2025 ජුනි මස 01 වැනිදා ඉරිදා
අපගේ මතකය නිවැරදි නම් මේ ‘පෝලිම’ පටන් ගන්නේ කෙහෙළිය රඹුක්වැල්ලගෙනි. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයකු ලෙස සිටි රඹුක්වැල්ල එසේ සිටින ගමන්ම ඇතුළට දමන ලද්දේ ව්‍යාජ බෙහෙත් මෙරටට ගෙන්වීමේ චෝදනාවක් නිසාය. (ඇතුළට දමනවා යනු රිමාන්ඩ් කිරීමට යොදන සාමාන්‍ය වචනය වේ.) ඊළඟට ආණ්ඩුවේ ඉඩමක් හොර ඔප්පු සාදා විකිණීම සම්බන්ධයෙන් මර්වින් සිල්වා ඇතුළට දමන ලදී. එම සිද්ධියටම සම්බන්ධ ලෙස සැලකෙන හිටපු මැටි කර්මාන්ත ඇමැති වන ප්‍රසන්න රණවීර ද ඇතුළට ගියේය. ඊට පෙර හෝ පසු අනුර ප්‍රියදර්ශන යාපා ද ඔහුගේ බිරිඳ ද කිසියම් චෝදනාවක් මත රිමාන්ඩ් භාරයට පත් විය. අනුර ප්‍රියදර්ශනගේ බිරිඳ රිමාන්ඩ් වුණේ ඇය ස්වකීය ඇමැති ස්වාමියාගේ පෞද්ගලික ලේකම් ලෙස ක්‍රියා කළ බැවිනි. මීළඟට එස්. එම්. චන්ද්‍රසේනගේ බිරිඳත්, ඔහුගේ සහෝදරයා වන එස්. එම්. රංජිත් ද රිමාන්ඩ් වූහ. එස්. එම්. රංජිත්ගේ ලේකම් ලෙස කටයුතු කර තිබුණේ එස්. එම්. චන්ද්‍රසේනගේ බිරිඳය. එස්. එම්. චන්ද්‍රසේන සහ එස්. එම්. රංජිත් යන දෙදෙනා සහෝදරයෝ වෙති. මේ පෝලිමේ අලුත් ම අවස්ථාව වන්නේ මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන ඇමැතිවරුන් දෙදෙනා හිරේ යෑමය. අලුත්ගමගේ යනු රාජපක්ෂ ආණ්ඩුවල සිටි ප්‍රබල ඇමැතිවරයෙකි. නලින් ප්‍රනාන්දු යනු මුලින් රාජපක්ෂ ආණ්ඩුවේත් ඊළඟට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේත් සිටි බලගතු දේශපාලනඥයෙකි. නලින් ප්‍රනාන්දු වික්‍රමසිංහ ආණ්ඩුවේ වෙළෙඳ ඇමැති ලෙස ද කටයුතු කර තිබිණ. මේ දෙදෙනාට එරෙහිව නඩුව පවරන ලද්දේ යහපාලන ආණ්ඩු සමයේදීය. හැබැයි එම නඩුව ඉතාම සුදුමැලි ලෙසත් පණ නැති ලෙසත් ඇදි ඇදී ගමන් කළේය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිව සිටි කාලයේදීත් මේ නඩුව එක දිගට නොඅසන ලදී. එබැවින් අප තුළ බරපතළ සැකයක් මතුවන නමුදු අපගේ ගැලවීම පතා අප එය මෙහි සඳහන් කරනු නොලැබේ. හැබැයි අනුර දිසානායකගේ ජේවීපී/එන්පීපී ආණ්ඩුව බලයට පැමිණි කල්හි මේ නඩු ඇසීම ඉක්මන් විය.
