බහුචිතවාදියා
මාලක දේවප්‍රියගේ බහුචිතවාදියා චිත්‍රපටිය මේ දිනවල සිනමාහල්වල තිරගත වෙනවා. ශ්‍රී ලාංකික සිනමාවේ නව පිබිදීමක් සහ නව රැල්ලක් ගැන කතා කරන අල්ල පනල්ලේ මාලකගේ චිත්‍රපටිය ශ්‍රී ලාංකික සිනමාවට වැදගත්ම එකතු කිරීමක්. සිනමාහල්වලට ගොස් රාණි, නෙළුම් කුළුණ හෝ වාලම්පුරි යනාදී නව දහරාවේ චිත්‍රපටි නැරඹූ ප්‍රේක්ෂකයන්ට බහුචිතවාදියා චිත්‍රපටියෙනුත් එකතු කරන්නේ හුදු සිනමා රසය නෙවෙයි.
චිත්‍රපටියේ කතාව සරලයි. සසිත නම් වූ තරුණයකුගේ ජීවිතය වටේට චිත්‍රපටිය ගලා යනවා. කළණ ගුණසේකර සසිතගේ චරිතය ඉදිරිපත් කරනවා.
සසිත ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ බෙදාහැරීමේ සේවාවක් පවත්වාගෙන යන ආයතනයක සේවය කරනවා. කුඩා ආයතනයක් වන එහි පරිගණකයෙන් ඒ ඇණවුම් භාරගැනීමත්, ඒවා මෝටර් සයිකලයෙන් ගොස් බෙදාහැරීමත් ඔහුගේ රස්සාව. සසිතට මේ රැකියාවේදී මෙරට සිටින පුද්ගලයන්ට විවිධ ත්‍යාග එවන විදේශගත තනිකඩ කාන්තාවන් මුණගැසෙනවා. එමෙන්ම ඔන්ලයින් ක්‍රමයට එලෙස ත්‍යාග ලබන මෙරට තනි වී සිටින කාන්තාවන්ද මුණගැසෙනවා. තමන්ට වඩා වැඩිමහල් කාන්තාවන්, විවිධ සමාජ පංතීන්ට අයත් කාන්තාවන්, විවිධ මානසික මට්ටම්වල සිටින කාන්තාවන් එක්ක සසිත පෙම් සබඳතා ඇති කරගන්නවා. ඔහු උත්සාහ කරන්නේ මේ සම්බන්ධතා පාවිච්චි කරමින් මුදල් උපයන්නයි. දියුණුව හොයා යන්නයි. හැකි නම් විදේශගත කාන්තාවන් හා විවාහ වී ඒ රටට පැනගන්නයි. ඔහුට හැම කාන්තාවක්ම හුදෙක් ලිංගිකමය සහ ප්‍රේමණීය සම්බන්ධයක් පමණක් නෙවෙයි. ඒ හැම සම්බන්ධයක්ම අනෙකාව රවටා කෙසේ හෝ තමන්ට අවශ්‍ය දේ ලබාගැනීමට මාවතක්.
වීණා ජයකොඩි ඉදිරිපත් කරන අයිරාංගනිගේ චරිතය ඒ අතර සිටින වැඩිමහල් කාන්තාවක්. සමනලී ෆොන්සේකා කුමාරි නම් වූ ලංකාවේ සිටින ඉතා තරුණ එක්දරු මවක්. දමිතා අබේරත්න කාන්ති නම් වූ විදේශගත රැකියාවක යෙදෙන්නියක්. මේ එක් එක් කාන්තාවන් සසිතගෙනුත් යමක් බලාපොරොත්තු වෙනවා. ඇතැමෙකුට හුදෙක් පාළුව මකමින් රාගික සම්බන්ධයක් පවත්වාගෙන යන්නට පමණක් ඕනෑ. තව අයට තමන්ගේ ජීවිතයේ පාළුව මකාගනු පිණිස සසිත හා විවාහ වෙන්න ඕනෑ. ඒ සියලු දෙනා තමන්ට වැටහෙන ආකාරයට තමන්ගේ ජීවිතයේ හිස්කමක් මකාගැනීමට සසිත සොයා එනවා. සසිතගේ හිස්කම වර්තමාන සමාජයේ ඕනෑ තරුණයකුගේ එකම ඉලක්කය. දියුණුව. ආර්ථික ලාභය. ඉණිමගේ ඉහළට නැග යෑම. ඒ වෙනුවෙන් වෙහෙස වී වැඩ කරනවා වෙනුවට අද මන්ත්‍රය වී තිබෙන්නේ මොකක් හෝ ගේමක් ගැසීම.
