මේ රට එක තැන පල් වෙන්නේ ඇයි, ගොඩ නොනැගෙන්නෙ ඇයි, මේක ගොඩ නගන්නම බැරි රටක් ද, එහෙම නැත්නම් කිසිවකුට හදන්න වුවමනාවක් නැති ද හැකියාව නැති ද එහෙමත් නැත්නම් ගොඩ නොනැගිය යුතු ද, එම වගකීම බාරගන්න හැමෝටම ඒ වුවමනාව අනිවාර්යයෙන්ම ඇති, එය එසේ විය යුතුමයි. ඔවුන් එයට අවතීර්ණ වන්නෙත් එලෙසම විය යුතුයි. නිදහස ලැබී දැන් දශක අටකුත් ගතවී ඇත, ශතකයකුත් ළඟා වෙමින් ඇත. අදාළ වකවානුව තුළ එම අභියෝගය භාරගත් පිරිස බොහෝය, එහෙත් ඒ හැමෝම අසමත් විය, අදටත් එය එසේමය, එයට හේතුව කුමක් ද, හේතුව කුමක් ද යන්න හඳුනා නොගැනීම මය. අහේතුකව හටගන්නා අනිසි ඵලයන් බදාගෙන වෙන වෙනම ඒවාට බැටදෙමින් සිටීම මය. සැබෑ හේතුව හැඳින ගෙන එය විනාශ නොකිරීම මය.
කුමක්ද එම හේතුව, ඒකට එකම හේතුව ජාතික ඵලදායීතාව පිරිහීමය, වෙනත් විධියකට සඳහන් කරනවා නම් රට ස්වයංපෝෂිත නොවීමය. රට ස්වයංපෝෂිත විය යුතුය යන මාතෘකාව නම් නිතර නිතර කරලියට පැමිණ ඇත. එහෙත් එය එකම සහ ප්‍රධානම හේතුව ලෙස හැඳින ගැනීමක් හෝ ප්‍රකාශ කිරීමක් ද එතරම් මතු නොවීය. ඵලදායීතාවයෙන් පිරී ගියා නම් මේ රටේ සියලු ප්‍රශ්න නිරාකරණය වනු නියතය, ප්‍රශ්න එකිනෙක ගෙන පිළිතුරු සැපයීමට ද අනවශ්‍යය, කල් මැරීමට ද සිදු නොවනු ඇත. ඔය මහ ලොකුවට තිබෙනවාය කියන රුපියල් ඩොලර් ප්‍රශ්නය ද අවසන් වනු ඇත. ණය ගෙවා දැමීම ද අවසන් කළ හැකි වනු ඇත. කෙටියෙන් කියනව නම් රට දැය සමය හමුවේ ඇති සියලු අභියෝග ද ජය ගැනෙනු ඇත. අනෙකුත් අර්බුධ සහ ගැටලු ද නිරාකරණය වනු ඇත. කල්මරමින් නිකරුණේ වටේ යා යුතු නොවනු ඇති, එහෙත් එම ඵලදායීතාවය වැඩිකර රැකගන්නේ කෙසේ ද, එය කළ හැක්කේ විවිධාංගීකරණය වන නිපැයුම් සහ සේවාවන්ගෙන් රට ස්වයංපෝෂිත කර ගැනීමෙනි. එය සිදු කරන්නේ කෙසේ ද, එය කළ හැකිවන්නේ අප සතු ශ්‍රම සම්පත නොහොත් මුළු ශ්‍රම බළකායෙන්ම වැඩ ගැනීමෙනි, ශ්‍රමිකයන්ව ස්ව කැමැත්තෙන්ම වැඩට බැස්සවීමෙන් පමණි, වැඩබිම් තුළ අඛණ්ඩව රඳවා තැබීමෙන් පමණි, විරැකියාව නමැති පළමු අභියෝගය ජය ගැනීමෙන්ම පමණි. එහෙත් එය කළ හැකි වන්නේ කෙසේ ද, ශ්‍රමයට නිපැයුමට සේවාවට ස්ථාවර වටිනාකමක් ලබා දීමෙන්ම පමණි, ඒ සඳහා නිසි වටිනාකම නිගමනය කිරීමෙන්ම පමණි. එය කෙසේ කළ යුතු ද, ශ්‍රමිකයා යනු අප සතු වටිනාම සම්පත බව දැන ඇට ලේ මස් නහර වලින් එක සේ නිර්මිත මිනිසා වුවමනා එපාකම් සැමටම පොදු වූ උතුම් වස්තුවක් සේ සලකා ශ්‍රමයට නිසි ස්ථාවර මිලක් නියම කිරීමෙනි. අමතර උගත්කමට දැනුමට හැකියාවට යම් වටිනාකමක් එකතු කළ යුතු වන්නේ ඉන් අනතුරුවය.
