යානයේ එක් කළු පෙට්ටියක් සොයා ගනී
අනතුරෙන් දිවි ගලවාගත් රමේෂ් සිය අත්දැකීම් මාධ්‍යයට පවසයි
යානයට විනාඩි දහයක් ප්‍රමාද වීමෙන් කතක් දිවි ගලවාගනී
මගීන් හා ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයන් 241 කට මරු කැඳවමින් පෙරේදා (12දා) ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයට අයත් අහමදාබාද් නගරයේ සිදු වූ ‘එයාර් ඉන්ඩියා’ ගුවන් යානා අනතුරට මුල් වූ හේතුන් සොයා ඉන්දීය ගුවන් සේවා බලධාරීහු ඇමෙරිකානු හා එංගලන්ත විශේෂඥයන්ගේ සහය ඇතිව ඉදිරි දිනවල විශේෂ විමර්ශනයක් සිදු කිරීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
පෙරේදා දිනයේ ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් නගරයේ සර්දාර් වල්ලබායි පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් එංගලන්තයේ ලන්ඩන් අගනුවර බලා ගමන් ඇරඹීමෙන් තත්තපර 30කට පසු වෛද්‍ය සිසුන්ගේ නේවාසිකාගාරයකට කඩා වැටුණු ඉන්දීය ගුවන් සේවයට (එයාර් ඉන්ඩියා) අයත් බෝයිං 787-8 ඩී්‍රම්ලයිනර් ගුවන් යානය සතු කළු පෙට්ටි දෙකෙන් එකක් ඊයේ (13දා) දිනයේ සොයාගත් බව ඉන්දීය පොලිසිය පවසයි. අනතුරට පත් ඉන්දීය ගුවන් සේවයට අයත් ඩී්‍රම්ලයිනර් යානයේ දෙවැනි කළු පෙට්ටිය සොයා මෙහෙයුමක් දියත් කර ඇති බවත් අනතුරෙන් දිවි ගලවාගත් පිරිස් සොයා සිදු කෙරෙන මෙහෙයුම සඳහා පොලිස් සුනඛයන්ද යොදවාගෙන ඇති බව පොලිසිය පවසයි.

අහමදාබාද් නගරයේ වෛද්‍ය නේවාසිකාගාරයකට කඩා වැටී ඇති අදාළ ගුවන් යානයේ ගමන් ගත් මගීන් හා ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයන් 242 දෙනාගෙන් 241 දෙනකු මියගොස් ඇති බව මේ වන විට තහවුරු වී ඇති අතර එම යානය වෛද්‍ය නේවාසිකාගාරයේ ආපනශාලාවේ වහලය මතට කඩා වැටීම හේතුවෙන් එම අවස්ථාවේ ආපනශාලාවේ ආහාර ගනිමින් සිටි වෛද්‍ය සිසුන් සිවුදෙනකු හා ඔවුන්ගේ ඥාතීන් සිව්දෙනකු ද මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. කඩා වැටුණු ගුවන් යානයේ ඉදිරිපස නාසය කොටස හා ඉදිරිපස රෝදය වෛද්‍ය නේවාසිකාගාරයේ ආපනශාලාවේ වහලය මතට කඩා වැටී තිබේ. මෙම අනතුරට පත් ඩී්‍රම්ලයිනර් යානයේ ඉන්දීය ජාතිකයන් 169 දෙනකු, එංගලන්ත ජාතිකයන් 53 දෙනකු, පෘතුගාල ජාතිකයන් 7 දෙනකු හා කැනේඩියානු ජාතිකයකු ගමන්ගෙන ඇති බව වාර්තා වේ. ඊයේ දහවල් වන විට මෙම අනතුරෙන් ගුවන් යානයේ සිටි මගීන් හා වෛද්‍ය නේවාසිකාගාරයේ සිටි සිසුන්ද ඇතුළුව 265 දෙනකු මියගොස් ඇති බව අනාවරණය වී තිබුණද අනතුර සිදු වූ ස්ථානයේ තිබී තවත් සිරුරු කොටස් සොයා ගැනීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව තවත් වැඩිවිය හැකි බව බලධාරීහු පවසති.
මේ අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදී ඊයේ දිනයේ ගුවන් යානා අනතුර සිදු වූ ස්ථානයට ගොස් එහි කටයුතු නිරීක්ෂණය කර ඇති අතර රෝහලට ගොස් අනතුරෙන් තුවාල ලැබූවන්ගේ සැපදුක් විමසා බලා තිබේ. මේ අතර ඉන්දීය අගමැතිවරයා විසින් ඉන්දීය ගුවන් යානා අනතුරෙන් දිවි ගලවාගත් යානයේ සිටි එකම තැනැත්තා වන එංගලන්ත පුරවැසියකු වන විශ්වාස් කුමාර් රමේෂ් ප්‍රතිකාර ලබන වාට්ටුව වෙත ගොස් ඔහුගේ සුව දුක් විමසා බලා තිබේ.