මේ සියලු අර්බුද මැද අන්තර්ජාලය. මේ විවිධාකාර හිස්තැන් තියෙන මිනිසුන් ක්ෂණයෙන් සම්බන්ධ කරන අන්තර්ජාලය පවතිනවා.
බහුචිතවාදියා චිත්‍රපටිය ඓතිහාසික වෘතාන්ත චිත්‍රපටියක්. සාමාන්‍යයෙන් ඓතිහාසික වෘතාන්ත බිහිවෙන්නේ දශක ගණනක් හෝ වසර සිය ගණනක් පැරණි ඉතිහාසය තේමා කරගනිමිනුයි. අප රජ කාලයේ කතා මෙන්ම යටතේ විජිත සමයේ කතා පවා දේශීය සිනමාව තුළ දැක තිබෙනවා. එහෙත් වසර 15කට පෙර සමාජය ගැන යළි කතා කරන ඓතිහාසික වෘතාන්තයක් අපට මුණගැසෙන්නේ නැති තරම්. බහුචිතවාදියා නිර්මාණය කරන්නට පටන් ගනිද්දී සිතාමතා නිර්මාණකරුවන් ඓතිහාසික වෘතාන්තයක් නිර්මාණය කළා නෙවෙයි. ඔවුන් සමකාලීන සමාජය ගැනයි කතා කරන්නට පටන් ගත්තේ. ඒත් සිනමා කර්මාන්තයේ ගැටලු බොහොමයක් නිසා චිත්‍රපටිය තිරගත වීම ප්‍රමාද වී අතීත කතාවක් රැගත් වර්තමාන චිත්‍රපටියක් බවට පත්වෙලා. බහුචිතවාදියා රාජපක්ෂ පාලන සමය ගැන මහින්ද චින්තන යුගයේ කළ නිර්මාණයක් නෙවෙයි. දැන් ඒ යුගය අවසන්ව යහපාලන යුගයත් පසුකොට, වැඩ කරන මිනිසාගේ යුගයත් අවසන් වී සහ අරගල යුගයක් මෙන්ම අයිඑම්එෆ්- රාජපක්ෂ- රනිල් යුගයත් ගෙවී ගොස් හමාරයි. බහුචිතවාදියා කියන්නේ පොහොසත් රටක සිට මහින්ද චින්තන යුගය දෙස හැරී බලන්නට ආරාධනාවක්.
එය ස්කයිප් තාක්ෂණයෙන් අන්තර්ජාලයේ කතාබහස් කළ යුගය. එය සියල්ලන් අත අන්තර්ජාල සම්බන්ධතා සහිත ස්මාර්ට් ෆෝන් නොතිබුණු යුගය. ෆේස්බුක් සමාජයේ ජනප්‍රියත්වය ලබමින් සිටි සමය. අන්තර්ජාලගත වී ස්කයිප් හෝ ෆේස්බුක් හා සම්බන්ධ වීමට නම් ඉන්ටර්නෙට් කැෆේ එකකට තරුණ තරුණියන් ගිය යුගය.

එවැනි සමයක තමයි සසිතට තමන්ගේ රැකියාව හරහා ඕනෑ තරම් අන්තර්ජාලයෙන් පුද්ගලයන් හා සම්බන්ධ වෙන්නට ටිකට්පතක් ලැබෙන්නේ.
සසිතගේ කතාව දිගහැරෙන්නේ තාක්ෂණය අතින් උඩ කී කරුණු පසුබිම් කරගෙන පමණක්ම නෙවෙයි. ඊට අමතරව එය දොරමඬලා යුගය. එය බෞද්ධයා නාළිකාවේ බණ අසන යුගය. නෙළුම් කුළුණ හැදෙමින් පැවති කාලය. ඒ වෙද්දී සමාජ දේහය තුළ අධිවේගයෙන් වර්ධනය වෙමින් පැවැති ආර්ථිකමය, සමාජමය අසහනය පුපුරා යන්නට කලින් ඒ පුපුරායෑම ගැන හරිහැටි දකින්න නොතිබුණු කාලය.
