සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායක සූරීහු ඉකුත් ජුනි 13 වැනිදා (2025.06.13) කොළඹ විශ්වවිද්‍යාලයෙහි ආචාර්ය මහාචාර්යවරුන් ප්‍රමුඛ විද්වතුන්ගේ ගෞරව උපහාරයට ලක්වන්නාහු ඔවුන් විසින් අඩ සියවසක් ඉක්මවා අපේ භාෂා සාහිත්‍ය, සංස්කෘතික හා ජනමාධ්‍ය ක්ෂේත්‍රවලට කරන ලද සම්ප්‍රදානයන් අරබයාය. උපහාර මඤ්ජරී නමැති අභිනන්දන ග්‍රන්ථයක් ද ඔවුන්ට පිදුණි. එතුමන්ගේ ජීවතයෙන් බිඳක් මෙන්ම ශාස්ත්‍රීය සේවයෙන් ස්වල්පයක් ද එහි සඳහන් විය. එවන් මහා ඇගැයුමකින් පසු එතුමන් පිළිබඳව අමුතුවෙන් ලියන්ට හෝ කියන්ට දෙයක් නැති බව ද ඇත්තය. එහෙත් ජනමාධ්‍ය හා සංස්කෘතික ක්ෂේත්‍රවල එතුමන් විසින් කරන ලද සුවිශේෂ කාර්යභාරයක් ද විය. පළමුවැන්න සිංහල පුවත්පත්වල භාෂාව සම්බන්ධයෙන් දැක්වූ අවධානයයි. අනෙක අපේ ජාතික සංස්කෘතික උරුමයන් කෙරෙහි ඔවුන් තුළ වූ සංවේදී භාවයයි. මෙය නිසැකයෙන්ම ශාස්ත්‍රීය මෙහෙවරකි. මන්දයත් සිංහල භාෂාව විකෘති කිරීම්, පළමුව පොදු ජනයාට ද දෙවනුව පාසලේ සිට විශ්වවිද්‍යාල දක්වා ද ඒවා බලපාන හෙයිනි.
මා දන්නා තරමින් අසූව දශකය අවසානයේදී පමණ ජනමාධ්‍යවේදීන් සඳහා විශ්වවිද්‍යාලයෙහි ඩිප්ලෝමා පාඨමාලාවක් ඇරඹීම සඳහා එතුමාගේ දායකත්වය ද කැපී පෙනුණි. පත්‍රකලා සංගමයේ සභාපතිවරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ පුවත්පත් කතුවරයකු ද වූ ඩී.එෆ්. කාරියකරවන සූරීහු ද මෙහිදී ප්‍රමුඛ මෙහෙවරක නිරත වූහ. නිවැරදි බස්වහරක් උදසො වූ එය විධිමත්ව පවත්වාගෙන යෑමට අනුබල දුන් තවත් විශ්වවිද්‍යාල ආචාර්යවරු ද වූහ. මේ රටේ ඇතැම් අය කල්පනා කරන්නේ සිංහල පත්‍ර කලාවේදියකු වීමට ශාස්ත්‍රාලීය උගත්කමක් හෝ භාෂා ඥානයක් අනවශ්‍ය බවය. අපොස විභාගයේදී සිංහල භාෂාව සමත්වීම ප්‍රමාණවත් යැයි ද ඔවුහු කල්පනා කරති. එහෙත් සිංහල බස හඩු බසක් ලෙස භාවිත කරන එබඳු අල්පශ්‍රැත අල්පපඨිත විකටයෝ බස පමණක් නොව දෙස රැස ද අනතුරේ දැමූහ. එබඳු මාධ්‍යවේදීන්ගේ අරමුණ වූයේ ද දෙස බස රැස නොව කුස පමණි. මහාචාර්ය ජේ.බී. ගේ මැදිහත්වීම් නිසා බස සුබසක් සේ වැඩුණි.
