පාසල් දරුවන් පාසල තුළදී අපයෝජනය වීමේ ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සඳහන් කර තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරුන් දැනුවත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති සම්මන්ත්‍රණයක දී ඇය මේ බව පිළිගත්තාය. අධ්‍යාපන අමාත්‍යාංශය පවතින්නේ අගමැති හරිනි අමරසූරිය යටතේ ය. එසේ තිබියදීත් පාසල්වල නියම තත්ත්වය සහ අමිහිරි තත්ත්වය ප්‍රසිද්ධියේ පිළිගැනීම ගැන අපි හරිනි අමරසූරියට ස්තුතිය පළ කරමු.
මේ රටේ පාසල් පද්ධතිය මෙන්ම විශ්වවිද්‍යාල පද්ධතිය ද ක්‍රමයෙන් පරිහානිගත වෙමින් පවතී. අද යමක් කමක් තිබෙන මාපියෝ සිය දූ දරුවන් ආණ්ඩුවේ විශ්වවිද්‍යාලවලට නොයවති. ඔවුන් ඒ වෙනුවට තෝරා ගන්නේ මේ රටේම තිබෙන පෞද්ගලික විශ්වවිද්‍යාල හෝ පිටරටවල තිබෙන පෞද්ගලික විශ්වවිද්‍යාල ය. මේ රටේ විශ්වවිද්‍යාලවල සමාජ ප්‍රමිතිය බෙහෙවින් පහළ බැස තිබේ. ආචාර්යවරුන්ගෙන් සහ සෙසු නවක වධ මාරයන් වෙතින් පීඩාවට පත්වන සිසු සිසුවියෝ සියදිවි නසා ගනිති. එවැනි සියදිවි නසා ගැනීම් දෙකක් පසුගිය මාස තුන තුළ වාර්තා විය. එක්කෙනෙක් සබරගමු සරසවියේ ශිෂ්‍යයෙකි. අනෙකා වයඹ විද්‍යාපීඨයේ ශිෂ්‍යාවකි. දෙදෙනාම මියගියේ ගෙල වැලලා ගැනීමෙනි. මේ නිසා බලධාරීන් කළ යුත්තේ ගෙල වැලලා ගැනීමට පාවිච්චි කළ හැකි ලණු තහනම් කිරීම නොව මේ ප්‍රශ්නයේ මනෝ විද්‍යාත්මක පැත්ත සොයා බලා ඒවාට ප්‍රතිකර්ම කිරීමය. මේවා කරන සමහර අමනයන් දේශපාලන හයියෙන් ද තම ආත්මාරක්‍ෂාව සලසා ගත් අවස්ථා ද තිබේ. මේ සමහර අමනයන් උත්තම ‘ඇදුරු’ වෘත්තීය වටිනාකම ද කෙළෙසන්නෝ ය. ඇතැම් විශ්වවිද්‍යාල, පාසල් පද්ධති තුළ මෙන්ම ‘ටියුෂන්’ පන්ති තුළ ද මෙවැනි අපතයෝ සිටිති. ඒවා ද මැඬලිය යුතුයි. ‘රජය’ ද එහිලා දැඩි පියවර ගත යුතුමය. ‘නවක වධ’ මුවාවෙන් මෙවැනි අසහනකාරයන් කරන නොහොබිනා වැඩ නිසා කොතරම් දුකක් විඳ දෙමව්පියන් තම දරුවන් සරසවි යැවුවද ඒ ප්‍රාර්ථනා බොඳ වන්නේය.
සමහර පාසල්වල තත්ත්වය ද මේ තත්ත්වයේම ප්‍රක්ෂේපනයකි. මෙවැනි ස්ත්‍රී දූෂකයකු නිසා කොටහේනේ පදිංචිව සිටි ශිෂ්‍යාවක් ගොඩනැඟිල්ලක ඉහළ මහලකින් පැන සියදිවි නසා ගත්තා ය. එම සිද්ධියෙන් පසු දින කිහිපයක් ගතවනතුරු ආණ්ඩුව එම නීච ගුරුවරයාගේ වැඩ තහනම් කිරීමට පියවර ගත්තේ නැත. වඩා නිවැරදි ක්‍රමවේදය වන්නේ ප්‍රශ්නය සමාජගත වනතුරු නොසිට නීතිය ක්‍රියාවේ යෙදවීමය. එහෙත් දැරියගේ මරණයෙන් දින කිහිපයක් ගතවත්ම නැඟුණු විරෝධතා ව්‍යාපාර හේතුවෙන් එම ගුරුවරයා වෙනත් පාසලකට යැවීමට ආණ්ඩුවට සිදුවිය. මෙතැන දී තවත් ප්‍රශ්නයක් හටගනී. ඔහුගේ හැසිරීම තුළ හෙතෙම අලුතින් යන පාසලේ සිටින ශිෂ්‍යාවන්ගේ ආරක්‍ෂිත බව ද අනතුරේ වැටෙන්නට පුළුවන. අවසන් ඵලයේ දී ඔළුවෙන් හිටගෙන වරද පිළිගත්ත ද මේ රටේ අධ්‍යාපන පද්ධතියේ සිදුවන අපයෝජන ගැන වගකීම අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය නමට වැටේ. එය තමයි සදාචාර සම්පන්න ක්‍රමය. පාසලක් තුළ අපයෝජන වර්ග කිහිපයක් තිබේ. ඉන් පළමු වැන්න ලිංගික අපයෝජනය වේ. දෙවැන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කරන භයානක ශාරීරික අඩන්තේට්ටම් වේ. මීට කලකට පෙර ගුරුවරියන් කිහිපදෙනකු විසින් ගිනි අව්වේ දණගස්වා තබන ඉහළ පන්තියක ගැහැනු ළමයි කිහිපදෙනෙක් ක්ලාන්ත වී ඇදවැටුණාහ. මීට අමතරව පාසල තුළ සිදු වූ පහරදීමක් නිසා මියගිය ශිෂ්‍යාවක සම්බන්ධයෙන් ගුරුවරියන් දෙදෙනෙක් රිමාන්ඩ් කූඩුවට ගියහ. මෙවැනි මාරදූතිකාවන් යැවිය යුත්තේ අපායට ය. මෑතක් වනතුරු මේ රටේ ඇතැම් ගුරුවරුන් සිතා සිටියේ ළමයින්ගේ ශරීරය මීහරක් හම්වලින් වැසී තිබෙන බවය. ඒ නිසා ඔවුහු අතින් පයින් ද පුටු කකුල්වලින් ද විශාල ලීවලින් ද ළමයින්ට පහර දෙති. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉතාම නරක විහිළු කර ඔවුන් අසහනයට පත් කිරීම ටියුෂන් පන්තිවලත්, පාසල්වලත් පවතී. මෙවැනි විහිළු මගින් අසහනයට පත් වන ළමයා ඉබේම කොන් වෙන්නට පටන් ගනී. එය තවත් ඛේදවාචකයකි. ඊළඟට ඒ දරුවා හෝ දැරිය කොළඹ බිල්ඩිමක උඩම තට්ටුවට නැඟ බිමට පනී. නැත්නම් ළිඳට පනී. ඉතා ඉක්මනින් ජීවිතය හැරයෑම මේ දරු දැරියන්ගේ අවශ්‍යතාව වේ. අපරාදෙ කියන්න බෑ ලංකාවේ නූතන අධ්‍යාපනයේ සමාජ ව්‍යුහය සෑදී ඇත්තේ ද එවැනි සියදිවි නසා ගැනීම්වලට සහයෝගය පළ කෙරෙන පරිදි ය.