1953 දී ටැන්සානියාවේ මිනිසුන්ට අමුතු උණක් වැළඳිණ. මේ උණ හැදුණු විට වැලිකඩ පොලිසියේ හෝ අඟුලාන පොලිසියේ කූඩුවෙහි රාත්‍රි දෙක තුනක් ගත කළාක් හා සමාන ගතියක් ශරීරයට දැනේ. දෑත් ඔසවන්නට බැරි තරම් වේදනා ගෙනදෙන්නේය. ඔළුව එහා මෙහා කරන විට මළ මුත්‍ර පහවන ගතියක් දැනේ. ඇවිදීමට අවශ්‍ය නම් එක කකුලක් පොළොවේ හිටවා අනෙක් කකුල ඊට ඉදිරියෙන් තැබීම සඳහා විනාඩි ගණනාවක් ගතවේ. කකුල් දෙකට දැනෙන වේදනාව සමාන වන්නේ 88, 89 භීෂණයේ දී ආමි එකට අසුවුණ විට දැනෙන ගතියට සමාන ගතියකි. මේ ලෙඩේ මදුරුවකුගෙන් බෝවන බවත්, එය මාරාන්තික බවත්, ඒ නිසා සමහර විට ස්නායු අවුල් වී මීටර් අප්සෙට් වීමට ඉඩ ඇති බවත් සොයා ගන්නා ලදී. මෙයට දොස්තරවරුන් විසින් නම් තබන ලද්දේ චිකුන්ගුන්‍යා යනුවෙනි. පසුව මේ වචනය ව්‍යවහාරයට එන විට චිකුන් චිකන් බවට පත් විය. එහෙත් මේ රෝගය සහ කුකුළන් අතර කිසිදු සම්බන්ධයක් නැත. ස්ථිර වශයෙන්ම මේ වෛරසයේ වාහකයා මදුරුවෙකි. පිටරටවල නිපදවන හෝ ඇතිවන ඕනෑම දෙයක් වහ වහා ලංකාවට සම්ප්‍රාප්ත වේ. ඒ අනුව 1960 වන විට අප්‍රිකාවේ ටැන්සානියාවේ සිට ලංකාවට චිකුන්ගුන්‍යා රෝගය සම්ප්‍රාප්ත වූ බව අපි ආඩම්බරයෙන් කියමු. මුල් කාලයේ දී හඳුනාගැනීමට හැකි වූයේ රෝගීන් ස්වල්පයකි. එහෙත් රට සංවර්ධනය වීමත් සමග චිකුන්ගුන්‍යා රෝගය පැතිර යෑම ද සංවර්ධනය විය. අද වන විට ලංකාව තුළ චිකුන්ගුන්‍යා වසංගත තත්ත්වයක් උදා වී තිබේ.
මීට අවුරුදු 10 කට පමණ පෙර ද මේ රෝගය ලංකාව පුරා පැතිර ගොස් පොලිස් පහරදීම්වල වේදනාව හා සමාන වේදනාවක් ජනතාවට ලබාදී සෑහෙන පිරිසකුත් මරා අතුරුදන් විය.
ඩෙංගු යනු චිරාත් කාලයක් පරණ උණ රෝගයකි. මෙහි නිවැරදි වචනය වන්නේ ඩෙංගි ය. ඩෙංගි කාලයෙන් කාලයට වසංගත තත්ත්වයෙන් හිසඔසවයි. එමතු ද නොව එයින් ද ජනයා මියයති. කුඩා ළමුන්ටත්, වියපත් ජනයාටත් ඩෙංගි රෝගය මගින් ඉතා පහසුවෙන් මරණය ළඟා වේ. මේ රෝගය වැළඳුණු විට ශරීරයේ තිබෙන රුධිර පට්ටිකාවල ඇලෙනසුළු ගතිය නැතිව යයි. මෙහිදී රතු රුධිරාණු සියල්ලම ශරීරයෙන් පිටතට ලීක් වේ. එකල්හි සුදු රුධිරාණු සහ රුධිර තරලය පමණක් ඉතිරි වන අතර එමගින් ශරීරයට වැඩක් නැති වෙයි. අවසන් ප්‍රතිඵලය වන්නේ රෝගියා මියයෑමය. රුධිර පට්ටිකාවල ඇලෙනසුළු ගතිය අඩුවී ඒවා කාන්දුවීම හඳුන්වනු ලබන්නේ ප්ලේට්ලට් බැසීම යනුවෙනි. අප නොකීවාට අපගේ පාඨකයා මේ කතන්දර සියල්ලම දනී. චිකුන්ගුන්‍යා වැළඳුණු විට මේ කියන ප්ලේට්ලට් බැසීම මේ ආකාරයෙන්ම සිදුවෙයි. ලංකාව යනු අතීතයේ පටන් වසංගත රෝගවලට උපරිම වටිනාකමක් දුන් රටකි. එදා සිටම උණසන්නිපාතය හෙවත් කැලෑ උණ මේ රටේ වැසියන්ට