දිවි ගලවාගත් රමේෂ් ගේ සොහොයුරාට අනුව රමේෂ් තමා කෙසේ දිවි ගලවාගත්තේ දැයි අවබෝධයක් නොමැත. මෙහිදී විදෙස් මාධ්‍යයට අදහස් දක්වා ඇති රමේෂ් තමා එංගලන්තයේ ලන්ඩන් නගරය බලා පියාසර කළ ඉන්දීය ගුවන් සේවයට අයත් ඩී්‍රම්ලයිනර් යානයේ පසුපස කොටසෙහි ‘11ඒ’ දරන අසුනෙහි අසුන් ගෙන සිටි බවත් ගුවන් යානය ගුවන්ගත වී ස්වල්ප වේලාවකට පසු ගුවනට ගොස් විශාල ශබ්දයක් සහිත පිපිරීමක් සමග යානය කඩා වැටුණු බව පවසා තිබේ.
‘මා අසුන් ගෙන සිටියේ හදිසි අවස්ථාවකදී පිටතට යෑමට තිබෙන ගුවන් දොරටුව අසලයි. මා ගමන් ගත් යානයේ කොටස පොළවෙහි රැඳුණු නිසා මා දිවි ගලවා ගන්නට ඇතැයි සිතනවා. මා දැක්කා මා අසළ සිටි ගුවන් සේවිකාවන් මෙන්ම මගීන් බිම වැටී මියගොස් ඇති ආකාරය. මා අසුනට සිරවී සිටියත් වැර යොදා මා ඉන් පිටතට පැමිණියා’ රමේෂ් පවසා තිබේ. මෙම අනතුරෙන් රමේෂ් ගේ වම් අත පිලිස්සී ගොස් ඇති අතර ඔහු සිර වී සිටි යානා කොටසින් පිටතට පැමිණි පසු ඇවිද ගිය බව වාර්තා වේ.
මේ අතර ඉන්දීය ගුවන් යානා අනතුරෙන් දිවි ගලවා ගත් තවත් අයකු වූයේ එම යානයට ඇතුළු වීමට විනාඩි 10ක් කාලයක් ප්‍රමාදවීම නිසා ගුවන් ගමන අහිමිවූ ලන්ඩනයේ වාසය කරන බුමි චවුහාන් ය. ඇය ට අනුව ගුවන් යානයට ගොඩවීමට නොහැකි වීම නිසා ඇය ගුවන් තොටුපළින් නික්ම ගිය පසු මෙම අනතුර පිළිබඳව සැල වී ඇති අතර එය අසා ඇයගේ ශරීරය වෙව්ලා ගොස් තිබේ. ගණපති දෙවියන් තමාව අනතුරෙන් බේරාගෙන ඇති බව බුමි සඳහන් කර තිබේ. මේ අතර ඉන්දීය ගුවන් යානා අනතුරෙන් මියගිය මගීන් අතර ලන්ඩනයේදී මියගිය සිය බිරියගේ අළු ඇයගේ අවසන් කැමැත්තට අනුව උපන් ගමට ගෙන ගිය ඉන්දීය ජාතිකයකු ද වේ.

ලන්ඩනයේ සිට සිය බිරියගේ අළු ගුජරාට් ප්‍රාන්තය වෙත රැගෙන විත් නැවත ලන්ඩනය බලා අදාළ යානයේ ගමන්ගත් 36 හැවිරිදි අර්ජුන් මනුබායි පතොලියා මෙසේ සිය බිරියගේ අළු තැන්පත් කර නැවත ලන්ඩනයට යමින් සිටියදී ගුවන් යානා අනතුරෙන් මියගොස් තිබේ.
සංස්කරණය – ඒමන්ති මාරඹේ