සිංහලයේ මනාලියගේ ඔසරිය ඇතුළු මංගල ඇඳුම් පැළඳුම් වර්තමානයේ සම්ප්‍රදායික ශ්‍රේෂ්ඨත්වයක් පිළිබිඹු කරන අතර එමගින් ඇය නිරූපනය කරන්නී රජ බිසවකගේ භූමිකාවයි. එනිසා, එම ඇඳුම් පැළඳුම්වල ඇති විශේෂත්වය සොයා බැලීම සතුට දනවන්නක් මෙන්ම දැනුම වඩන්නක්ද වෙයි.
උඩරට මනාලියගේ ආභරණ කට්ටලය පැරැන්නන් විසින් සලකන ලද්දේ පරම්පරාවෙන් පරම්පරාවට ලැබෙන දායාදයක් ලෙසය. එයින් ඇගේ කරට දමන මාල හත සංකේතවත් කරන්නේ සත්පත්තිනි පතිවෘතාවයි. ඇගේ නළලත පළඳවන තැල්ල පත්තිනි තැල්ල ලෙසත්, හිසේ දකුණ සහ වම්පස තිබෙන ඉර හඳ දෙක මගින් හිරු සහ සඳු තිබෙනා තුරු සිය ආදරය හිස් මුදුනින් පිළිගන්නා බවත් සංකේතවත් කරයි. බෝලයක් මෙන් සකස් කරනු ලබන කොණ්ඩා මෝස්තරයෙන් මහමේරු පර්වතය සංකේතවත් කරන බව කියැවේ. ඕනෑම බරක් හිස තබාගෙන ජීවත්වීමේ ආත්ම ශක්තියක් මනාලියට ඇති බව එමගින් සංකේතවත් වේ. මනාලියගේ හැට්ටයේ අත් දෙක බෝරිච්චි කිරීමෙන් සකස් කරනු ලබන පිරුණු උරමඬල පවුල් ජීවිතයේ හැම බරක් ම දරාගත හැකි පූර්ණත්වයක් ඇය තුළ ඇති බව සංකේතවත් කරයි.
මනාලියගේ මංගල ඔසරිය එදා රජ මාළිගාවේ රාජාභිෂේකය සඳහා භාවිත කළ රජ බිසවකගේ ලාලිත්‍යය මතු කරන අයුරින් හැඩගැන්වීම කළ යුතු බව විශ්වාසයයි. එසේ නොමැති වුවහොත්, උඩරට මනාලිය තුළින් දිස්වන තේජස් බව හා ගාම්භීරත්වය යටපත් වී යා හැකිව තිබේ. තවත් ආකාරකින් එදා මෙදාතුර ඔසරියට ලැබුණු ගාම්භීරත්වය විවාහ මංගල්‍යය දිනයේ සතුට හා විශ්වාසය තවදුරටත් සනාථ කරන සංකේතයක් ලෙසද ප්‍රකටය.
මෙලෙස ගත්විට උඩරට මනාලියගේ වස්ත්‍රාභරණ කට්ටලය යනු ආගමික හා සමාජීය පසුබිමක් මත නිර්මාණය වූවකි. මෙම වස්ත්‍රාභරණ කට්ටලය පැළැඳීම තුළ කාන්තාව පතිනියක ලෙස සමාජයේ ප්‍රශංසා ලබන බවත්, සෑම ආභරණ අංගයක්ම ඔත්තේ සංඛ්‍යා මත නිර්මාණය වීම හා අර්ථයක් සහිතව පැළඳීම තුළ කාන්තාවට සුබපල ගෙන එන බවත් කියැවේ.
- නළල් පටිය
නළල් පටිය මනාලියගේ මව විසින් මනාලියට පැළඳවීම සිරිතයි. මෙම අවස්ථාවේදී පිරිත් සජ්ඣායනාවක් සිදු කරන අතර නළල් පටියේ දකුණු පසින් මනාලයාද, වම් පසින් මනාලියද සංකේතවත් වේ.
- ඉර හඳ ආභරණය
මනාලියගේ හිසේ දකුණු පසින් හිරු සහ වම් පසින් සඳු නම් වූ ආභරණ පළඳවන අතර හිරුගේ ගතිගුණ මනාලයාගේ ගතිගුණවලටත්, සඳුගේ ගතිගුණ මනාලියගේ ගතිගුණවලටත් සමාන කරයි. එසේම ඉර හඳ පවතින තුරු මංගල යුවළගේ බැඳීම පවතිනු ඇතැයිද එමගින් සංකේතවත් වේ. මීට අමතරව මේ ආභරණය පැළඳීමෙන් මනාලියට තමාගේ පතිවෘතාව ආරක්ෂා කරගැනීමට ශක්තිය ලැබෙන බවටත් උඩරැටියන් අතර විශ්වාසයක් පවතී.