JUSTICE DELAYED – JUSTICE DENIED යනුවෙන් කියමනක් ඉංග්‍රීසි භාෂාවෙහි තිබේ. මෙය හැඳින්වෙන්නේ යුක්තිය පසිඳලීම ප්‍රමාදවීමෙන් යුක්තිය නොලැබෙන බවය. ඒ අනුව හෝ වෙනත් හේතුවක් නිසා හෝ ආණ්ඩුව නඩු ඇසීමේ ක්‍රියාවලිය ඉක්මන් කර තිබේ. ලංකාවේ නඩු ඇසීම ඉතා ප්‍රමාදය. සමහර ඉඩම් නඩුවක් ඇසීමට අවුරුදු 80ක් පමණ ගතවේ. මෙයට කලකට පෙර ඉඩම් නඩුවක් සඳහා උසාවියකට පැමිණි කාන්තාවක් හෘදයාබාධයක් වැලඳී උසාවිය තුළම මියගියාය. පසුව සොයා බැලීමේදී හෙළි වූයේ මෙම කාන්තාව එකී ඉඩම් නඩුවට අයත් හතර වැනි පරම්පරාව බවය. හතර වැනි පරම්පරාව මියයෑමෙන් පසු ඒ නඩුවට කුමක් සිදුවීදැයි අප නොදනිමු. නඩු ඇසීම ප්‍රමාද වන්නේ අධිකරණයේ වරදින් නොව ආණ්ඩුවේ වරදිනි. මේ රටේ අධිකරණවලට ප්‍රමාණවත් තරම් කාර්ය මණ්ඩලයක් නැත. කිසියම් නඩු භාණ්ඩයක් රස පරීක්ෂණ වාර්තාව සඳහා රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යැවූ විට එහි ප්‍රතිඵලය එන්නේ අවුරුදු ගණන් පහුවෙලාය. රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද අවශ්‍ය තරම් කාර්ය මණ්ඩලයක් නැත. සමහරවිට උසාවියේ නඩු භාණ්ඩ කාමරයෙන් හෙරොයින් මත්කුඩු ලෙස සලකා රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යවන නඩු භාණ්ඩ සාම්පලය පාන් පිටි බවට පත්වී රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ආපසු පැමිණෙයි. මේ මාරු කිරීම සිදුවන්නේ නඩු භාණ්ඩ කාමරයේ සිටින ඇතැම් වංචනික නිලධාරීන් විසිනි. එවිට ප්‍රමාණවත් සාක්ෂි නැති නිසා විත්තිකරු නිදහස් කිරීමට ගරු අධිකරණයට සිදුවේ. සමහරවිට තමන් වැරදි ලෙස අත්අඩංගුවට ගත් බව කියමින් කුඩු මුදලාලි ආණ්ඩුවට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩු පවා ගොනු කරනු ලැබේ. අප දන්නා පරිදි මේ ක්‍රමය තිබෙන්නේ ලංකාවේත් ඉන්දියාවේත් බංග්ලාදේශයේත් පාකිස්තානයේත් පමණි.
සමහරවිට අප්‍රිකාවේ නොදියුණු රටවල්වල ද මෙවැනි වංචනික ක්‍රියා සිදුවීමට ඉඩ තිබේ. ගිය ආණ්ඩුවේ හිටපු නිලධාරීහු ද දේශපාලනඥයෝ ද නිරන්තරයෙන්ම අපේක්ෂා කළ යුතු තත්ත්වයක් තිබේ. එනම් ඊළඟ ආණ්ඩුව යටතේ ඔවුන්ට හිරේ යෑමට සිදුවන බවය. 1970 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සමගි පෙරමුණු ආණ්ඩුව මේ රටේ බලයට පත්වීමත් සමගම ලංකාව දූෂිත රාජ්‍යයක් වීම ආරම්භ විය. ඒ කාලයේ සිටි ඇතැම් මන්ත්‍රීවරු ද ඇමැතිවරු ද රස්සාවල් දීම සඳහා ස්ත්‍රී දූෂණය ද ටෙන්ඩර් පාස් කිරීම සඳහා කප්පම් ගැනීම ද සිදුකළහ. ළමයකු හොඳ ඉස්කෝලෙකට