මෙහිදී මගේ මතකයට එන තවත් කරුණක් ද ඇත. ඒ එදා සම්මත සිංහලය අරබයා උද්ගත වූ සංවාදයයි. සිංහල බස සුරැකීම සඳහා සම්මතයක් වුවමනා බව එදා පැවැති ඩඩ්ලි සේනානායක රජයේ (1965) අධ්‍යාපන ඇමැති අයි. එම්. ආර්. ඊරියගොල්ල මහතා යෝජනා කර ඇත. ඒ අනුව පත් කරන ලද සම්මත සිංහල කමිටුවේ සභාපති ධුරය හිමි වූයේ සිංහල මහාචාර්යවරයකු වූ ඩී. ඊ. හෙට්ටිආරච්චි සූරීන්ටය. ප්‍රකට හිමිවරු හා වෙනත් විද්වත්හු ද එයට අයත් වූහ. එහෙත් මේ කමිටුව හෙළ හවුලට වඩාත් නැඹුරු වූ බවට විවෘත චෝදනාවක් ද විය. කුමක් වුවත් මේ කමිටුවට අනුග්‍රහය නොදැක්විය යුතු බව එදා දිනමිණ හා සිළුමිණ කතුවරුන්ගේ නිගමනය විය. විශේෂයෙන් අධ්‍යාපන ඇමැතිවරයාට විශ්වවිද්‍යාලවල මෙන්ම පුවත්පත් කලාවේදීන්ගේ ප්‍රසාදයක් ද එදා නොවීය.
මහාචාර්ය ජේ.බී. ද එදා බස් සටන සඳහා ඍජුවම දායක වූ අතර ඔවුන් නියෝජනය කළේ සම්මත සිංහල විරෝධී කඳවුරය. බස පිළිබඳ එකල තිබුණු මතභේද බොහෝය. පිරිසක් ‘හෙළ බස’ සුරැකීමේ භාෂා ප්‍රේමීහු ලෙස විශ්වවිද්‍යාලවල භාෂා සාහිත්‍ය කෙරෙහි දැඩි අප්‍රසාදයකින් ද පසු වූහ. විශ්වවිද්‍යාලවලින් බස සංකර කරන බව ද ඔවුන්ගේ චෝදනාව විය. මේ සටනට මැදි වූ මහාචාර්ය ජේ.බී. පළ කළ අදහස් බොහෝ විද්වත්හු ද අනුමත කළහ. යම් බසකට අලුතින් වචන එක්වන බවත් එබඳු ප්‍රයෝග භාෂා රටාව සමග පෑහිය යුතු නම් එහි වරදක් නොවන බව ද මහාචාර්ය ජේ.බී. පැවසූහ. ඒ වනවිටත් අපේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සෝදාපාළුවට – පාංශු ඛාදනය කියා ද ඉස්කුරුප්පු ඇණයට සංකීර්ණ ඊලය කියා ද පොල් තුරියට – නාරිකේරළ මනිබද්ද පුෂ්ප චක්‍රය කියා ද වචන වාත්තු කර තිබුණි. සම්මත සිංහලය එතැනින්ම අභාවයට ගිය බව අප අසා තිබේ. ඇතැම් කරුණු මහාචාර්ය ජේ. බී. ද අපට කීහ.