එම ස්ථාවර මිල කීය ද, එය ලෝක ප්‍රවනතාවට නොහොත් ගෝලීයකරණයට සම විය යුතුමය. එසේ නොමැතිව අපට කවදාවත් ලෝකයට මුහුණ දීමට ලෝකයත් සමග උරෙන් උර ගැටෙමින් යා හැකි ගමණක් නැත. එය එසේ කිරීමේ කිසිදු වරදක් ද නැත, අසාධාරණයක් ද නැත, එසේ කිරීමට යම් බාධකයක් හෝ අපහසුවක් ද නැත, එය පහසුවෙන් කළ හැකි දෙයක්මය. එම අනුපාතිකය (a rate) කීය ද, එය ඇමරිකානු ඩොලර් 100කි. ඇමරිකානු ඩොලරයේ මිල කීය ද, එය රුපියල් 100කි. එවිට ශ්‍රමිකයකුගෙ දෛනික වටිනාකම රුපියල් දස දසකි. එය ශ්‍රමිකයකුගේ වටිනාකමෙහි පදනමයි. දැන් එතැනින් පටන්ගමු. එය වගුරන ශ්‍රමයට කරනු ලබන කැප කිරීමට අනුව වෙනස් වීමෙහි වරදක් නැත, එහෙත් එහි උපරිමයක් සහ අවමයක් තිබිය යුතුය. ශ්‍රමිකයකුගෙ නම් 01-05ක් ද ව්‍යවසායකදී නම් 01 -10 තරම් ද සීමා විය යුතුය. භාණ්ඩ සහ සේවාවන්හි වටිනාකම් ද ඊට සාපේක්‍ෂ විය යුතුය. එය යාන්ත්‍රණයකට (mechanism) අනුව කළ හැකිය. ඉන් අනතුරුව මුළු රටේම භාණ්ඩ සහ සේවාවන්හි මිල ගණන් ස්ථාවර වනු ඇත. උද්ධමනය පවා නොසෙල්වෙනු ඇත. සෑම ශ්‍රමිකයෙකුටම එය මහත් උත්තේජනයක් වනු ඇත. අසහනයෙන් තොර සාධාරණ සමාජයක් ගොඩනැගෙනු ඇත. සමානාත්මතාවය ස්ථාපිත වනු ඇත. දූෂණ වංචා සොර මැරකම් සමාජයෙන් බැහැරව සැබෑ දේශපාලනයෙහි අර්ථය සපල වනු ඇත. මිනිසුන් වැඩබිම් තුළම රැඳෙනු ඇත. සහජ හැකියාවට කැමැත්තට අනුවම රැකියාවක නිරත වනු ඇත. වැඩිම පලදායිතාවක් හට ගන්නේ ද එතුළින්මය. දේශපාලනය යන්නෙහි යථාර්ථය ද එයමය.
එහෙත් මෙම හීනය සැබෑවක්ම කරගන්නේ කෙලෙස ද, මේ සඳහා අදාළ දේශපාලන න්‍යාය පත්‍රය පෙළගස්වා ගත යුතුය. පිළිවෙළින් ජයගත යුතු අභියෝග නිවැරදිව හඳුනාගත යුතුය. කළ යුතු ව්‍යුහාත්මක සංශෝධන කීපය හඳුනාගත යුතුය. ඉතාමත්ම සරලව ඍජුව සහ සමීපතමව අනායාසයෙන් ගතයුතු තීන්දු තීරණ කීපය හඳුනාගත යුතුය. එය අවබෝධ කරගත් පසු රට ගොඩනගන එක පැය 24 යන්න මත්තෙන් ද කළ හැකිය. මේ සඳහා කල් නොමැරිය යුතුය.