බ්ලැක් මිරර් නම් වූ නෙට්ෆ්ලික්ස් කතා මාලාවක් තිබෙනවා. ඒ කතා මාලාවේ කතා කරන්නේ අන්තර්ජාලය, සමාජ මාධ්‍ය, කෘත්‍රිම බුද්ධිය, කෘත්‍රිම යථාර්ථයන් සහ අනෙකුත් තාක්ෂණිකාංගවල නුදුරු අනාගතයේදී ලබන දියුණුව හමුවේ සමාජය ගැන. ඒ කියන්නේ වෙනත් විද්‍යා ප්‍රබන්ධ, අනාගතවාදී චිත්‍රපටිවල වාගේ දශක ගාණකින් ඈත අනාගතය දෙස වෙනුවට තව අවුරුදු පහකින් දහයකින් යථාර්ථයක් විය හැකි තාක්ෂණිකාංග මනුෂ්‍ය ජීවිතවලට බලපාන අන්දම බ්ලැක් මිරර් කතා මාලාවේ තේමා කරගෙන තිබෙනවා.
මාලක කර ඇත්තේ එහි අනෙක් පැත්ත. ඔහු කතා කරන්නේ අවුරුදු පහළොවකට කලින් අතීතය ගැන. චිත්‍රපටියේ රඟන කළණ ගුණසේකරගේ පෙනුම මෙන්ම කැමරාකරණය වර්ණ සංයෝජනය යනාදී සියල්ලෙන් ඒ යුගය චිත්‍රපටිය තුළ මැවෙනවා. ඒ අතීතය දකින්න ලැබෙනවා. අපට ඒ සමාජය දෙස හැරී බලා වෙනස්කම් සහ සමානකම් ගැන කල්පනා කරන්නට ඉඩ ලැබෙනවා. ප්‍රේක්ෂකාගාරයට නොස්තැල්ජියානු සිනමා රසයක් එයින් ලැබෙනවා.
මාලක චිත්‍රපටියේ කතා කරන තේමා සියල්ල අතරින්, ලියුම්කරුට වැදගත්ම තේමාව වන්නේ ආදරය. වඩා නිවැරදිව කීවොත් ප්‍රේමය රඟපා පෙන්වීම. එය සසික පමණක් නොව අපේ පරම්පරාවම අඩු වැඩි වශයෙන් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් කරනවා.
සසිත උත්සාහ කරන්නේ එකිනෙකට වෙනස් ගැහැනු ගොඩකට තමන් දැඩිව ආදරය කරන බව එකම වෙලාවේ පෙන්වන්නට උත්සාහ ගැනීම. ඔහු එයට පාවිච්චි කරන්නේ ප්‍රේමයේ භාෂාව.
ඇත්තටම ප්‍රේමයට වෙනම භාෂාවක් තිබෙනවා. වෙන කිසි කෙනෙකු සමග ඔබ පාවිච්චි නොකරන වචන ප්‍රේමයේදී පාවිච්චි කරනවා. ඔබේ බැල්ම ප්‍රේමයේදී වෙනස්. ඔබ හැසිරීම් විලාසය ප්‍රේමයේදී වෙනස්.
එහෙත් අප කුඩා කාලයේ සිට ඉගෙනගන්නා ඒ ප්‍රේමයේ භාෂාව සැබෑ ප්‍රේමයේ ගැඹුර වෙනුවට පැවැත්ම වෙනුවෙන් වූ රැවටිලිකාර භාෂාවකට මාරු වෙලා. ප්‍රේමයේ භාෂාවත් පාවිච්චි කළ හැකි භාණ්ඩයක් වෙලා. ඇත්තටම අන්තර්ජාල යුගය තුළ හැම මනුස්සයෙක්ම තිරය මත දිස්වෙන ද්විමාන රූප හෝ දත්ත බවට පත්වෙලා. පූර්ණ මනුෂ්‍ය සම්බන්ධතා වෙනුවට ඒ ඒ සම්බන්ධතාවල අපේක්ෂාව කුමන හෝ ආකාරයට තම තමන්ගේ ලෝක පුරවාගැනීම.
සසිත තරම්ම දරුණු ලෙස නැතත්, තම තමන්ගේ මට්ටමින් අපේ පරම්පරාවම මේ අවභාවිතය කරනවා. අප සියලුදෙනා තුළ බහුචිතවාදීන් ඉන්නවා.
