අනතුරත් සමග බෝයිං අවසන් ගමන් යාවිද ?

182 Views

බෝයිං ගුවන් යානයකින් ගමන් කිරීම ජීවිත රක්ෂණයක් වගේ දැනුණු කාලය අවසන් වී ඇත. බෝයිං 787-8 යානය අනතුරට පත්වී ජීවිත 297ක් මියගොස් අවසන්ය. අනතුරින් යානයේ සිටි පුද්ගලයන්ගෙන් ආශ්චර්යවත් ලෙස දිවි බේරා ගත්තේ එක් අයකු පමණි. ඉතිහාසයේ කිසි දිනක බෝයිං යානවක් මෙවැනි අනතුරකට පත්වී නැත. තවමත් අනතුරට හේතුව අනාවරණය වී නැත. එනිසා එය යාන්ත්‍රික දෝෂයක් ද මිනිස් අත්වැරැද්දක් ද කියා කිව නොහැකිය.

යානයේ නියමුවන් ක්ලයිව් කුන්දර් සහ සුමීත්

එයාර් ඉන්ඩියා ගුවන් සේවය බංකළොත් වීම සමග ටාටා සමාගම විසින් වසර 2022 දී එය මිලදී ගන්නා ලදී. අනතුරට පත් යානය ද ඒ සමාගමට අයත්වූ අතර මගීන් 250 කට යා හැකි තරම් විශාල යානයක් විය. යානය අහමදාබාද්හි සිට ලන්ඩනයේ ගැට්වික් බලා යෑමට පිටත් වී ගතවූයේ මිනිත්තු කිහිපයක් පමණි. යානයේ සිටි පුද්ගලයන් ගණන 242ක්වූ අතර ඔවුන් අතර ඉන්දීය ජාතිකයන් 169ක් ද බ්‍රිතාන්‍ය ජාතිකයන් 53 ක් ද එක් කැනේඩියානුවකු ද පෘතුගීසි ජාතිකයන් සත් දෙනකු ද සිට ඇත.

ගුජරාට් ප්‍රාන්තයේ හිටපු ප්‍රධාන අමාත්‍ය, භාරතීය ජනතා පක්ෂයේ විජේ රූපානි මියගිය ඉන්දියානුවන් අතර සිටි බව වාර්තාවේ. ගුවන් ගමන අරඹා අඩි 625ක් ඉහළට යානය නංවනවාත් සමගම මිනිත්තු කිහිපයකින් යානය ගොඩනැඟිල්ලක් මතට පතිත විණි. ගුවන් යානයේ ගැටලුවක් ඇති බව නියමුවන් දැන සිටි බව ඔප්පු වන්නේ ශවුන් ගුවන් යානා පාලන මැදිරියට උපකාර පතා සංඥාවක් දී තිබේ. එහෙත් පාලක මැදිරිය ප්‍රතිචාර දක්වද්දී කිසිදු පිළිතුරක් ලැබී නැත. ඇතැම් විට ගුවන් යානයේ සංඥා පද්ධතිය ඒ වන විටත් ක්‍රියා විරහිතව තිබුණා විය හැකිය.

සාමාන්‍යයෙන් ගුවන් යානා ආරක්ෂිත ප්‍රවාහන ක්‍රමයකි

බෝයිං 787 නම්වූ යානයක් කිසි දිනක කඩා වැටී නැත. එසේ නම් සිදු වූයේ කුමක්ද ? කළු පෙට්ටිය හමුවන තුරු නිසි පිළිතුරක් නැත. එන්ජිම අක්‍රීය වීම, කුරුල්ලකු හැපීම, තාක්ෂණික දෝෂ, වැරැදි අයුරින් යානය ඉහළට එසවීම වැනි විවිධ හේතු මේ ක්ෂේත්‍රයේ විද්වතුන් ගෙනහැර පාමින් සිටියි.