කුමක් ද එම දේශපාලන න්‍යායපත්‍රය. එහි දැක්ම යථාර්ථවාදී විය යුතුය. වෙනත් ආකාරයකින් කියනව නම් ඇත්ත ඇති සැටියෙන්ම දැකිය යුතුය. මංමුලා නොවිය යුතුය. එම දේශපාලන න්‍යායපත්‍රයෙහි ශක්තිමත් ම පදනම විය යුත්තේ සාධාරණ සමාජයයි. වෙනත් ආකාරයකින් සඳහන් කරනව නම් දැනට දමාගෙන තිබෙන බෝඩ් ලෑල්ල පරිදි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සමාජවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය මයි. එම දේශපාලන න්‍යායපත්‍රයෙහි මූලික නොහෙත් රාජ්‍ය ප්‍රතිපත්තිය බවට පත්විය යුතු වන්නේ ධනය සම්පත් සේවය සුබසාධනය සහ මිනිස් මූලික අයිතිවාසිකම් සාධාරණව බෙදී යන සහ සුරැකෙන පංචවිධ ප්‍රතිපත්තියයි. එහි අංශානුකූල ජාතික ප්‍රතිපත්තීන් බවට පත්වී යුතු වන්නේ රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය ද සියලු වෘත්තීය ක්ෂේත්‍රයන් සහ සමාජ ස්ථරයන් ද මුළුමනින්ම ආවරණය කර ඉහත කී මූලික ප්‍රතිපත්තියට යටත් කොට සකසා ගත් අංශානුකූල ජාතික ප්‍රතිපත්තීන් දහයකට දොළහකට සීමාකර අමාත්‍යාංශ ක්‍රියාකාරකම් බවට පත් කිරීමය. නිතර පැවසන විiාත්මක කැබිනට්ටුවක් සෑදෙන්නේ ද එලෙසින්මය.
රට දැය සමය අබියස ඇති ප්‍රධාන අභියෝග පහ මොනවා ද, ඒවා ජයගන්නේ කෙසේ ද ඕනෑම රටක් රාජ්‍යයක් සමාජයක් පමණක් නොව පවුල් සංස්ථාවක් තුළ වුව ද හටගන්නා පළමු අභියෝගය වන්නේ විරැකියාවයි, මන්ද ඒ හැමටම යැපෙන්නට ශක්තිමත් ආර්ථිකයක් අවශ්‍ය බැවිනි. නැතිනම් ඒ සියල්ල අනාථ වන බැවිනි. ආර්ථිකය හැදෙන්න නම් පලදායිතාවය අත්‍යාවශ්‍යමය. ස්වංපෝෂිත විය යුතුමය. ඒ සඳහා වැඩ කළ යුතුමය. එහෙත් වැඩ කළ යුතු වන්නේ යහතින් ජීවත්වීමට මිස ජීවත් වන්නේ වැඩ කරන්නම නොවන බව ද යථාවබෝධ කර ගත යුතුය. එලෙසින් මුළු ශ්‍රම බළකායම වැඩ කළ යුතුය. බල්ලො මරල හෝ සල්ලි හොයල ධනය මවල එම ඵලය ලැබිය නොහැක. එය පලදායිතාවයට අයත් ධනය නොවනු ඇත. බැලූ බැල්මට පෙනේනනට ඇත්තේ මේ රටේ මුදල් ඉපැයීම 20%ටත් වඩා අඩු බවය. 80% වැඩියෙන් එය මැවෙන බවක් ද පෙනෙන්නට ඇත. සියල්ල පාලනය වන්නේ උපයන ආර්ථිකය මතය. නැතහොත් උද්ධමනයවත් පාලනය කළ නොහැක.
ආර්ථිකය ශක්තිමත් වෙන්න නම් මුදල් ඉපැයිය යුතුමය. මුදල් ඉපැයෙන්න නම් පලදායිතාවය වැඩි විය යුතුමය. පලදායිතාවය තුළින්ම ජය ගන්නවා යනු කෝකටත් තෛලය බඳු වූ ප්‍රබල දෙවන අභියෝගය වන ආර්ථිකය ජය ගැනීමය.