ප්‍රේමය උදෙසා වූ ඒ භාෂාව පැවැත්ම වෙනුවෙන් යොදාගන්න සිද්ධවෙලා තියෙනවා. සසිත විදේශ රැකියාවක් සොයාගෙන ගොඩ යන්නට පාවිච්චි කරන මේ භාෂාවම අද ආයතනවල වැඩ කරන තරුණියකට සිය ප්‍රධානියා ඉදිරියේ ඔහුගේ ආශාවේ වස්තුව ලෙස පැවතීමට නම් ප්‍රේමයේ භාෂාව පාවිච්චි කරන්නට සිද්ධ වෙනවා. අනෙක් කවුරු නැතත් ප්‍රධානියා විහිළුවක් කළොත් සිනහසෙන්නට සිදු වෙනවා. රක්ෂණයක් විකුණාගන්නට රක්ෂණ තැරැව්කරුවකු මෙන්ම තව බොහෝ දේ අලෙවි කරන අලෙවිකරුවන් තම තමන්ගේ සේවාදායකයන් හා ප්‍රේමයේ රසායනයක් ගොඩනගාගන්නට උත්සාහ කරනවා. විශේෂයෙන් තමන්ට බලවත් අයව, තමන්ගේ වාසියට අවැසි අයව වසඟයට ගැනීමට තමන්ගේම ඇති ප්‍රේමයේ භාෂාව පාවිච්චි කරනවා. ඒ නිසාම තමන්ට විකුණන්නට හැකි දේවල් අතරට තමන්ගේ ආදරයේ භාෂාවත් එකතු වෙනවා. තමන් සතු උපාධි සහතික, තමන්ගේ බුද්ධිය, තමන්ගේ හැකියාවන් මෙන්ම අනෙකා වසඟයට ගැනීමට ඇති හැකියාව තමන් සතු උපකරණයක් බවට පත්වෙනවා.
අද අන්තර්ජාලය තුළ රතුපැහැ හදවතක් රැගත් ප්‍රේමයේ සංකේතයෙන් ප්‍රතිචාරයක් නාඳුනන අය වෙත පවා යවන්නට කිසිවෙක් පසුබට වෙන්නේ නෑ. ඒක ප්‍රේමයට විතරක් වෙන් වූ සංකේතයක් නෙවෙයි. මැණික, වස්තුව, බබා වගේ වචන පවා අපි ඔහේ පාවිච්චි කරනවා.
පිරිමි ගැහැනු තම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් සවිඥාණිකව හෝ අවිඥානිකව ප්‍රේමය පැත්තට බර වූ සල්ලාපවල යෙදෙනවා. චැට් කරනවා, පුද්ගලිකත්වය දිගහරිනවා. ප්‍රේමයට පමණක් අයත් විය යුතු වූ බොහෝ දේවල් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් වෙනත් අය ඉදිරියට ගෙනත් අත්හරිනවා. සැබෑ මනුෂ්‍ය සම්බන්ධතාවලට ඉහළින් පැවැත්ම, උන්නතිය පවතිනවා. හැමෝම හැඟීම් රඟපානවා. හැඟීම් රඟපා පෙන්වනවා.
ආදරණීය ලෙස කතාබහ කිරීම, ප්‍රේමණීය වීම වරදක් නෙවෙයි. එහෙත්, ක්‍රමක්‍රමයෙන් එය නරුමවාදයක් බවට පත්වෙනවා. බහුචිතවාදියා කියන්නේ නරුමවාදියෙක්.
එහෙත් ප්‍රේමයේ භාෂාව එලෙස පාවිච්චි කළ හැකිද? සැබෑ ප්‍රේමය අහිමි වූ පසු අප ජීවිත හිස් වෙනවා. කාටවත් ඇත්තටම ආදරය කරන්නේ කවුදැයි හඳුනාගන්න බැරි වෙනවා. බොරු කරන්නේ කවුද? ඇත්ත කියන්නේ කවුද? සීමා ඉරි මැකෙනවා.
ප්‍රේමයේ භාෂාව උන්නතිය වෙනුවෙන් පාවිච්චි කරන්නට ගත් සසිත සිතන්නේ තමන් අනෙකාව රවටන්නට තමන්ට හැකිවුණා කියලයි. එහෙත්, ඔහු ඒ හැම සම්බන්ධතාවකම ඔහුත් නොදැන ගිලී ගිහින්. චිත්‍රපටියේ එක් දර්ශනයක එක් සම්බන්ධයක් හැරයන්නට බැරිව ඔහු වැළපෙන හැටි අප සියලුදෙනාම පුදුමයට පත් කරන්නේ ඒ නිසයි.
ඒ වගේම ඒ හැම සම්බන්ධයක්ම සිතාගන්නට බැරි වේගයෙන් බිඳවැටෙන අන්දමත් ඒ සියල්ලෙහි ඇති ව්‍යාජය පෙන්වනවා.
