මුජිබර් – මරික්කාර් සහ කොළඹ පුරපති පුටුව!

හෙළ සිනමා රැජින ලෙස මෙරටේ සියලු සංගීත – කලා සිනමා මෙන්ම සාහිත්‍ය ශාස්ත්‍රීය ක්ෂේත්‍රවල ද නිරන්තර ගෞරවයට පාත්‍ර වූ මාලිනි සෙනෙහෙලතා ෆොන්සේකාගේ සමුගැන්ම මේ සතියේ සමාජ, දේශපාලන අංශ ද කම්පනයට පත් කළ කේන්ද්‍රීය පුවත බවට පත්ව තිබුණි. ජනාධිපති අනුර කුමාර විසින් ඇයට උපහාර පිණිස රාජ්‍ය ගෞරව සහිත අවමංගල උත්සවයක් පැවැත්වීම ද නිසැකයෙන්ම මේ අග්‍රගණයේ සිනමාවේදිනියට දක්වන ලද උත්තරීතර ගෞරවයක් ලෙස හැඳින්විය යුතුය. මාලිනීට කිසිදු සමාජ, දේශපාලන හෝ ගුරුකුල භේදයකින් තොරව මේ රටේ දේශපාලන නායකයන් මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරීහු ද සිය අප්‍රමාණ ගෞරවය ද බුහුමන ද පුදකිරීමට එක්ව සිටියහ. ජනාධිපති අනුර, අගමැතිනි ආචාර්ය හරිනි ඇතුළු ආණ්ඩුවේ බොහෝ මැති ඇමැතිවරු ද මේ ශ්‍රී ලාංකික කලාකාරිනියට බුහුමන් දැක්වීමට නොපසුබට වූහ. එසේම හිටපු ජනාධිපතිවරුන් ඇතුළු මැති ඇමැතිවරුන් හා බොහෝ රාජ්‍ය නිලධාරීන්ගේ ද ගෞරවයට පාත්‍ර වීමට තරම් ඇය භාග්‍යවන්ත වූවාය.
මාලිනිය කලාකාරියක් ලෙස ඒ අයුරින් බුහුමනට පාත්‍ර වූයේ ද ඇය දේශපාලනික වශයෙන් කිලිටි හෝ වහල් චරිතයක් ලෙස ක්‍රියානොකිරීම නිසාය. ඇත්ත වශයෙන්ම මහින්ද රාජපක්ෂ යුගයෙහි ඇය පාර්ලිමේන්තුව ද නියෝජනය කළාය. එහෙත් එය කිසිසේත් නළුකම හෝ ජනප්‍රියත්වය නිසා ඉන්දියානු සිනමාවට එක්වූ ඇම්. ජී. ආර්. හෝ ජයලලිතා පන්නයේ ක්‍රියාවක් නොවීය. දකුණු ඉන්දියාවේ සිනමාවට අන්නදොරේ, කරුණානිධි ඇතුළු තවත් අය ද එක් වූහ. එසේම අමිතාබච්චන්, හේමමාලි ඇතුළු තවත් සිනමා තරු දේශපාලනය තුළ ප්‍රකට වූහ (මේ නාම ලේඛනයට තවත් නම් රැසක්ම ඇතුළත් විය යුතුය). එසේ වුවද මාලිනී ඉතා දැනුවත්ව දේශපාලන තේමාවන් සහිත චිත්‍රපටවලට එක්වූ බව ද මෙහිලා සඳහන් කළ යුතුය. දීර්ඝව විස්තර කිරීමට අවකාශ මඳ වුවද ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘නිධානය, ‘වෑකන්ද වලව්ව’ මෙන්ම ආචාර්ය ධර්මසේන පතිරාජගේ ‘සොල්දාදු උන්නැහේ’ හා ‘බඹරු ඇවිත්’ එයට නිදසුන් කළ හැකි නිර්මාණ කීපයකි.
කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවැත්වුණු රාජ්‍ය අවමඟුලේදී ජනාධිපති අනුරගේ ශෝක ප්‍රකාශයක් ද ඉදිරිපත් කරමින් අදහස් පළ කළ අගමැතිනියගෙන් සැකෙවින් පැවසුණේ ද මෙරටේ සිනමා කලා සංස්කෘතියට ලැබී තිබෙන අනුග්‍රහය මඳ බවය. ශාස්ත්‍රීය පසුබිමක් සහිතව දේශපාලනයේ නිරතව සිටින ආචාර්ය හරිනි එහිදී ඉතා වැදගත් අවධාරණයක් ද කළාය. එනම් මේ කුඩා දිවයිනේ සහජ ප්‍රතිභා කලා රසඥතාව සහිත අපේ අයගේ හපන්කම් ලොව ඕනෑම තත්ත්වයක් සමග සැසඳෙන බවය. මාලිනී ෆොන්සේකා එහි උත්කර්ෂවත්ම නිදසුනක් බව අපගේ ද අදහසය. කුමක් වුවත් කලාකාරිනියක් ලෙස මාලිනී ඇගේ සමාජ, දේශපාලන හා කලා භූමිකාව තුළ මෙරටේ ජනතාවගේ ජීවිත අභිලාෂයන් ප්‍රබල කිරීම සඳහා සිය ජීවිතයෙන්ම කැපවූ අසමසම රංග පෞරුෂයක් බවද නිසැකය.
දැන් අපි තවමත් ප්‍රමුඛ මාතෘකාවක් බවට පත්ව තිබෙන පළාත් පාලන ආයතනවල බලය ඇල්ලීමේ සටන් බිම වෙත යොමු වෙමු. ඇත්තටම මෙය සටන් බිමකට වඩා මෙරටේ පවතින අවිධිමත් හා බලකාමී දේශපාලනයේ නග්ගත්වය අනාවරණය කරන්නකි. මාධ්‍ය හමුවල පමණක් නොව, රූපවාහිනි සජීවී සංවාදවල ද ඇතැම් විටෙක නාස්පුඩු හකුළන තරමේ දුර්ගන්ධ පවා වාහනය වන අවර ගණයේ ඕපා දූප මට්ටමේ අදහස් ද ගලා යයි. සාක්ෂි කෙසේ වෙතත් විවිධ ආකාරයේ දේශපාලන ඩීල් ගැන හා බලය සඳහා කබරයන් තලගොයන් බවට පත් කරගැනීමේ සිදුවීම් ගැන ද ඇසෙයි.
පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ පවතින අන්තෝජටා බහිජටා ස්වරූපයට වගකිව යුත්තෝ කවරහුදැයි මේ ආණ්ඩුව ඇතුළු විපක්ෂයේ ප්‍රධාන පක්ෂ මෙන්ම ඒවායේ නායකයෝ ද දනිති. කුමක්වුවත් අද මේ මාතෘකාව ජනතාවට ද අප්‍රසන්න වූවකි. දිනපතා සමාජ, දේශපාලන අංශවල සිදුවන බොහෝ ක්‍රියාකාරකම්වලින් අනාවරණය වන්නේ ද ඉහත කී පරිදිම ආණ්ඩුවත් විපක්ෂයේ ප්‍රධානම පක්ෂත් සිය දේශපාලන බල ව්‍යාපෘතිය ස්ථාපිත කරගැනීම සඳහා ගෙනයන විවිධාකාර මෙහෙයුම්ය.
අප විසින් මෙයට පෙර සඳහන් කරන ලද පරිදිම මෙම පුංචි ඡන්දයේදී ආණ්ඩුවට මෙන්ම සජබය, එජාපය, පොදුජන පෙරමුණ, ශ්‍රීලනිපය ඇතුළු කිසිදු පක්ෂයකට සෑහීමකට පත්විය නොහැක. එහෙත් සමස්ත ප්‍රතිඵලය අනුව විපක්ෂවලට වඩා ශක්තිමත් හා බහුතර සභික සංඛ්‍යාවක් තේරී පත්ව සිටින්නේ ජාජබයෙන් හෙවත් ආණ්ඩුවෙනි. උතුර හා නැඟෙනහිර පළාත්වල ජාජබයට බහුතර බලයක් නැති ආයතනවල වෙනම බලය සඳහා එකඟතාවන් ඇති වී තිබෙන බවක් ද පෙනේ.