මෙහි නියත ඵලය වූයේ මහාචාර්ය ජේ. බී. පුවත්පත් කලාවේදීන්ගේ මිත්‍ර සමාගමට ඇතුළත් වීමය. එපමණක් නොව පසුකාලීනව පත්‍ර කලා සංගමයේ ප්‍රමුඛයකු මෙන්ම භාෂා ප්‍රේමියකු ලෙස සටන් කළ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කතුවරයකු වූඩී. එෆ්. කාරියකරවන මහතා සමග විශ්වවිද්‍යාල මට්ටමේ මාධ්‍යවේදී ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කිරීමට ද මහාචාර්ය ජේ. බී. මුල්වීමය. කාරියකරවනගේ දශක සතක මතක නමැති කෘතියෙහි එම පාඨමාලාව ගැන මහාචාර්ය ජේ. බී. ට ප්‍රශංසාවක් ද පිරිනමා ඇත. ඇත්ත වශයෙන්ම තවමත් මෙරටේ ජනමාධ්‍ය ආයතනයක් විධිමත්ව ස්ථාපිත කර ගැනීමට නොහැකිව තිබේ. අතීතයේ සිදුවූයේත් අද වන්නේත් ජනමාධ්‍ය ඇමැති ලෙස පත්වන අය ඒ පිළිබඳ සිහින මන්දිර ඉදිකිරීමක් පමණි. රාජ්‍ය මාධ්‍ය අධිකාරයක් ගොඩනැඟීමටත් ඒවා දේශපාලන පත්වීම් මගින් පුරවාලීමටත් ඒ ඒ පාලකයන් විසින් ගන්නා ලද උත්සාහය ගැන කතාකළ යුතු ද නැත. කුමක් වුවත් මේ පුවත්පත් කලාවේදියාට සමාජ පිළිගැනීමක් හෝ ලබාදීමට මුල් වූ ස්වල්ප දෙනා අතර මහාචාර්ය ජේ. බී. ද සිටියි.
මහාචාර්ය ජේ. බී. හා පුවත්පත් කලාවේදීන් අතර වූ බැඳියාවන් ද බොහෝ විය. මුලදී පුවත්පත් සමග වූ ඒ ඇයි හොඳයිකම පසුව ගුවන් විදුලිය හා රූපවාහිනිය දක්වා ද ව්‍යාප්ත විය. ඉතා සැකෙවින් කිවහොත් ජේ. බී. යනු මාධ්‍ය සමාජයේ සුපිරි තරුව බවට පත්විය. අපගේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වූ එඩ්වින් ආරියදාසයෝ ජේ. බී. යන දෙඅකුර නිර්වචනය කළාහු ජන – බස් පිරිස ද දත් වෙසරදයකු ලෙසය. ජේ. බී. යනු ජනබස විනා අන් දෙයක් නොවන බවය. ඇත්ත වශයෙන්ම ජේ. බී. දිසානායක යන නාමය භාවිත වූ ආකාරය පිළිබඳව ද රසවත් කතාවක් ඇත. අප අසා තිබෙන ආකාරයට ඔහුගේ සම්පූර්ණ නම වන්නේ රාජපක්ෂ රාජකරුණා මහවාසල දුක්ගන්නා දිසානායක මුදියන්සේලාගේ ජයරත්න බංඩා දිසානායක යන නම ඔහුට උපතින් ලැබී ඇත. විශ්වවිද්‍යාලයේදී උපාධි ප්‍රදානෝත්සවයේදී උපාධි සහතිකය ලිවීම සඳහා යොදාගත් අකුරු ප්‍රමාණය වුවද වැඩිවී ඇත. පසුව ඒ සියල්ල වෙනුවට ජේ.බී. දිසානායක යන නම යොදාගෙන ඇත. මේ පෙළපත් නාමයට අනුව නම් දිසානායක යනු මහවාසල දුක්ගත් රාජකරුණාව ද ලැබූ පරපුරකි.
කෙසේ හෝ ඔවුන්ට දුක්ඛ සෙයියා – දුර්භොජන ඉවසීමට සිදුව ඇත්තේ සිංහල බසත් – ඒ හා බැඳි සංස්කෘතියත් වෙනුවෙන් බව ද අපට හැඟෙයි. මහාචාර්ය ජේ. බී. ස්වකීය ශාස්ත්‍රාලීය පර්යේෂණ හැදෑරීම්වලට අමතරව සිංහල බස හා සංස්කෘතික අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටීම ද සුවිශේෂ කරුණක් විය. සිංහල බසට නොවෙනස් වන වියරණයක් හා භාවිතයක් යෝජනා කළ ඇතැම් භාෂා ප්‍රේමී සංවිධාන ද එකල විය. එහෙත් මුනිදාස කුමාරතුංගයන්ට එවැනි මනදොළක් නොවීය. මාර්ටින් වික්‍රමසිංහයන් ද වරක් ප්‍රකාශ කළේ ව්‍යාකරණ විවරණය හෝ ක්‍රියා විවරණය අවිචාරයෙන් ගෙන ඒ නීතිරීති පාසල් දරුවන්ට බලෙන් ඉගැන්වීමෙන් ඔවුන්ට සිංහල බස ද තිත්ත විය හැකි බවය.