වැලඳිණ. සියවස් කිහිපයකට පෙර මේ රටේ සියලු ජනයා ගොවියෝ වූහ. සමහරු කුඹුරු කරන ලද අතර තවත් සමහරු හේන් කෙටූහ. හේන් කොටන විට දිවා රෑ නොබලා වෙහෙසීමට සිදුවූ අතර, මැලේරියා මදුරුවා ගොවීන්ගේ සිරුරු විද රුධිරය පානය කරන ගමන් මැලේරියා වෛරසය ද එම ගොවීන්ගේ සිරුරු තුළට ඇතුළු කළේය. මැලේරියාව යනු ඉතාම අමාරු ලෙඩකි. උදේ කාලය පුරාම හේන් කොටන ගොවියාට සවස් වන විට වෙව්ලා උණ ගත්තේය. ඒ සඳහා කරන ලද උපරිම බෙහෙත ඉඟුරු කොත්තමල්ලි ය. එහෙත් ඉඟුරු කොත්තමල්ලිවලින් මැලේරියාව සුව නොවේ. ඒ අනුව මාස කිහිපයක ඇවෑමෙන් ගොවියාගේ මරණය සිදුවිය. 1800 ගණන්වල අගභාගයේ දී බි්‍රතාන්‍ය ආණ්ඩුව විසින් ඉන්දියානු කම්කරුවන් ලංකාවට ගෙන්වන ලදී. ඔවුන් ලංකාවට ප්‍රවාහනය කරන ලද්දේ නැව්වල ය. එකල ඉන්දියාව යනු මැලේරියා ගුහාවකි. ඉන්දියානු කම්කරුවන් බොහෝදෙනකු නැවට නැග්ගේම රෝග බීජය ද සහිතව ය. එකල ඉන්දියාවේ දකුණු කොනේ සිට කොළඹ වරායට නැවක් පැමිණීම සඳහා දවස් දෙකක් පමණ ගත වේ. මේ නිසා දෙමළ කම්කරුවන්ට අව්වේ වේළෙමින් ද වැස්සේ තෙමෙමින් ද නැව් තට්ටුවේ කුඩ ගසාගෙන සිටීමට සිදුවිය. කොළඹින් හෝ ගාල්ලෙන් බැස්ස පසු ඔවුන් කඳුකරයේ තේවතුවලට ගමන් කළේ පා ගමනිනි. මේ මහන්සිය නිසා මැලේරියාව වහා සක්‍රීය වේ. එවිට ඉන්දියානු කම්කරුවෝ මියගියහ. මේ මියයෑම කෙතරම් විශාල වීද යත් ලංකාවට ඉන්දියානු කම්කරුවන් දහසක් ගෙන්වන විට පන්සීයක් පෙර කී ගමනේ දී මියගියහ. ඔවුන්ගේ මළමිනී කැලෑවලට වීසි කර ගමනෙහි යෙදීමට ඔවුන් සමග ගිය සුද්දෝත්, සිංහල ජන ප්‍රධානීහුත් කටයුතු කළහ. මැරුණු මිනිසාගේ මළමිනිය කරගසාගෙන කන්ද උඩරටට ගෙනයෑමට කාටවත් වුවමනාවක් තිබුණේ නැත. එසේම එවැනි දෙයකින් කාටවත් වැඩක් තිබුණේ ද නැත. පසු කාලයේ දී ඉන්දියානු කම්කරුවන් මෙරටට ගෙන්වීමෙන් පසු කොළඹ වරාය අසල පිහිටි නිරෝධායනාගාරවල දවස් 14 ක් රඳවා තබන ලදී. ඒ ලෙඩේ තද වී මැරෙන එකාට මියයෑමටත්, ජීවත්වන එකාට ජීවත්වීමටත් ඉඩ දෙනු පිණිස ය. වසංගත රෝග යනු ඉතා භයානක තත්ත්වයකි. කොරෝනා වසංගතය පැතිර ගිය කාලයේ දී ලංකාව හිඟමනටම වැටිණ. 1500 ගණන්වලට සිට විවිධ වසංගත නිසා යුරෝපයේ ජනතාව බාගෙට බාගයක්ම මියගියහ. සාමාන්‍යයෙන් වැස්සෙන් පසු ඩෙංගු, චිකුන්ගුන්‍යා වැනි වසංගත මතුවේ. ඒ අතර මැලේරියාව ද සමහර තැන්වල ඇතැයි දැනගන්නට තිබේ. මේ නිසා අප ජනතාවගෙන් ඉල්ලන්නේ පරිස්සම් වන ලෙස ය. මන්ද මේ දිනවල ලංකාවේ රෝහල්වල තත්ත්වය ද 100% ක්ම හොඳ නැත. ලොකු වසංගතයක් ආවොත් රෝගීන් දාන්නට අපට ඉඩකුත් නැත. ඒ නිසා රෝගීන්ගෙන් සෑහෙන පිරිසක අපායට හෝ දිව්‍යලෝකයට යැවීමට සිදුවීම නියතය.