බෝයිං 787 යානා විශ්වාසවන්ත නමුත් එය මුලින්ම ගුවන්ගත කර තිබෙන්නේ 2013 දෙසැම්බරයේදීය. එය එයාර් ඉන්ඩියා ගුවන් සේවය මිලදී ගෙන තිබෙන්නේ 2014 ජනවාරි මාසයේදීය. ඒ අනුව ගුවන් යානය ගුවන්ගත වන්නේ දස වසකට පමණ සිටය. වසර තිහක පමණ කාලයක් ගුවන් යානායක් සේවයේ යෙදවිය හැකිය. ඒ අනුව ගුවන් යානය යල් පැන ගියා යැයි කිව නොහැකිය. ගුවන් නියමුවන් වූ කපිතාන් සුමිත් සබර්වාල් සහ සහාය නියමුවා (පළමු නිලධාරී) ක්ලයිව් කුන්දර් නියමුවන් දෙන්නා ද අත්දැකීම්වලින් පරිපූර්ණ වූ දෙදෙනෙකි. කපිතාන්වරයාට පැය 8200 ක ගුවන් ගමන් අත්දැකීම් තිබේ. සහාය නියමුවා පැය 11000ක අත්දැකීම් ඇත්තෙකි. වරද කොතැනද කියා තවමත් කිසිවකුටත් සිතාගත නොහැකිය. යානය කඩා වැටුණේ වෛද්‍ය විද්‍යාල නේවාසිකාගාරයක් අසලටය. පළාත පුරාම යානයේ සුන්බුන් විසිරී තිබිණි. ගොඩනැඟිලි රැසක් ද විනාශ විය. ගින්නෙන් සිරුරු, අවට ගස් ගොඩනැඟිලි පිලිස්සී කළු පැහැ ගැන්විණි.

අගමැති මෝදි සිද්ධිය කන වැකුණු සැණින් කියා සිටියේ එය වචනයෙන් කිව නොහැකි තරම් හද කකියවන පුවතක් බවය. අනතුරින් කම්පනයට පත් බ්‍රිතාන්‍ය අගමැති, රුසියානු ජනපති ව්ලැදිර් පුටින්, යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි, පකිස්තානු අගමැති ශෙබා ෂෙරීෆ්, මාලදිවයින් ජනපති ඇතුළු විශාල රාජ්‍ය නායකයන් පිරිසක් කනගාටුව ප්‍රකාශ කර තිබිණි.

තැඹිලි පැහැ පෙට්ටියෙන් සියල්ලට උත්තර

මේ වන විට ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශයෙන් සියලු විමසුම් සිදුවෙමින් පවතී. ගුවන් යානය නිපදවූ තැන සිට සුන්බුන් පරීක්ෂාව දක්වා මේ විමර්ශන මෙහෙයුම පුළුල් වෙයි.

කළු පෙට්ටිය යනුවෙන් හඳුන්වන තැඹිලි පැහැති උපාංගය සත්‍ය එළිදක්වනු ඇත. මේ තැඹිලි පැහැති කොටසේ රෙකෝඩර දෙකක් අඩංගුය. පළමු රෙකෝඩරය, ගුවන් යානා දත්ත එකතුවකි. එහි ගුවන් යානයේ වේගය, එන්ජිම, සැකසුම්, ගුවන් කුටියේ පීඩනය ආදී සියලු කරුණු අඩංගුය. අනෙක් රෙකෝඩරය හඬ පටිගත කරන්නකි. නියමුවන්ගේ ඇමැතුම්, ගුවන් ඇමතුම් සියල්ල පටිගත කෙරේ.

මාරකයෙන් දිවි ගලවා ගත් වාසනාවන්තයා

අති භයංකර දසුනක් මවා පාමින් ගිනි ගෙන කැබැලිවූ යානයේ සියල්ලන් දැවී අළු වී යද්දී දිවි ගලවා ගත්තේ එක් අයකු පමණි. ඒ හතළිස් හැවිරිදි විශ්වාස්කුමාර් රමේෂ්ය. ඔහු බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටින්නේ වසර ගණනක සිටය. ඔහුගේ බිරිය සහ දරුවා ද සිටින්නේ එංගලන්තයේය. ඔහු පවුලේ සාමාජිකයන් හමුවීමට ඉන්දියාවට පැමිණි දින කිහිපයක් ගතකර පිටවීමට සූදානම් වූවා පමණි. නැවත එංගන්තය බලා යෑමට ගුවන් යානයට ගොඩවුණු ඔහුට මිනිත්තු කිහිපයකින් විශාල හඬක් ඇසිණි. ඉන් පසු යානය පුපුරා ගියේය. ඔහුට ඉන් පසුවූ සිදුවූ කිසිවක් ගැන පැහැදිළි මතකයක් නැත.