මහාචාර්ය ජේ. බී. මේ සම්මත භාෂා ප්‍රේමීන් සමග එකඟ නොවීය. කටබස හා හදබස සිංහල ගiයට උචිත බව සමහරුන්ගේ අදහසක් වුවත් හෙළ හවුලේම ඇතැම්හු එයට එරෙහි වූහ. සිදත් සඟරාව මත පදනම් වූ ව්‍යාකරණය භාෂාවේ වර්ධනයට හරස් වන බව මහාචාර්ය ජේ.බී. ඍජුවම කීහ. නූතන වාග් විද්‍යාඥයා උසස් කොට සලකනු ලබන ඇතැම් සංකල්පයන්ට බෙහෙවින් සමාන අදහස් ව්‍යාකරණ විවරණයෙහි හමුවන බව ද මහාචාර්ය ජේ.බී. අවධාරණය කර ඇත. ඇත්තටම වියරණය යනු බමුණු පඬිවරුන්ගේ ශුද්ධ වස්තුවක් නොවන බව තහවුරු කිරීමට මහාචාර්ය ජේ.බී. කැපවිය.
ජනබස නැතහොත් කටවහර අවියක් හෝ නොමනා එකක් නොවන බව මහාචාර්ය ජේ. බී. බොහෝවිට ජනමාධ්‍ය වැඩමුළුවලදී පැවසූ අයුරු අපට මතකය. ඒ හැර එවක තිබුණු සිංහල පුවත්පත්වලට ද ජනවහර පිළිබඳ විවිධ ලිපි පවා පළකිරීමට මුල් විය. එකල අප කළ ඇරයුමකට අනුව ඔහු විසින් ලියන ලද ‘සියොලඟ රූ සොබා’ ලිපි මාලාව එදා අතිශය ජනප්‍රිය විය. මේ ලිපි මාලාව අවසන් කිරීම ගැන බොහෝ පාඨකයෝ කම්පා වූහ. සිංහල ජනබස ඒ ජනතාවගේ හදබස වීම කවර අරුමයක් ද? පොදු ජනයාගේ එනම් සාමාන්‍ය පාඨකයාගේ සිට විශ්වවිද්‍යාල ප්‍රජාව තෙක් පැතිර ගිය ඒ ලිපිමාලාව පිළිබඳ අප පුවත්පතට ලැබුණු ප්‍රතිචාර ද බොහෝ විය. අදත් බොහෝ විට වියරණය ද මරමින් සිංහල බසෙහි ඔද තෙද හා ගැඹුර නොදන්නා අයගේ ලිපි කොපමණ අපට කියැවීමට ලැබේද? ජනබස හා ජනවහර සුවියක් ලෙස යොදාගන්නා මාධ්‍ය සංස්කෘතියක් තවමත් අපට නැත. සම්භාව්‍ය සාහිත්‍ය හෝ සෞන්දර්ය කලා සමග අවියෝජනීය ලෙස බැඳී තිබුණ ජනමාධ්‍ය අද අයාලේ යන බවට චෝදනා පවා නැඟෙයි. සිංහල බසෙහි සාඩම්බරය අද වෙළඳ සමාජය විසින් බිද දමනු ලැබ ඇත. කලකට පෙර පුවත්පත, ගුවන් විදුලිය වැනි ආයතනවල මාධ්‍ය භාවිතයට ප්‍රමිතියක් මෙන්ම උසස් බවක් ද තිබුණි. අප මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන විටත් භාෂාවේ ප්‍රමුඛ මූලධර්ම පිළිබඳ සම්මුතියක් විය. එය සිව්වැදෑරුම් වූවකි. කියවීම හෙවත් පඨනය, ලිවීම හෙවත් ලේඛනය, කතාව හෙවත් භාෂණය, ඇසීම හෙවත් ශ්‍රවණය යනුවෙනි. මේ මූලධර්ම අධ්‍යාපනයෙහි ද භාෂාව ඉගැන්වීමේදී අවධානය යොමු වූවකි. අද මේවා ගැන අවබෝධයක් තිබේ ද යන්න අපි නොදනිමු. අද බොහෝවිට විiුත් මාධ්‍ය හසුරුවන නිවේදකයාට හෝ මුද්‍රිත මාධ්‍ය භාවිත කරන පුවත්පත් කලාවේදියාට හෝ ලේඛකයාට මේවා ගැන ඇත්තේ අනවබෝධයකි.
