ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් තරගය එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී මේ දිනවල පැවැත්වේ. පසුගිය 11 වැනිදා තරගය ආරම්භ විය. දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාව අවසන් තරගයට සුදුසුකම් ලැබූ බව පසුගිය ජනවාරියේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබිණි. ඒ, ඉන්දියාව සමග පැවති බෝඩර්-ගවස්කාර් ටෙස්ට් තරගාවලියේ 5 වන තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 6ක ජයක් හිමි කර ගැනීමෙන් පසුව ය. ඒ අනුව, තරග 5කින් සමන්විත තරගාවලිය 3-1ක් ලෙස ජය ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය. පකිස්ථාන කණ්ඩායමට එරෙහිව පළමු ටෙස්ට් තරගයේදී ලද පෙරළිකාර ජයග්‍රහණයෙන් පසුව ලෝක ටෙස්ට් ශූරයන් වීම වෙනුවෙන් ක්‍රීඩා කරන කණ්ඩායම් දෙකෙන් එකක් ලෙස තම ස්ථානය තහවුරු කර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය. සෑම ලෝක ටෙස්ට් ශූරතාවලියක් ම වසර දෙකක් පුරා දිවයයි. වත්මන් ශුරතාවලිය 2023 ජුනි මාසයේ ආරම්භ වූ අතර 2025 ජුනි මාසයේ පැවැත්වෙන අවසන්
තරගයෙන් එය අවසන් වනු ඇත. කණ්ඩායම් එම කාලය තුළ තරග මාලා හයක් ක්‍රීඩා කරයි. එහිදී තරගාවලි තුනක් දේශීයවත් අනෙක් තරගාවලි 3 පිටතදීත් ක්‍රීඩා කෙරේ. තරගයක් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ලකුණු 12ක්, සම තත්ත්වයට පත්වුවහොත් ලකුණු 6 ක් සහ ජය පරාජයෙන් තොරව අවසන් වන තරගයක් සඳහා ලකුණු 4ක් ලබා දෙයි. කෙසේ වෙතත්, කණ්ඩායම් ඔවුන්ගේ තරග මාලා හයක් පුරා වෙනස් තරග සංඛ්‍යාවකින් යුත් ටෙස්ට් තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කරන බැවින්, ජයග්‍රහණ අනුව ලකුණු ප්‍රතිශතය සලකා බලා වගුවක් අනුව ශ්‍රේණිගත කිරීම් සිදු කෙරේ. එබැවින් ජයග්‍රහණයක් (ලකුණු 12) 100%, සමවීමක් (ලකුණු හයක්) 50% සහ ජය පරාජයෙන් තොරව අවසන්වීම (ලකුණු හතරක්)

33.3% කි. මේ අතර නියමිත කාල සීමාව තුළ පන්දු ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ද කණ්ඩායම්වල ලකුණු අඩු කෙරේ. සෑම ක්‍රිකට් ආකෘතියක් සඳහා ම උසස් තරගාවලියක් නිර්මාණය කිරීම සඳහා ICC විසින් 2019 දී ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය ආරම්භ කරන ලදී. පෙර ජයග්‍රාහකයන් වන්නේ 2019-2021: නවසීලන්තය (ඉන්දියාව පරාජය කරමින්) හා 2021-2023 : ඔස්ට්‍රේලියාව (ඉන්දියාව පරාජය කරමින්) යන දෙරටය.
පසුගිය වසරේදී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉහළම පිතිකරණ සාමාන්‍යය හිමි පිතිකරු බවට කමිඳු මෙන්ඩිස් පත්ව තිබිණි. ඒ අනුව, 94.3ක ඉහළම ලකුණු සාමාන්‍ය වාර්තා කරමින් කමිඳු මෙන්ඩි ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ලොව ප්‍රමුඛ ටෙස්ට් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පත්ව ඇත. එහි දෙවන ස්ථානයේ පසුවන්නේ 59.65 සාමාන්‍යයක් හිමිකර ගෙන සිටින ඉන්දියාවේ යසස්වි ජයිශ්වාල් ය. සල්මන් අගා, ජෝ රූට්, රචීන් රවීන්ද්‍ර පිළිවෙලින් තුන්වන, සිව්වන සහ පස්වන ස්ථාන හිමිකර ගෙන තිබිණි.
වරදත්ත අකලංක