එහෙත් ඉලංකෙයි තමිල්, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය, සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය හා ඊ.පී.ඩී.පී. වැනි පක්ෂ වෙනම පළාත් පාලන සභා පිහිටුවීම ගැන ද උනන්දු වෙයි. ඒ පක්ෂවල වුවද නගරාධිපති, සභාපති වැනි ප්‍රධාන තනතුරු සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් තිබේදැයි ස්ථීරව කිව නොහැක. ඇත්ත වශයෙන්ම ඇතැම් දෙමළ හා මුස්ලිම් නායකයන්ට අනුව ජාතික මට්ටමේ හා ප්‍රාදේශීය වශයෙන් දේශපාලනය කිරීමේදී පැහැදිලි ප්‍රතිපත්තියක පිහිටීම ද අසීරුය.! මෙහිදී අපට පෙනෙන එකම දෙය නම් මේ නායකයන්ට මෙන්ම අනෙක් සිංහල පක්ෂවල නායකයන්ට ද දේශපාලනයේදී හුදු බලය (ඇතැම්විට කෙක්කෙන් නොව කොක්කෙන් ගැනීම) විනා ජාතික සැලසුම් හෝ ප්‍රතිපත්ති නොමැති බවය.
මේ අතර මැතිවරණ වේදිකාවල හෝ මාධ්‍ය හමුවල කුමන වහසි බස් දෙඩුවත් මේ ආයතනවල බලය පිහිටුවීම පහසු නොවන බවද අපගේ අදහසයි. ජාජබය තනි කණ්ඩායමක් ලෙස මෙම මැතිවරණයේදී වැඩි බලයක් අත්පත් කර ගත් බවද සැබෑවකි. එහෙත් විපක්ෂ ලෙස විසිරී සිටින සියලුම කොටස් ජාජබය පවසන පරිදි සුන්බුන් කොටස් එක් කණ්ඩායමක් බවට පත්ව ක්‍රියාකිරීම ද කෙතරම් දුරට සාර්ථකවේදැයි දැන්ම කිව නොහැක. ජාජබයට ඔවුන්ගේ ප්‍රකාශ මෙන්ම විපක්ෂ කණ්ඩායම්වලට සිදුකර තිබෙන විවේචන අනුව ද බලය සඳහා ඒ අය සමග එක්විය නොහැකි බවට විපක්ෂයේම ප්‍රබලයෝ චෝදනා කරති. ස්වාධීන ලෙස තේරී සිටින ඇතැම් අය ද දූෂිතයන්, වංචනිකයන්, තක්කඩින් ආදී විවිධ අයුරින් හෙළා දුටු ආණ්ඩුවකට දැනුවත්ව ස්වාධීන ලේබලය තිබුණු පමණින් ඔවුන්ගේ සහාය ලබාගැනීම ද ප්‍රශ්නයකි. ජාජබය වේලාසනින්ම පැවසූ පරිදි ඔවුන්ට වෙනත් කණ්ඩායම් සමග එක්වීමට ඉඩක් ද නැත. එහෙත් දැන් සිදුවිය හැක්කේ කුමක්ද?
ආණ්ඩුව මෙන්ම විපක්ෂය ප්‍රකාශ කරන ආකාරයේ, ස්වාධීන සභිකයෝ පත්ව සිටිත්ද? ඇතැම් පළාත් පාලන ප්‍රදේශවල එසේ ස්වාධීනව තරග කළ සමහරුන් පවසා ඇත්තේ තමන් පක්ෂවලින් තරග නොකළේ ඒවාට තිබෙන ජනතා විරෝධය නිසා බවය. තම පළාතේ නෑ හිතමිතුරු ආදීන්ගේ ඡන්ද පෞද්ගලිකව ලබාගත හැකි වූයේ ද එසේ ස්වාධීනව තරග කළ නිසා බවද ඔවුහු පවසති. පවතින ඡන්ද ක්‍රමය නොවන්නට මේ බොහෝ දෙනකුට තේරී පත්වීමට වුවද ඉඩක් නොවන බවද කිව යුතුය. එසේම මේ කාගෙ කාගේත් ස්වාධීනත්වය ගැන අලුත් අටුවාටීකා ජනතාවට නම් අවශ්‍ය නැත. ඇත්ත වශයෙන්ම මෙහිදී ජාජබයට වුවද එබඳු ස්වාධීන හංවඩුවට මුවා වී සිටින අයගෙන් යැපීමට සිදුවන්නේ නම් එය උත්ප්‍රාසය දනවන්නකි. එහෙත් තමන්ට එල්ල වන විවේචන – අවලාද – අපවාද නොතකා ඒ පිරිස්වල සහාය ලබාගැනීම හැර වෙනත් විලක්පයක් ද ආණ්ඩුවට නැතිවීම එයට හේතුවය.