දා ගැනීම පවා ඇතැම් තරුණ මවකට මන්ත්‍රීවරයකු සමග ඇඳට යෑමට සිදුවිය. මෙය ඉතා නීච තත්ත්වයකි. මේ සංස්කෘතිය ගෙඩිය පිටින්ම 1977දී බලයට පත් වූ යූඑන්පී ආණ්ඩුවට ද ගියේය. ඊට පසු බලයට පැමිණි සෑම ආණ්ඩුවක් ම මේ ක්‍රියාවලිය වර්ධනය කළ අතර මේ රටේ දේශපාලන සංස්කෘතිය ජරාජීර්ණ විය. මෙය මෙතනින් නොනවතී. කිසියම් රටක ආර්ථිකයත් දේශපාලන සංස්කෘතියත් නරක බවට රෙජිස්ටර් වූ කල්හි දියුණු රටවල් පෙර කී දූෂිත රටවල්වලට බාල්දි පෙරළීමට පටන් ගනී. ලංකාවෙන් එන සංචාරකයන්ට හෝ ශිෂ්‍යයන්ට වීසා නිකුත් කිරීම නතර කිරීමට කැනඩාව දැනටමත් තීරණය කර තිබේ. එයට ප්‍රධාන හේතුව ආණ්ඩු කිහිපයක් විසින් මේ රට නන්නත්තාර කිරීම නිසා කැනඩාවට එන ජනයා එරට දේශපාලන රැකවරණ පැතීමටත් ඒ රටේ හොරෙන් නැවතී සිටීමට තැත් කරන බවටත් කැනඩාවට දැනී ඇති නිසාය. ඒ තත්ත්වය තුරන් කළ හැක්කේ කෙසේද?
මේ සඳහා ලංකාව අදූෂිත ආර්ථික වර්ධනයක් කරා යා යුතුය. එසේ යන ගමනේදී සියලු දූෂිතයන් කානුවට දැමීම අනිවාර්යය වේ. මේ ආණ්ඩුව දේශපාලනඥයන් සහ නිලධාරීන් හිරේ දමන ආණ්ඩුවක් බවට මතයක් ප්‍රචාරය වී තිබේ. එහෙත් කෙනකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර නඩු අසා හිරේ දැමිය හැක්කේ ඔහුට හෝ ඇයට විරුද්ධව පැහැදිලි සාක්ෂි ඇත්නම් පමණි. මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු හිරේ යන්නේ මේ පැහැදිලි සාක්ෂි නිසාය. මහින්දානන්දට අවුරුදු 20ක බරපතළ වැඩ ඇතිව සිරදඬුවමකුත් නලින් ප්‍රනාන්දුට බරපතළ වැඩ ඇතිව අවුරුදු 25ක සිරදඬුවමකුත් නියම වී තිබේ. මේ අනුව මහින්දානන්දට එළියට එන්නට සිදුවන්නේ ඔහුට අවුරුදු 80 පිරෙන විටය. නලින් ප්‍රනාන්දුට එළියට ඒමට සිදුවන්නේ ඔහුට අවුරුදු 79ක් පිරෙන විටය. මේ දෙදෙනාම හිරේ යන්නේ බරපතළ වැඩ ඇතිවය. බරපතළ වැඩ යනු හිරගෙදර අතුගෑමේ සිට ගල් වළවල්වල ගල් කැඩීම දක්වා සිදුවන ක්‍රියාවලින් සමූහයකි. හිරගෙදර තුළදී සියලුම සිරකාරයෝ මනුෂ්‍යයෝය. එසේ නම් සියලුම සිරකරුවෝ සමානයෝය. මහින්දානන්ද අලුත්ගමගේට සහ නලින් ප්‍රනාන්දුට කොට්ටයක් සහ පැදුරකට වැඩි යමක් ලබාදීමට නොහැකි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් දැනටම දන්වා තිබේ. ඒ කොට්ටය රන් නූලෙන් ලියූ උරයක් සහිත කොට්ටයක් වුවද මෙම පැදුර රිදියෙන් සාදා මැණික් ඇල්ලූ පැදුරක් වුවද වැඩක් නැත. මන්ද මේ දෙදෙනාම දැන් ඉන්නේ හිරේය. මේ නිසා දූෂණය නමැති කළු කුහරයට බිලි නොවී සිටීමට දේශපාලනඥයන් සියලුම දෙනා දැඩි තීන්දුවක් ගත යුත්තාහ.