ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් බදු සතිය ආරම්භ කිරීමේ උත්සවයේදී කරන ලද කතාව ඉතා වැදගත්ය. එමගින් පෙනී යන්නේ මේ රට කෙතරම් කුණු වී ඇත්ද යන කාරණයයි. මේ රටේ සාමාන්‍ය සමාජයට යටින් කළු පැහැති ස්ථරයක් ඇති බවත් ඒ ස්ථරය තුළ ඉතා නරක දේවල් බොහොමයක් ඇති බවත් පාතාල ජාවාරම්කරුවන් ද මත්ද්‍රව්‍යකාරයන් ද වෙනත් දූෂිත චක්‍රාවාට ද මේ ස්ථරය තුළ ඇති බවත් ජනාධිපතිගේ කතාවෙන් පැහැදිලි වෙයි. විශ්වය නමැති ඉමක් කොනක් නොපෙනෙන ප්‍රදේශය තුළ කළු කුහර නමැති බලවේග විශේෂයක් තිබේ. මේවා මුලින්ම න්‍යායාත්මක බලවේග ලෙස හඳුන්වාගෙන තිබූ අතර අද වනවිට භෞතික බලවේග ලෙසට ඔප්පු කර ඇත. කළු කුහරය යනු අතිශයින් බලගතු ගුරුත්වයක් ඇති තැනකි. සමහරවිට විශ්වයේ වැඩිම ගුරුත්වයක් ඇත්තේ ද මේ කළු කුහර තුළය. මෙහි ගුරුත්ව බලය කෙතරම් ද යත් කිසිදු අවස්ථාවක වර්තනය නොවන ආලෝක තරංග පවා කළු කුහර ඉදිරියේ වර්තනය වී ඒ තුළට උරා ගන්නා අවස්ථා පවා තිබේ. අපේ රටේ සමාජය යටින් දිවෙන කළු ස්ථරය ද මේ කියන වර්ගයේ සුවිශාල විභවයක් ඇති ස්ථරයක් බව කිව යුතුය. කළු කුහරය එතැනින් යන ග්‍රහලෝක ද උල්කාපාත ද වාමන තාරකා ද යනාදී සියලු දේවල් ගිල දමන්නේ යම් සේ ද අපේ රටේ සමාජය යටින් ඇති කළු ස්ථරය විසින් සමාජය ගිල ගනු ලබමින් සිටී.
කළු කුහරය නමැති සංසිද්ධිය විශ්වය තරම්ම පැරණිය. එහෙත් අපේ රටේ තිබෙන කළු ස්ථරය වැඩිපුර පරණ නැත. මේ කළු ස්ථරය 1948දී වත් තිබුණේ නැත. එය බොහෝවිට හටගන්නේ 1977දී ය. එනම් එම ස්ථරය ගොඩනැඟීම සඳහා අවශ්‍ය වංචාව, නාස්තිය සහ දූෂණය යන ගොඩනැඟිලි ද්‍රව්‍ය 1970 මුල සිට එකතු විය. 1977 වනවිට යම් තරමකට ප්‍රමාණවත් ගොඩනැඟිලි ද්‍රව්‍ය එකතු වූ බැවින් 1977දී එම ස්ථරය පිහිටුවීම සඳහා අවශ්‍ය පසුබිම ඉදිවිය. 1977දී පත් වූ ආණ්ඩුව විවෘත ආර්ථිකය සමග ගැටෙමින් සහ විවෘත ආර්ථිකය වැළඳ ගනිමින් වර්ධනය විය. අභ්‍යවකාශය තුළ නිදහසේ සංචාරය කරන ධූලි අංශු එකට එකතු වී සෞරග්‍රහ මණ්ඩල නිර්මාණය කරන පරිද්දෙන් විවෘත ආර්ථිකයේ ධූලි අංශු විසින් කළු ස්ථරය සෑදීමට මුල්ගල තබන ලදී. එම මුල්ගල තබන ලද්දේ පාතාල කණ්ඩායම් සහ ජාවාරම්කරුවන් විසිනි. මෙහි සැලසුම අඳින ලද්දේ අත්තිවාරම දැමීමෙන් පසුවය. ඒ නිසා කිසිදු පිළිවෙළකට නැති දුෂ්ට ඉදිකිරීමක් ලෙස මේ කළු ස්ථරය මුහුකුරා යන්නට පටන් ගත්තේය. මෙහිදී