මහාචාර්ය ජේ.බී. ගේ මැදිහත්වීම් එදා මේ දුබලතා දුරුකර ගැනීමට ඉවහල් විය. වත්මන් අධ්‍යාපනයෙහි බිඳවැටීම් ගැන ද නිරන්තරව ඇසෙයි. එහෙත් මෙබඳු ශාස්ත්‍රීය මූලධර්ම නොදත් හෝ අමතක කළ මාධ්‍ය සංස්කෘතියක විපාක – විකෘතීන් කෙබඳු දැයි පාඨක සමාජය මැනවින් දනී. එහෙත් තමන් තරම් මාධ්‍ය විශේෂඥයෙක් ලොවෙත් නැතැයි යන අධිමානයෙන් මුලා වූවෝ ද සිටිති.
මහාචාර්ය ජේ.බී. ගේ ගුවන් විදුලි භූමිකාව පිළිබඳව ද සැකෙවින් හෝ යමක් සඳහන් කළ යුතුය. බොහෝ උපුටා ගැනීම් සහ සිහිපත් කිරීම් ද මෙහිදී ඉදිරිපත් කළ හැකිය. එහෙත් මෙවන් ලිපියකදී එබඳු අවකාශයක් ද නැත. එනිසා එක් ප්‍රකට නිදසුදනක් තෝරා ගනිමි. ඒ මහාචාර්ය ජේ.බී. විසින් ඉදිරිපත් කරන ලද ‘තුන්පත් රටා’ නමින් විකාශය වූ විචිත්‍රාංගයකි. ආදිවාසීන් තේමා කොටගත් එක් වැඩසටහනක් සඳහා මහාචාර්ය ජේ.බී. ට දිඹුලාගලට යෑමට සිදුව ඇත. ගුවන් විදුලි ශිල්පීන් ද කැටුව එහි ගොස් පටිගත කිරීම් ආරම්භ කර ඇත. (එකල ඒවාට තිබුණේ දිලිඳු තාක්ෂණ පහසුකම්ය) මෙහිදී ආදිවාසීන් සමග කතාබහ ආරම්භ කර ඇත. ඒ ජීවිතය හා ආහාර රටාව ආදී බොහෝ කරුණු පටිගත කරගන්නා ලද අතර ආදිවාසි නායකයාගෙන් මෙබඳු ප්‍රශ්නයක් ද විමසා ඇත.
‘ඒ කාලේ දඩයමේ යද්දී දුනු ඊතල වගෙ දේවල්නෙ යොදා ගත්තෙ. දැන් ඒව පාවිච්චි වෙන්නැද්ද?’
(මේ වනවිට ආදිවාසීන්ට මහවැලි ඉඩම් ලබාදීමේ ව්‍යාපෘතියක් අරඹා තිබුණි)
‘නෑනෙ මහත්තයො. ඒවා දීල දැම්ම. දැන් වැඩකුත් නෑනෙ.’
ගුවන් විදුලි නිවේදකයාගෙන් අතුරු ප්‍රශ්නය නැඟුණි.