මෙම අභියෝග දෙක පිළිවෙළින් නිර්මාණය වනවා සේම ඒවා එපිළිවෙළින්ම ජය ගැනීම යනු මිනිසුන්ගේ බඩ කට අටු කොටු සිත් සතන් පිරී ඉතිරී අසහනයෙන් තොර නිදහස් නිවහල් ජාතියක් බවට පත් කරවීමය, නිදහස් නිවහල් ජාතියක් යනු එකීනෙකාට ඉරිසියා නොකරන වෛර නොකරන ජාති කුල මල ආගම් බේද නොතකන හොරකම වංචාව දූෂණය පිටු දකින ජාතියකි. එවන් ජාතියක් අනෙකෙකු තලා පෙලා වද හිංසා නොකරති, නොපතති. යහපතම පතන තරමට ආකල්ප පෝෂණය කරගන්නවා ඇති, එක එකාට නොරැවටෙති, නිර්මාණශීලී වනු ඇති, අලුත් අලුත් දේ නිපයනු ඇති, අමුතු අමුතු ඉල්ලීම් කිරීමට ඇති අවකාශයන් පහව යනු ඇති, එනිසාම තුන් වන අභියෝගය වන මානවහිමිකම් කඩවීමේ අභියෝගය ඉබේටම ජය ගැනෙන අතර හතර වන අභියෝගය වන සමාජ අරගලවලට යොමු වීමට ද යොමු කරවීමට ද ඇති අවකාශයන් පහව යනු ඇත. මෙම ප්‍රධාන අභියෝග සතර පිළිවෙළින් ජයගත් රටකට රාජයකට පරගැති වන්නට බිය වන්නට යට වන්නට උන් සමග නිදි වඳින්නට හෝ අනිසි ගිවිසුම් ගත වෙන්නට ද අවශ්‍ය නොවනු ඇත. හේතුවක් නැත. කෙටියෙන් සඳහන් කරනවා නම් ස්වාධීන ශක්තිමත් ජාතියක් වන එවන් රටකට ඇඟිලි ගැසීමට ද කිසිදු රටකට ඉඩක් නොපවතිනු ඇත. රටක් රාජ්‍යයක් පාලනය කරනවා, ගොඩගන්නව යන්නෙහි සැබෑ අරුත එයමය.
රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය යථාවාදීව වෙන්කර ගැනීම, රාජ්‍ය ආදායම සහ වියදම යථාවාදීව වෙන්කර ගැනීම, සංවර්ධනයේදී දායක කර ගත යුතු සහ නොගත යුතු දේ යථාවාදීව වෙන් කර ගැනීම, යන සංශෝධන ත්‍රිත්වය ද ඉතාමත්ම වැදගත් වන්නේ මේ වනවිට එය අච්චාරුවක් සේ කලවම් වී අනිසි පලවිපාක විශාල වශයෙන් මුදාහැරෙන නිසාමය.
ලොවටම පොදු මෙවන් වූ දේශපාලන න්‍යායපත්‍රයකින් බැහැරව, මෙවන් අභියෝග ජය ගැනීමකින් සහ සංශෝධනවලින් තොරව වෙන මොන විකාර කළ ද රටක් ගොඩනැඟීම යනු දහවලේ දකින සැබෑ නොවන බියකරු සිහිනයක් බඳුමය. එහෙත් අද වනවිට අප රට පත්ව ඇති අවාසනාවන්ත තත්ත්වය මත ඇති කරගෙන ඇති බැඳීම් සහ වගකීම් මත මෙය කෙසේ කරම් ද යන්න බියට පත්කරවන තරම්ම එය ප්‍රබලය. එහෙත් අප මේ මර උගුලෙන් ගැලවිය යුතුමය. එනිසා අප සම්ප්‍රදායෙන් බැහැරව නිර්මාණශීලීව අලුතෙන් සිතිය යුතුමය. මෙවන් මර උගුලක පැටලුන හේතුව යථාවබෝධ කර ගත යුතුමය. එවිට පැහැදිලිවම දැකගත හැකි වන්නේ ජාතික ඵලදායීතාවය හීනවීම මෙයට ප්‍රධානතම හේතුව වන වගයි. අදිටන් කරගත යුතු වන්නේ සැලසුම් කළ යුතු වන්නේ උපක්‍රමශීලී විය යුතු වන්නේ එම හේතුව විනාශ කිරීමටය. කළ යුතු වන්නේ ද එය පමණමය. ඒත් එය කෙසේ කරමු ද එය බරපතළ කාර්යයක් ද, අපහසු කාර්යයක් ද, කල්මැරිය යුතු හෝ කළ නොහැකි කාර්යයක් ද, නැත එය අනායාසයෙන් වහා සිදුකළ හැකි දෙයකි. ඒ සඳහා කළ යුතු වන්නේ ඊට අදාළ වන ඉතාමත්ම සරල සෘජු සහ සමීපතම තීන්දු තීරණ කීපයක් අප්‍රමාදව එකවර ගැනීම පමණි.