වැදගත් යමක් කියමු. මේ ස්ථරයේ සැලසුම ඇඳීමට මේ රටේ දක්ෂිණාංශික මෙන්ම වාමාංශික පක්ෂ ද අඩු වැඩි වශයෙන් දායකත්වය දැක්වූහ. අන්තිමට කුඩු ජාවාරම්කාරයෝ ද පාතාල බලවත්තු ද මේ රට තුළ නිර්මාණය වූහ. මේ අයගෙන් වැඩිදෙනකු හිටියේ දූෂිත දේශපාලනඥයන් සමගය. අන්තිමේදී පාතාලකාරයන් සහ කුඩුකාරයන් නැතිව ජීවත් වීමට දේශපාලනඥයන්ට බැරි විය. ඔවුන් නැතිව ජීවත්වීමට පාතාලයට සහ කුඩු සමාජයට බැරි විය. මේ පාර්ශ්ව දෙක බැලන්ස් කරන ලද්දේ දේශපාලන කණ්ඩායම් විසිනි. මේ අතර මෑතක් වනතුරුම නීතිය තිබුණේ දේශපාලනඥයන් අතේය. තමන් සමග සිටින අපරාධකාරයන්ට නීතියෙන් ලෙඩක් වැටෙන විට දේශපාලනඥයෝ නීතිය නවා ඒ අපරාධකාරයන් බේරාගත්හ. අන්තිමේදී තමන්ට විශාල බලයක් ඇති බව පාතාලයටත් මත්ද්‍රව්‍ය විකුණන අයටත් තේරුම් ගියේය. ඒ නිසා ඔවුහු තම තමන්ට අවැසි පරිදි ආයුධ ගබඩා සෑදූහ. තම විරුද්ධවාදීන් පැහැරගෙන තම තමන්ට කැමැති ලෙස තම තමන්ගේ සාපරාධී උසාවිවල නඩු අසා එම විරුද්ධකරුවන්ට දඬුවම් කළහ. මාතර සිරගෙදරින් අඟුණකොළපැලැස්සේ සිරගෙදරට සිරකරුවන් මාරු කිරීමේදී එම සිරකරුවන් සතුව මාංචු කුට්ටම් රැසක් සහ යතුරු තොගයක් තිබූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක ස්වකීය කතාවේදී සඳහන් කළේය. මේ තොරතුර ඇසූ අපට හැඟී ගියේ මේ රටේ බන්ධනාගාරවල සිරකරුවන් සතුව වෙනම දණ්ඩ නීති සංග්‍රහයක් සහ වෙනම පොලිසියක් ඇති බවය. මාංචු අවශ්‍ය වන්නේ පොලිසියට පමණි. සිරකරුවෝ විනෝදාංශයක් වශයෙන් මාංචු එකතු නොකරති. යම් හෙයකින් මේ කියන ආකාරයට ඔවුන් සතුව මාංචු සහ යතුරු තිබුණේ නම් එයින් හැඟී යන්නේ සිරගෙවල් තුළ වෙනම සාපරාධී රාජ්‍ය තිබෙන බවය. 1970න් පසු ලංකාව අල්ලසට සහ දූෂණයට පුරුදු විය. දරුවන් පාසල් යැවීමටත් තරුණයකුට රැකියාවක් ලබාගැනීමටත් අල්ලස් දීමට සිදුවිය. පාසලින් නික්මෙන දරුවාට රැකියා සොයා දෙමව්පියෝ මහා දුකක් විඳිති. දරුවෝ ද එසේමය. තිබෙන දෙයක් විකුණා හෝ ගාණක් දී මෙතෙර හෝ එතෙර රැකියාවක් සොයා දීමට ඔවුනට සිදුව ඇත්නම් කවර කතාද? කසිප්පුකාරයා පොලිසියට හසු වූ විට බේරාගන්නා ලද්දේ සාජන් කෙනකුට හෝ ඕඅයිසී මහත්තයෙකුට අල්ලස් දීමෙනි. අන්තිමේදී මේ පුද්ගලයන් ගැවසෙන කළු ස්ථරය වර්ධනය වී අද තිබෙන තැනට පැමිණියේය. මේ කළු ස්ථරය සම්පූර්ණයෙන්ම විනාශ කරන තැන සිට ලංකාවේ දියුණුව පටන් ගනී. ඒ වගකීම අපි ජනාධිපතිට සහ ආණ්ඩුවට පවරමු.