‘එහෙනම් ඉතින් ඒ කාලෙ ලැබිච්ච හොඳ හොඳ අත්දැකීම් එහෙමත් ඇතිනෙ?’
‘ඒවත් ඔක්කොම දීල දැම්මා’
ආදිවාසියාගේ පිළිතුර විය.
මහාචාර්ය ජේ.බී. ඇතුළු අන් සියලු දෙනාටම සිනහව නවත්වා ගැනීමට නොහැකි වී ඇත. ඇත්තටම එහිදී ආදි වාසියා කල්පනා කරන්ට ඇත්තේ අත්දැකීම් යන්නත් දුනු, ඊතල වැනි ආයුධ විශේෂයක් බවය. මේ අපූර්ව උත්ප්‍රාසනීය සිදුවීම මහාචාර්ය ජේ.බී. පසුකාලීනව ලියූ ලිපියකට ද ඇතුළත් කර තිබුණි. සන්නිවේදනය යනු ගැඹුරු මෙන්ම ප්‍රබුද්ධ මනසකින් යුතුව භාවිත කළ යුතු මෙවලමක් බව ඔහුගේ උපදේශය විය. අද බහුලව විකාශය කෙරෙන වැඩසටහන්වල මෙවන් විකට ජවනිකා කෙතරම් දැකගත හැකිද?
ගුවන් විදුලිය විචිත්‍ර කළ මහාචාර්ය ජේ.බී. ගෙන් රූපවාහිනියට සිදුවූ සේවාව ද අප්‍රමාණ විය. රූපවාහිනියේදී ඔවුන් විසින් වැඩිපුරම කතාබහ කරන ලද්දේත් වියරණය නොව සංස්කෘතිය ගැනය. අලුත් අවුරුද්දට අවුරුදු සිරිත් සමග පුරාණ ගම්වලට අප රැගෙන යන මහාචාර්ය ජේ.බී. වෙසක් තෙමඟුල ගැන ද අගනා කතාවලින් ප්‍රේක්ෂකයා සනහාලයි. සිරිපාද වන්දනාව ගැන ද එහිදී සිහිපත් කෙරෙන ඒ සංවාද සරල මෙන්ම ශාස්ත්‍රීය බවින් ද පොහොසත් වේ. මේ සංස්කෘතික ආමන්ත්‍රණයෙහි විචිත්‍ර අවස්ථාවක් ලෙස මා දකින්නේ මහාචාර්ය ජේ.බී. විසින් ලියා එළිදක්වන ලද ‘රටක මහිම’ පොත් පෙළයි.
බොහෝවිට සිංහල බොදු – පොදු ජනයාගේ පුදබිම් බවට පත්ව තිබෙන ස්ථාන ගණනාවක් මේ පොත්වලින් හඳුන්වා දී ඇත. ජය ශ්‍රී මහා බෝධිය, රුවන්වැලිය, කැලණිය, ශ්‍රීපාදය ආදී පොදුජන වන්දනාවට නිමිති වූ ඒ ස්ථාන ගැන ජනප්‍රවාද ජනකවි ආදිය ද මුසු කෙරෙමින් ලියවුණු සරල පොත් මාලාව තුළින් අපට හමුවන්නේ සිංහල ව්‍යාකරණ පඬිවරයකු නොව ජනකතා, බණකතා කියන ඇසූපිරු තැන් ඇති උපාසකයෙකි. පොදු ජනයාට බණ කතා කියූ සද්ධර්මරත්නාවලිය ලියූ ධර්මසේන හාමුදුරුවන්ගේ පරපුරේ නූතනවාදී සන්නිවේදකයකු ලෙස මහාචාර්ය ජේ.බී. හැඳින්විය හැකිය. සිංහල භාෂාව හා ව්‍යාකරණය ගැන කතා කරන කිසිවකුට මුනිදාස කුමාරතුංග නාමය අමතක කළ නොහැකි වන්නා සේ මහාචාර්ය ජේ.බී. නාමය ද නොතකා හැරිය නොහැක්කේය. කුමාරතුංගයෝ සාහිත්‍ය නිර්මාණ කටයුතුවලට ද දායක වූහ. සම්භාව්‍ය සාහිත්‍යය කෘති සංස්කරණය කළහ. ළමා සාහිත්‍යයට අගනා නිර්මාණ සමූහයක් ද එක් කළහ. ‘පිය සමර’ නමැති විශිෂ්ට කාව්‍ය කෘතිය නිමවූහ. පුවත්පත් කතුවරයකු ලෙස ‘ලක්මිණි පහන’ පුවත්පත් ලොවට එක් කළහ.
