිසා නුගේගොඩ පදිංචිය අත්හැර දැමීමේ තත්ත්වයක් ද මේ වන විට උදාවිය. එය තාත්තාට දැඩි ලෙස සිතට වධ දුන් ප්‍රශ්නයක් විය. කෙසේ වුවද කැලණියට යළි පදිංචියට පැමිණිය යුතු යැයි තාත්තා තීරණය කළේය.
තාත්තාට දෑවැද්ද සඳහා ලැබුණු පොල්අතු ගෙය කැලණියේ වෙදමුල්ලේ පිහිටා තිබිණි. එහි සිටි අයට යන්නට කල් දී අපි නුගේගොඩ සිට එම පොල්අතු පැලෙහි පදිංචියට පැමිණියෙමු.
එය ඉතා දිළිඳු තත්ත්වයේ ගෙපැලක් විය. එම ගෙපැල මගේ මෙම ජීවිතයේ තීරණාත්මක ගමන පිළිබඳ ආරම්භක අතු සෙවණ ලෙසින් නිහතමානීව ද ප්‍රීතියෙන් ද හඳුන්වමි.
අද තරමක නිවහනක මම ජීවත් වෙමි. එහි පහසුකම්වලින් ද නවීනත්වයෙන් ද විශාලත්වයෙන් ද අඩුවක් නැත. එහෙත් කැලණියේ වෙදමුල්ලේ ගෙපැලට මම අදත් මුළු සිතින් ආදරය කරමි. එහි ගොම මැටි පොළොවේ දිග ඇදී සීතලේ නිදාගත් විට ගතට දැනෙන ආස්වාදය මා දැන් පදිංචි නිවසේ කුෂන් රබර් යහනින් මම නොලබමි. මෙය මා ඉතා අවංකව කියන සත්‍ය හැඟීමකි. වෙදමුල්ලේ එම පොල්අතු ගෙපැලෙහි මා ගත කළ ජීවිතය කෙතරම් රසවත් ප්‍රියජනක එකක් වීද? අදත් මා මියුරු සිහිනයකින් මෙන් රසවිඳින මේ හැඟුම් දහර මා ජීවත් වනතුරා මගේ හද දොරටුවෙන් පියමන් වන්නට නොදෙමි. අදත් නිදහස් මොහොතක ඒ ගෙදරට මා දුවයන්නේ කූඩුවක සිරවී සිටින කිරිල්ලියක් මව් තුරුලට පියඹා යන තරමේ ප්‍රීතියකිනි.
අලුත් පොල්අතු සෙවිලි කළ දින එම පොල් කොළවලින් මතුවූ සුවඳ මට තවමත් දැනෙයි. කොල්ලකු මෙන් බාල්කයේ දෑතින්ම එල්ලී ඒ පැත්තට මේ පැත්තට පැද්දී අම්මාගෙන් ගුටි කෑ හැටි මා කෙසේ අමතක කරන්නද? ගොම මැටි ගෑ පොළොවේ ඔහේ වැතිර සිතු සේ අතපය දිග හැර ලැබූ සීතල සැහැල්ලුව අද කොහේ පලාගියේද?
ගේ මැද ඉස්කිරිම හරහට තබා පුංචි අයියා සහ ලොකු අයියා සමග නාට්‍ය රඟදැක්වීමි. දයානන්ද අයියා පොලිස්කාරයාගේ වෙස් ගත්තේය. මම ‘සිරා’ වීමි. පිස්තෝලයට පාව්චිචි කළේ පනාවයි. පොලිස් කාර් එකේ සද්දය කටින් හා ටින්වල බුලත් හෙප්පුවට යතුරු කැරැල්ල දමා සොලවන හඬ අතරින් මතුවිය. පොලිස්කාරයා ‘සිරා’ අල්ලා ගත්තේ සෑහෙන ‘ෆයිට්’ එකකින් පසුවයි. දයානන්ද අයියාගේ යටි බඩට හොඳවයින් පාරවල් දෙක තුනක් වදී.
කොස් කොළ තොප්පියට අලි හොඬවැල අමුණා පෙරහැර ගියෙමු. තාච්චි පැන්නෙමු. එල්ලේ ගැහුවෙමු. තාච්චි පනින විට ලොකු කොල්ලන්ව පෙරළාගෙන ගොස් අම්මාගෙන් සෑහෙන්න කුටි කෑවෙමි. මතකයන් ඇවිස්සෙන විට එය අද මිහිරි වේදනාවකි. එදා මගේ වයස අවුරුදු එකොළහක් දොළක් වන්නට ඇත.
කැලණියේ පදිංචියට ලබන සතියේ.
(1977 මධුරි හි පළවූ මෙම ජීවිත කතාව අප වෙත යොමු කළ ප්‍රියන්ත ඩිරෙක්ස් මහතාට අපේ ස්තූතිය. සම්බන්ධීකරණය සිදු කළේ බුලිත ප්‍රදීප් කුමාරයි.)
