නවක වධයෙන් බේරීම සඳහා හෝ නවක වධයට විරෝධය පළ කිරීම සඳහා හෝ කුලියාපිටියේ කාර්මික විද්‍යාලයේ ශිෂ්‍යාවක් වැවකට පැන්නාය. මේ සම්බන්ධයෙන් නවක වධකාරයන් ලෙස සැකපිට සිසුන් හතරදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. කුලියංකුලමේ පුද්ගලයෙක් සිය ගැබිනි බිරිඳ සමග මෝටර් සයිකලයකින් ගමන් කරමින් සිටියේ ය. ඉන්පසු පාළු තැනක මෝටර් සයිකලය නැවැත්වූ සැමියා බිරියගේ හිස කඳින් වෙන්කර එය ෂොපිංබෑග් එකක දමාගෙන පොලිසියට ගියේය. මිනිසකුගේ බෙල්ලක් කපාගෙන පොලිසියට ගෙනයෑම ලංකාවට එතරම් ආගන්තුක කටයුත්තක් නොවේ. නවක වධයට බියෙන් ගඟට පැනීම පමණක් නොව, මහල් ගොඩනැඟිලිවලින් බිමට පැනීම පවා වාර්තා වී තිබේ. 1970 ගණන්වල දී පේරාදෙණිය විශ්වවිද්‍යාාලයේ උගත් රූපා රත්නසීලි සිසුවිය දූෂණය කිරීම සඳහා නවක වධකාරයන් කිහිපදෙනෙක් ඇය පසුපස පන්නාගෙන ගියහ. විශ්වවිද්‍යාලයේ මහල් ගොඩනැඟිල්ලක ඉහළ මහලකට දිව ගිය ඇය එතැනින් බිමට පැන්නාය. ඇගේ කොන්ද කැඩුණු අතර එදා පටන් කිසිකලෙකත් ඇයට ඇවිද ගැනීමට බැරි විය. මේ ආකාරයෙන් අවුරුදු හතළිහකට වැඩි කලක් රෝදපුටුවක ජීවත් වූ රූපා රත්නසීලි ජීවත්වීම සඳහා කළේ කුලියට ඇඳුම් මැසීම ය. කකුල් දෙක වැඩනොකරන බැවින් ඇය අතින් කරකවන මහන යන්ත්‍රයක් ඇඳුම් මැසීම සඳහා පාවිච්චි කළාය. දිනක් ජීවිතය ගැන කලකිරුණු රූපා රත්නසීලි රෝදපුටුවෙන්ම ගෙවත්තෙහි ඇති ළිඳ වෙත ගොස් එයට පැන සියදිවි නසා ගත්තාය. කුලියාපිටියේ කාර්මික විදුහලේ සිසුවිය සමහර විට වැවට පනින්නට ඇත්තේ සියදිවි නසා ගැනීමට විය යුතුය. නවක වධයට එරෙහි නීතිරීති බොහොමයක් මේ රටේ තිබියදීත් දිගින් දිගටම නවක වධය පැවැත්වීම පාලනය කිරීමට බැරි ඇයි දැයි අපි අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරියගෙන් විමසමු. ඉහත සඳහන් තනතුරු දෙකට අමතරව හරිනි අමරසූරිය මේ රටේ අග්‍රාමාත්‍ය ද වේ. එබැවින් ඇය වෝල්ටේජ් තිස්තුන්දහසේ බලය උපදවන ජෙනරේටරයක් බඳු බලකදම්බයකි. නවක වධය පාලනය කිරීමට ජනතා විමුක්ති පෙරමුණටත් බැරි නම් එය කළ හැකි කිසිදු ආණ්ඩුවක් නැත.