මෙම පළාත් පාලන බලය සම්බන්ධයෙන් ආණ්ඩුවේ, විපක්ෂවල මෙන්ම ජනතාවගේ ද ප්‍රමුඛ අවධානයක් යොමු වී තිබෙන්නේ කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම කෙරෙහිය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ බලය මෙන්ම වෙනත් සභාවල ද බලය පිහිටුවීමේ දේශපාලන මෙහෙයුමට නායකත්වය ලබාදුන් අයුරු ද අපට මතකය. එහෙත් සජබය එහිදී ඔවුන්ට අවශ්‍ය ලෙස මෙහෙයවීමට නොහැකි විය. සජබයේ නායක සජිත්ට නිර්දය යැයි කිව හැකි මට්ටමේ විවේචන පවා එල්ල කළ එජාප මහලේකම්වරිය වූ තලතා ද ඉනික්බිතිව කොළඹ හිටපු පුරපතිනි රෝසි ද ඒ කාර්ය සඳහා මෙහෙයවා ඇත්තේ රනිල්ම විය හැකිය. කුමක් වුවත් සජබ නායකයා ඒවා සුවිශේෂ කරුණු ලෙස සැලකූ බවක් කිව නොහැක.
කෙසේ හෝ මෙම පළාත් පාලන මැතිවරණය අරබයා සජබය තුළ උද්ගතවී තිබෙන කැලඹීම ද ඉතා පැහැදිලිය. මේ ලියන මොහොත වන විටත් සජබයේ සංවිධානයකවරු කීපදෙනෙක්ම ඉල්ලා අස්වී සිටිති. එය සිය නායකයාට විරෝධය දැක්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිචාර්යකැයි සජබය කියයි. එහෙත් ගාල්ලේ සංවිධායකගෙන් (බන්දුලාල් බණ්ඩාරිගම) පැවසුවේ, පක්ෂයේ සෙවල ප්‍රතිපත්ති අනුමත නොකරන බවය. මේ සැබෑ චිත්‍රය වැසීම සජබයේ මුල්පෙළට වුවමනා වුවත් එහි තවත් බිඳවැටීම් අපට දැකගත හැකි විය. විශේෂයෙන් සජබයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු වන මුජිබර් හා මරික්කාර් අතර දියත් වන අරගලයක සංඥා ද සැඟවිය නොහැක. මරික්කාර්ව කොළඹ ඡන්ද සටනින් ඉවත් කිරීම ගැන ඔහු තුළ තිබෙන නෝක්කාඩුව දින කීපයකට පෙර මාධ්‍ය මගින් ද හෙළි වූවකි. මරික්කාර් හා රහුමාන් අතර මෙන්ම සජබයේ තවත් කණ්ඩායම්වල මතභේදයට තුඩු දී ඇත්තේ පළාත් සභා සභිකයන් පත් කිරීමේ අවුලකි. කොහොමටත් මේ ජුගුප්සාජනක ඡන්ද ක්‍රම නීතියට විනා ප්‍රජාතන්ත්‍රවාදය අහලකටවත් නොඑන බව අමුතුවෙන් කිව යුතු නැත. සජබය මුල සිටම හොරගල් ඇල්ලුවේ ද කොළඹ පුරපති පුටුවටය. ආණ්ඩු පාර්ශ්වය පවසන පරිදි සුන්බුන් විපක්ෂයක් ඔවුන්ට නැත. ඔවුන්ට අනුව ජනතාව මේ දී ඇත්තේ විපක්ෂයට එක්විය යුතුය යන සංඥාවකි.
මෙය මොනතරම් අමන ප්‍රකාශයක්ද? අවස්ථාවාදයත් නිල බල පොරයත් විනා වෙන කිසිම දෙයක් නොමැති දේශපාලන අගාධයක ප්‍රතිපත්ති ගැන කිව යුත්තේ කුමක්ද?