එම තීන්දු තීරණ මොනවා ද, ඉහතින් සඳහන් කළ පරිදි ප්‍රථම කාර්යය වන්නේ ශ්‍රමයක වටිනාකම නිගමනය කිරීමයි. දෙවනුව ශ්‍රමිකයාගේ වටිනාකම සුරැකෙන පරිදි යාන්ත්‍රණයකට අනුව සෑම භාණ්ඩයකම සහ සේවාවකම මිල නියම කිරීම, තෙවනුව කළ යුතු වන්නේ වැටුප් සහ ආදායම් විෂමතා නිගමනය කිරීම, සිව්වනුව පාරිභෝගික විශ්වාසය තහවුරු වන පරිදි උසස් ලෙස භාණ්ඩ සහ සේවාවන් ප්‍රමිතිගත කිරීම, පස්වනුව කළ යුතු වන්නේ මුදලට ගෙවන සියලුම පොලී ප්‍රතිශතයන් ශුන්‍ය කරලීම, හයවනුව කළ යුතු වන්නේ රජය අපේක්ෂිත ආදායම ආවරණය වන පරිදි බදු ප්‍රතිපත්ති සැකසීම, හත්වනුව කළ යුතු වන්නේ රට ස්වයංපෝෂිත වන පරිදි ආනයන අපනයන ප්‍රතිපත්ති සැකසීම, අටවනුව කළ යුතු වන්නේ පිංපඩි ඇතුළු සියලු දීමනා නතර කර දෙපයින් නැගීසිටින පුරවැසියෙකු නිර්මාණය වන පරිදි අදාළ වටපිටාව සැකසීම, නව වෙනියට කළ යුතු වන්නේ අනවශ්‍ය විය හියදම් නතර කර ඵලදායීව යෙදවීම සඳහා ප්‍රමුඛතාවය හිමිකර දීම, අවසන් වශයෙන් කළ යුතු වන්නේ මෙම දේශපාලන න්‍යායපත්‍රයට අනුව ඉතාමත්ම සරල සෘජු සහ සමීපතම වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමයි.
මෙම තීන්දු තීරණ දහය එකවරම ගත යුතුය. මේ සඳහා කිසිදු බාධකයක් හෝ අවහිරයක් නැත. සැලසුම් කළ පසු මොහොතක්වත් කල් මරන්නට අවශ්‍ය නැත. නුහුරු නුපුරුදු සමාජයට මෙය මහත් කලබැගෑනියක් විය හැකි මුත් එය සාමාන්‍ය ස්වභාවයයි. එහෙත් එය බත ඉදෙන තුරු කුටුම්භය තුළ හටගන්නා පුංචි කලබලය බඳුය. නිසි ඵලය වහාම එළැඹුන කල සියල්ල නිරාකරණය වන බවට සැකයක් නැත. මෙම ක්‍රමය සමකළ හැකි වන්නේ එදා බුදුසමය කියාදුන් හතරෙන් එකක් භුක්ති විඳ දෙකක් ආයෝජනය කර ඉතිරි කොටස මතු ආපදාවකදී ප්‍රයෝජනයට ගන්නට හැකිවන පරිදි සැකසෙන ආර්ථික දේශපාලන සමාජ විද්‍යා ප්‍රවේශ ලෙසමය.
● බී.එම්.එස්. බාලසූරිය