මේ රටේ මිනිසුන් අපරාධවලට බය නැත. එසේම මේ රටේ මිනිසුන් මහින්ද රාජපක්‍ෂගෙන් පසු බලයට පත් වූ කිසිදු ආණ්ඩුවකට බය නැත. පැමිණිල්ලක් දැමීමට පොලිසියට එන ගැමියකු අල්ලාගෙන ඒ මිනිසාගෙන් බනිස් ගෙඩියක් කා ප්ලේන්ටියක් බොන පොලිස් රාලහාමි, අල්ලස් දෙපාර්තමේන්තුවෙන් කුදලාගෙන ගොස් නඩු අසා අවුරුදු පහකට හිරේ දමනු ලැබේ. දරුවන්ට කන්නදීම සඳහා අල්ලපු වත්තෙන් කොස් ගෙඩියක් කඩන පුද්ගලයා පොලිසියට ගෙනගොස් හමගසා හිරේට දමනු ලැබේ. එහෙත් කොන්ත්‍රාත් එකට මිනීමරනවුන් ද, වෙනත් විවිධ අභිලාෂ සඳහා මිනීමරනවුන් ද එල්ලුම්ගස් යවනු නොලැබේ. මේ හේතුවෙන් කවුරුත් මිනීමැරීමට බය නැත. මිනිහකු මරා එල්ලුම්ගසට නියම වන පුද්ගලයකුගේ එම දඬුවම, යහපත් හැසිරීම මත ටික කලකින් ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් බවට පරිවර්තනය කරනු ලැබේ. ඒ නිසා කවුරුත් මිනීමැරීමට බය නැත. හොඳ හැසිරීමෙන් සිටින මිනීමරුවාට රජයේ පොදු සමාව යටතේ නිදහස ලැබෙන අවස්ථා ඇත. හැබැයි හොරපොල් කැඩූ එකාට ඒ අවස්ථාව ලැබෙන්නේ කලාතුරකිනි. බනිස් ගෙඩියක් කෑ රාලහාමිට එවැනි පොදු සමා ලැබීම උගහටය. එබැවින් අපරාධයක් කිරීම ඉතා සුළු කාරණයක් බවට පත්ව ඇත. ඒ තත්ත්වය වැඩිදියුණු වන්නේ 1977 න් පසුව ය.
ලංකාවේ පාතාලය 1977 න් පසුව මේ රටේ නිර්මාණය වූ සංසිද්ධියකි. විවෘත ආර්ථිකය නමැති කුණාටුව මුළු ලෝකය පුරා හමා යමින් ලංකාවට ද කඩා පාත්විය. ඒ සමගම ලෝකයේ තිබූ සියලු ආකාරයේ මත්ද්‍රව්‍ය ද, අවිආයුධ ද, බ්ලූ ෆිල්ම් ද ලංකාවට පැමිණියේ ය. මේ නිසා ඊළඟ අවුරුදු 30 තුළ දී මේ රටේ ජනයා අමනුෂ්‍යයන් බවට පත් වූහ. මේ සම්බන්ධයෙන් අපි ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනට දොස් නොකියමු. 1977 දී විවෘත ආර්ථිකයට රට තුළට ඒමට ඉඩදීම හැර අන් විකල්පයක් ඔහුට තිබුණේ නැත. ඔහු බලයට එන්නේ රට ඉක්මනින් සංවර්ධනය කිරීම සඳහා ඡන්ද පොරොන්දු දීමෙනි. ඉක්මන් සංවර්ධනයකට නම් බණ්ඩාරනායක මැතිනියගේ ක්‍රමයට අල, බතල සිටුවා ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රාජ්‍යයක් බවට පත්කිරීමෙන් ප්‍රයෝජනයක් නැත. ඒ නිසා මේ රට 1977 න් පසු භෞතික වශයෙන් සංවර්ධනය වූ අතර, ආධ්‍යාත්මික වශයෙන් කුණු ගොඩක් බවට පත්විය. 1960 ගණන්වල අග කොටසේ දී දැදුරුඔයෙන් හිස නැති මළසිරුරක් හමුවිය. ඒ කාන්තා මළසිරුරකි. එම කාන්තාවගේ හිස හෝ එම මිනීමැරුම සිදු කළ පුද්ගලයා අද වනතුරු සොයාගෙන නැත. ඔහු තමා විසින් මරණ ලද කාන්තාවගේ හිස ෂොපිංබෑග් එකක දමාගෙන පොලිසියට ගෙන ගියේ ද නැත. 1960 ගණන්වල අගභාගයේ දී මේ රටේ ජනයා මිනීමැරුම්වලට කොතරම් බියෙන් සිටියේ ද යත්, දැදුරුඔයේ මළමිනිය පිළිබඳ සිද්ධියෙන් පසු හවස හයෙන් පසු ගෙවල්වලින් එළියට බැසීමට පවා බිය වූහ. එහෙත් අද වනවිට මිනීමැරුමක් යනු ඉතා සුළු දෙයකි. ස්ත්‍රී දූෂණයක් යනු වැඩිපුර ගණන්නොගන්නා දෙයකි. මේ සන්දර්භය තුළ කෙනකුගේ බෙල්ල කපා පොලිසියට ගෙනගොස් දීම සාමාන්‍ය ක්‍රියාවක් බවට පත්වී තිබේ. මේ නිසා මෙවැනි දේවල් ඉතා දරුණු ලෙස සමාජයේ පැතිරී ඇත. මිනිස්සු නීතියට බය නැති බවත්, ආණ්ඩුවට බය නැති බවත් පෙන්වීම සඳහා මීට වඩා සාක්‍ෂි අවශ්‍ය නැත.