ජනාධිපති අනුර කුමාර විටෙක සුමුදු ස්වරයකින් ද තවත් විටෙක දැඩි ස්වරූපයකින් ද පවසන්නේ පළාත් පාලන බලය සඳහා ආණ්ඩුවට තිබෙන ජනවරමට කිසිවකුට අභියෝග කළ නොහැකි බවය. මාලිමාව යනු, ශක්තිමත්ම දේශපාලන ව්‍යාපාරයක් බවත් එයට එරෙහිව තවමත් විධිමත් දේශපාලන කඳවුරක් සැකැසෙන ලකුණක් හෝ නැති බවත් ජනාධිපති අනුර දින කීපයකට පෙර ද ප්‍රකාශ කර තිබුණි. ඇතැම් පදනම් විරහිත කතා හෝ හිස් ඝෝෂා නිසා ජාජබයේ කිසිවෙක් කම්පා විය යුතු නැති බවද ඔහු දැඩිව අවධාරණය කළේය. එසේ වුවද පාතාල ක්‍රියාකාරකම් හා අල්ලස් දූෂණ වංචා සම්බන්ධයෙන් ජනතාවට ද දැනෙන පියවරක් ගැනීමට ආණ්ඩුවට තවමත් නොහැකි වී තිබෙන බවට කෙරෙන විපක්ෂ විවේචනවල ද අඩුවක් නැත. මේ වන විට හිටපු ඇමැතිවරුන් හා ඔවුන්ගේ සමීපතමයන් සම්බන්ධයෙන් වුවද ආණ්ඩුවට ක්‍රියාකළ හැකි නීතියෙහි සීමාවන් ද තිබෙන බව පැහැදිලිය. එහෙත් හොරුන් අල්ලන වේගය මදි යැයි ජාජබයේ සමහරුන්ගේ නෝක්කාඩුවකි.
මේ අතරම ආණ්ඩුව සහාය දැක්වූ උතුරේ ඇතැම් දේශපාලන පක්ෂ ද තමන්ගේ ඉල්ලීම් ඉටුනොවීම ගැන කනස්සල්ලකින් සිටින බවද පෙනේ. අතුරුදන් වූවන්ට යුක්තිය ඉටුකිරීම ප්‍රමාද වීම, හමුදාව විසින් අත්කර ගන්නා ලද ඉඩම් යළි උතුරේ ජනතාවට ලබාදීමේ ගැටලු මෙන්ම දෙමළ සිරකරුවන් නිදහස් කර ගැනීම හා ඓතිහාසික ඉඩම්වලට දෙමළ – සිංහල ජනතාව අතර තිබෙන ගැටුම ආදිය ගැන ද උතුරේ ඇතැම් දෙමළ පක්ෂ කනස්සල්ලට පත්ව සිටියි. මේවා කලක පටන් ඒ පළාත්වල ජනතාව පෙරට දමමින් කරන ලද දේශපාලන ඉල්ලීම් බවද රහසක් නොවේ.
මේ අතර ආණ්ඩුව තමන්ට ලැබී තිබෙන බහුතර බලය තුළින් රාජ්‍ය යාන්ත්‍රණය ප්‍රතිසංස්කරණය කිරීම කෙරෙහි අවධානයක් යොමු කර නැති බවද උතුරේම ඇතැම් දෙමළ නායකයන්ගේ විවේචනයකි. මෙයට අමතරව පසුගිය මහ මැතිවරණයේදී තරමක් පසුබෑමකට ලක්ව සිටි දෙමළ හා මුස්ලිම් කොටස් පුංචි ඡන්දයේදී ඉදිරියට ගොස් ඇති බවද පෙනේ. මාලිමා රජයට උතුරේ ජන ප්‍රසාදයක් හිමිවීම මේ ආණ්ඩුව ලත් සුවිශේෂ ජයග්‍රහණයක් වුවද පුංචි ඡන්දයේදීත් ප්‍රවණතාව දැකගත නොහැකි බවද කියති.