- කොණ්ඩා කූරු
කොණ්ඩා කූරු හිසේ පිටුපසට පළඳවන අතර මේවා පැළඳීමෙන් මනාලියට සෞභාග්‍යය ලැබෙන බව කියැවේ.
- කරාබු
උඩරට මනාලියට පළඳවන කරාබු වර්ගය හඳුන්වන්නේ ‘කඩුක්කන්‘ යන නාමයෙනි. මනාලියගේ මව විසින් කඩුක්කන් පළඳවනු ලබන අතර ඒවා පැළඳිමෙන් මනාලියට සෞභාග්‍යය උදාවන බව සඳහන්ය.
- වළලු
උඩරට මනාලියගේ වළලු හඳුන්වනු ලබන්නේ අගස්ති වළලු සහ බංගලි වළලු ලෙසය.
- මුදු
උඩරට මනාලියගේ ඇඟිලි පහටම මුදු පළඳවන අතර එමගින් මනාලියට නිරෝගී සම්පත්තිය හිමි වන බව පැවසේ.
- හවඩිය
හවඩිය පැළඳීමෙන් මනාලියගේ ඉණේ හැඩය වැඩිකරවන අතර ශෝභනත්වය ඔප් නංවයි.
- මංගල මාල කට්ටලය
සාම්ප්‍රදායික ඔසරිය සමග උඩරට මනාලියට පළඳවනු ලබන මෙම සුවිශේෂ මාල කට්ටලය පත්තිනි දේවියගේ ආභරණ කට්ටලය යැයි විශ්වාස කරන අතර එයින් සංකේතවත් කෙරෙනුයේ මනාලිය පතිවත රකින, එය ගරු කරන යුවතියක් විය යුතු බවයි. මනාලියට පළඳවනු ලබන මාල වඩාත් දිගු ඒවා බවට පත්වන්නට හේතුව මනාලියට මුහුණ පෑමට සිදුවන විවිධ සෞඛ්‍ය ගැටලු මාලය දිගේ පොළොව වෙත ඇදී යන බවට පැරැන්නන් තුළ පැවැති විශ්වාසයයි. එනිසා, එමගින් මනාලියට නීරෝගී සම්පත්තිය හිමිවන බව විශ්වාස කරනු ලබන අතර මනාලිය පළඳින මාල හත මගින් ඉදිරි පරම්පරා හතක් නියෝජනය කරන බවටද මතයක් පවතී.
- හංස පූට්ටු මාලය
හංස පූට්ටු මාලයේ හංසයන් නිර්මාණය කර ඇත්තේ, ඔවුන් එකට පූට්ටු වී සිටින ලෙසය. මෙයින් සංකේතවත් වෙන්නේ, අලුතින් විවාපත් විවාහක යුවල වෙන් නොවී, සදා කාලයටම එකට බැඳී සිටින බවයි. හංස පූට්ටු තැල්ල රඳවන්නේ මනාලියගේ පපුව මතය. මෙයින් සංකේතවත් කරන්නේ ඉදිරි අනාගතයේ මනාලිය තම කිරෙන් දරුවන් පෝෂණය කරන බවය.
- පදක්කම් මාලය
පදක්කම් මාලය පැළඳීමෙන් සංකේතවත් කරන්නේ පියාගේ ගෞරවය ආරක්ෂා කළා සේම, ඒ හා සමානව තම ස්වාමියාගේ ගෞරවය ද ආරක්ෂා කරන බවයි.
- මකර මාලය
මකර මාලය පැළඳීම නිසා මනාලියගේ නවග්‍රහ අපල, වස් දොස් දුරුවන බව විශ්වාස කෙරේ.
- කිරි මාලය
කිරි මාලය රඳවනු ලබන්නේ මනාලියගේ පපුවට පහළිනි. එයින් සංකේතවත් කරන්නේ අනාගතයේ දී ඇගේ දරුවන් විසින් මනාලිය වැළඳගෙන සිටින බවකි.
- අගස්ති මාලය
මනාලියගේ සිරුරේ ‘අගස්ති‘ ගැටීමෙන් ඇයගේ සියලු අපල දුරුවන බව විශ්වාස කරන අතර මනාලියගේ ජිවිතයේ ඇති අවාසනාව දුරුකර සෞභාග්‍යය උදා කරන්නට මේ අගස්ති මාලයට හැකි බව විශ්වාසයයි.
- ධාන්‍ය මාලය
ධාන්‍ය මාලයෙන් මනාලියගේ යහපත් සෞඛ්‍යය සංකේතවත් වේ.
- පෙති මාලය
පෙති මාලයෙන් සංකේතවත් වෙන්නේ මනාලියගේ පවිත්‍රතාවයි.
- කර මාලය
විශේෂ මාල හතට අමතරව මනාලයා විසින් මනාලියට පළඳවන මාලය කර මාලය ලෙස හදුන්වයි. එය සංස්කෘතික සිරිතකි.
නිමල්ෂි රත්නායක
ශාස්ත්‍ර පීඨය
කොළඹ විශ්ව විද්‍යාලය