මහාචාර්ය ජේ.බී. ද හුදු ව්‍යාකරණ සිද්ධාන්ත වනපොත් කළ ඇටුවක් බහින ලද ව්‍යාකරණඥයෙක් නොවීය. කිසිසේත්ම ගුරුකුල ඇදුරෙක් හෝ අටුවාටිකා ටිප්පණි බදාගත් අනුකාරක උගතකු ද නොවීය. සාහිත්‍ය කලාව පරිශීලනයෙන් සියුම් වූ ඔවුන්ගේ හදවත සුළඟින් සැලෙන වෙණ තතක් වැන්න. කවියකු කලාකරුවකු ලෙස සිය සමත්කම් පාසල් වියෙහිදීම දැක්වූ ඔහු රාවණ ගීත නාටකය රචනා කළේ උසස් පෙළ සිසුවකුව සිටියදීය. ඒ කොළඹ ආනන්ද විදුහලේදීය. (1957) එයට නිමිති වී ඇත්තේ 56දී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් නිර්මාණය කරන ලද ‘මනමේ අභිරංගය’ බව ද සඳහන් කර ඇත. සිංහල වේදිකාවේ නාට්‍ය ධර්මී ගණයට වැටෙන එබඳු නිර්මාණයක් ද කරමින් පසුව පේරාදෙණි සරසවියට පිවිසුනු මහාචාර්ය ජේ.බී. ගේ ඉරණම ලියැවී තිබුණේ සිංහල හා වාග් විද්‍යාව සමගය. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගෙන් නූතන සිංහල හා විචාර කලාව හැදෑරුවත් ඔහු ඇදී යන්නේ මෙරටේ අතිශය කීර්තිමත් වාග් විද්‍යාඥයකු වූ ම. ව. සුගතපාල ද සිල්වා වෙතටය.
මුනිදාස කුමාරතුංගයන් භාෂාවේදියකු ශාබ්දිකයකු ලෙස දකින අයට ඔවුන්ගේ කවිය, ළමා කතාව මග හැරේ. හා හා හරි හාවා සහ හත්පණ මගේ මතකය නිවයි. මහාචාර්ය ජේ. බී. ද ධී ශක්තිය හා කවිත්වය දායාද කොට උපන් නිහතමානී විනීත ප්‍රාඥයෙකි. දිගු කලක් ඇසුරු කරමින් ද ඇතැම් විට දෙස් විදෙස් සංචාරවල නිරිත fවිමින් ද ඔවුන් සමග ගෙවීගිය සොඳුරු අතීතයක සිහිවටන ද අප හද තුළ ඉතිරිව තිබේ. මගේ ජීවිතයේ හොඳම කාලයේදීත් එතුමෝ මා අත් නොහැර සිටියහ. එනිසා මේ සංක්ෂිප්ත සටහන මගේම ගුරු දෙවියකුට ශාස්ත්‍රාලෝකය ලබාදුන් හෘදයාංගම විද්වතකුට කෙරෙන බුහුමනක් ලෙස ද සඳහන් කරමි. ඔවුන්ගේ වජ්‍ර බුද්ධි ප්‍රභාව, ඥාන සම්භාරය මගේ පරපුරට ආශිර්වාදයක් විය. ඒ නිර්ව්‍යාජ ශාස්ත්‍ර මාමකත්වයට පිදෙන වනපස මලකි මේ.
● ගාමිණී සුමනසේකර