මේ දේශපාලන කැලඹිලි කෙබඳු ස්වරූපයක් ගත්තත් ආණ්ඩුව මේ මොහොත වන විට අංක එක බවට පත් කර ගෙන ඇත්තේ පළාත්පාලන බලය තම කණ්ඩායම්වලට ලබාගැනීමය. දින කීපයකට පෙර ශ්‍රීල.නි.ප. යේ ප්‍රබල චරිත කීපයක්ම සජබයේ සජිත් සමග කොළඹ නගර සභාවේ බලය ගැන වෙනම සාකච්ඡාවක් පැවැත්වූ බවද වාර්තා විය. ශ්‍රීල.නි.ප. යේ හිටපු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් මෙහිදී කිසියම් පසුබැසීමකට ලක්ව සිටියත් දැන් ඔවුන්ට ද සජිත්ගේ දුරකථනයේ එල්ලීමට සිදුව ඇතැයි ද සමහරු කියති. එසේම කොළඹ බලය ජාජබය සමග එක්ව පිහිටුවීමෙන් තම ජනකොටස්වලටත් ප්‍රදේශවලටත් හොඳ සේවයක් ලබාගත හැකි යැයි කල්පනා කරන ස්වාධීන මන්ත්‍රිවරු ද සිටිති. පාර්ලිමේන්තුව, ජනාධිපති වැනි මූලික බලය ජාජබයට හිමිව තිබුණත් කොළඹ ඔවුන්ගෙන් ගිලිහීයෑම දේශපාලන වශයෙන් ලැජ්ජාවක් බව ජාජබ පාර්ශ්වයේ ද අදහස වී ඇත.
අවසන් වශයෙන් මේ වනවිට ආණ්ඩුව විසින් විගණකාධිපතිවරයකු පත් කිරීම සම්බන්ධයෙන් මැදි වී සිටින අර්බුදය ගැන සිවිල් හා රාජ්‍ය සේවයේ ඇතැම් නිලධාරීන් අතර ගොඩනැඟී තිබෙන සංවාදය ගැන ද සඳහනක් කළ යුතුය. මේ කාරණයට අදාළව අමුතු අටුවා ලිවීමට අපට අවශ්‍ය නැත. එහෙත් මේ ජනාධිපතිවරයා ජයවර්ධනගේ හෝ රනිල්ගේ පන්නයේ මෙහෙයුම් සිදුනොකළ යුතු බව තවමත් ඔවුන් කෙරෙහි බිඳීගොස් නැති ජනතාවගේ අදහස බවද සිහිපත් කළ යුතුය. දූෂණ, වංචා, අල්ලස් දුරලීමට වඩාත් උචිත හා කාර්යක්ෂම යාන්ත්‍රණයක් අද අවශ්‍යව තිබේ. දේශපාලනයේදී මෙන්ම රාජ්‍ය කටයුතුවලදී ඇතිවන බැඳීම් අතර වූ සබඳතාවන් මේ රටේ අලුත් දෙයක් නොවේ. එහෙත් මේ සම්බන්ධයෙන් වෘත්තීය නිපුණත්වයක් ඇති සංවිධාන දැනටමත් ජනාධිපති අනුරට ලිපි මගින් ඒ පත්කිරීමේ ස්වභාවයේ අඩුපාඩු පෙන්වා දී ඇතැයි ද වාර්තා වේ. මෙම අතිශය වැදගත් ඉහළම තනතුරක් සඳහා බාහිරව හෝ තමන්ගේ මිත්‍ර සබඳතා වළල්ල තුළ හෝ සිටින අයෙක් පත්කිරීමේ අනුචිත බව මේ සම්බන්ධයෙන් සිදුවන විවේචනවලින් ද පසක් කරගත හැකිය. ජනාධිපතිවරයා විසින් යෝජනා කරන ලද දෙවරක්ම ව්‍යවස්ථා සභාව අනුමත නොකළ නමක් එම ධුරයට යෝජනා කිරීම ආණ්ඩුවේ සදාචාරාත්මක හා ප්‍රතිපත්තිමය දේශපාලන චිත්‍රය විරූපී කරන්නක් විය නොහැකිද? කුමක් වුවත් මේ වනවිට තිබෙන දේශපාලන කැලඹිලි මැද එබඳු ප්‍රශ්නකාරී මෙහෙයුම් සඳහා ආණ්ඩුව ඇදී යෑම ගම්මඩු අස්සේ ගිනිමඩු නැටීමක් වැන්නද?
ගාමිණි සුමනසේකර