ඔහු තමන්ගේ දිවි ගැටගසාගැනීම වෙනුවෙන් පෙම් බස අවභාවිත කරන්නට පටන් ගත්තාට පසු ඔහුගේ සැබෑ පෙම්වතිය හා කතා කරන්නට භාෂාවක් ඔහුට ඉතිරි වන්නේ නැහැ. බබා, පැටියෝ, මැණික යනාදී බොළඳ වචනවල සිට, හාදු, රාග සබඳතා මෙන්ම වාචික පොරොන්දු පවා ඔහුගේම හිත තුළ සැබෑ ප්‍රේමණීය හැඟීමක් උපදවන්නේ නැහැ. ඒ නිසා ඔහුට සිදු වෙනවා වෙනත් කිසිවෙකුට නොකරන ආකාරයේ විපරීත නැටුම්, විකාර රංගනයන් පාමින් සිය සැබෑ පෙම්වතියට තමන්ගේ ප්‍රේමය ප්‍රකාශ කරන්නට විපරීත භාෂාවක් පාවිච්චි කරන්නට. ඔහු සිය පැවැත්ම වෙනුවෙන් විවිධ පෙම්වතියන් හා එකදිගට කතා කරද්දී ඔහුගේ ඇස්වල හැඟීම් මැරී ගිහින්. ඔහු කිසිදු හැඟීමක් නැතිව හිස පසෙකට ඇල කරගෙන ව්‍යාජ ප්‍රේම රංගනයේ යෙදෙන්නේ කරන්නට ඕනෑවට වාගෙයි.
මෙයාකාරයෙන් බහුචිතවාදියා කියා පාන්නේ අද තාරුණ්‍යය මුහුණපාන ආදරය අහිමිවීමේ අර්බුදය. එය දෘෂ්ටිවාදයක් බවටත් පත්වෙලා. හැමෝම අගයන්නේ ගේමක් ගසා ගොඩයෑම. පිරිමි අගයන්නේ ප්‍රේමයෙහි නොගැලී, නොසැලී, ප්‍රේමයත් නොතකා හිත ශක්තිමත් කොටගෙන උන්නතියම හඹා යෑම. කිසිවෙක් කිසිවකට අවංකව කැපවෙන්නේත් නැහැ. රැකියාවකටවත්, අරමුණකටවත්, පුද්ගලයකුටවත් කැපවෙන්නේ නැහැ.
මේ සියල්ල මැද චිත්‍රපටියේ වියපත් වාමාංශිකයකු ඉන්නවා. මාලක දේවප්‍රිය ධර්මසේන පතිරාජගේ සමීපම මිත්‍රයෙක් සහ යම් ආකාරයකට ශිෂ්‍යයකු ලෙස හැඳින්විය හැකියි. මාලක පතී හා වැඩ කළ පතීගේ හිත මිත්‍රයෙකු චිත්‍රපටියට කැඳවා තිබෙනවා. ඒ ලක්ෂ්මන් මෙන්ඩිස්. පතීගේ යුගයේ සිටි පන්නයේ වාමාංශිකයකුගේ චරිතය ලක්ෂ්මන් මෙන්ඩිස්ගේ චරිතය රඟපානවා. චිත්‍රපටිය පුරාවට නරුමවාදියකු නොවන මිනිසෙකු ලෙසයි අප ඔහුව දකින්නේ. ඒත්, චිත්‍රපටිය අවසන් වෙද්දී වාමාංශිකයාට සිදුව ඇති දෙයක්, ඒ දෘෂ්ටිවාදය මේ නරුමවාදය හමුවේ පත්ව ඇති තත්ත්වයත් මනාව පෙන්වනවා. වාමාංශිකයන්ද, ඒ නරුමවාදයේම ගොදුරක් වී තිබෙන හැටි පෙන්වනවා.
ලාංකික සිනමාව අලුතින් ආහ්ලාදයෙන් වැළඳගන්නා ප්‍රේක්ෂක ප්‍රජාව බහුචිතවාදියා නැරඹිය යුතුමයි. ඒ, බහුචිතවාදියා තමන්වම කියවාගැනීමට අපට යෝජනා කරන නිසායි. ස්කයිප් යුගය පසු වුණත්, ඒ යුගයේ ජීවිතය ඊටත් වඩා බරපතල සේ අප හමුවේ තිබෙන අන්දම බහුචිතවාදියා පෙන්වනවා.
තරිඳු උඩුවරගෙදර