රොමේෂ්ට පියවි සිහිය එන විට ඔහු වටා සිරුරු ගොඩ ගැසී තිබිණි. ඔහුගේ පපුවට, පාදයට සහ ඇස්වලට තුවාල සිදුවී තිබිණි. ඔහුට මරණ බිය දැනුණේ දිවි බේරා ගත් පසුවය. නැඟිට ගත් ඔහු දිවීමට පටන් ගත්තේය. 11A අසුනේ වාඩිවී සිටි ඔහු හදිසි පිටවීම් දොරටුවෙන් පිටතට පැනීමෙන් දිවි බේරිණි. පසුව බේරා ගැනීමේ කණ්ඩායමක් මගින් ඔහු රෝහලට රැගෙන යන ලදී. මරණයට අභියෝග කළ ඔහු මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. එහෙත් සියල්ලන්ම විශ්වාස්කුමාර් රමේෂ් මෙන් වාසානාවන්ත වූයේ නැත. මියගිය පිරිස අතර සැමියා හමුවීමට යන තරුණ පතිනියක ද සිටියාය. අනතුරට බිලිවූවන් අතර දරු පවුල් ද සිටියි.

රාජස්ථානයේ කුෂ්බු රාජුරෝහිත් විවාහ වූයේ ජනවාරි මාසයේදීය. ලන්ඩනයේ සේවය කරන සැමියා විවාහයෙන් පසු ප්‍රථම වරට දැකීමේ බලාපොරොත්තුවෙන් ගුවන් යානයට ගොඩවූ කුෂ්බුට දක්නට ලැබුණේ මාරයාය.

දිවිබේරාගත් විශ්වා

ලන්ඩනයේ පදිංචිවී දරුවන් සමග සැපදායක දිවියක් ගත කරන්න සිහින මැවූ ප්‍රතීක් ජෝෂි, වෛද්‍යවරියකවූ බිරිය දරුවන් තිදෙනා සමග ගමන් මලු පොදි බැඳ ගෙන යානයට ගොඩවුණේ ලන්ඩන් ගමන පස් දෙනාගේම අවසන් ගමන බව ඉවෙන් වත් නොදැනය. මියගිය ගුජරාටි ප්‍රධාන අමාත්‍යවරයා විජේ රූපානිගේ බලාපොරොත්තුව වූයේ ලන්ඩනයේ සිටින බිරිය මුණගැසීමය. දහසක් බලාපොරොත්තු පොදි බැඳ ගෙන ලන්ඩනය බලා යන සිය නෑසියන්ට සුබපැතූ පවුල්වල සාමාජිකයන්ට අවසන සිදුවූයේ මියෙන තුරු නිධන්ගත ශෝකයකින් හදවත පුරවා ගැනීමටය.

වෛද්‍ය නේවාසිකාගාරයට කඩා වැටෙද්දී ශිෂ්‍යයන් දිවා ආහාරය ගනිමින් ඉඳලා දශකයේ ඉන්දියාවේ දරුණුම ගුවන් අනතුර එයාර් ඉන්ඩියා 787 – 8 අනතුර සමඟ වාර්තා වුණු අතර අනතුරින් ජීවිතක්ෂයට පත්වූයේ යානාවේ ගමන් කළ පුද්ගලයන් පමණක් නොවේ. යානය කඩා වැටුණු පිරිමි වෛද්‍ය නේවාසිකාගාරයේ වෛද්‍ය ශිෂ්‍යයන් ඇතුළු නේවාසිකාගාරයේ පිරිසක් ද මරණයට පත් වූහ. මේ වන විට එක් නේවාසික වෛද්‍යවරයෙක්, වෛද්‍ය ශිෂ්‍යයන් පස් දෙනෙක් සහ විශේෂඥ වෛද්‍යවරයකුගේ බිරියක් මරණයට පත්වී ඇති බව තහවුරු කරගෙන තිබේ. තුවාල ලැබූ වෛද්‍ය ශිෂ්‍යයන්ගේ ගණන 60ට අධිකය. ඔවුන්ගෙන් ඇතැමුන්ගේ තත්ත්වය බරපතළය. අඟු‍රු වී ඇති සිරුරු බොහොමයක් හඳුනා ගැනීමට අසීරු බව කියවේ. එක් ශිෂ්‍යයකු දිවි බේරා ගැනීමට නේවාසිකාගාරයේ දෙවැනි තට්ටුවෙන් බිමට පැන තිබේ. ඔහු තුවාල ලබා බේරී තිබේ.

සී. ඩී. කුලසිංහ

Share This Article