ඇමරිකා එක්සත් ජනපදයේ ඩෙට්‍රොයිට් නගරයේ සිට ලොස්ඇන්ජලිස් නගරය දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට පැමිණීම ප්‍රමාද වීම නිසා ඇතුළු වීමට අවසරය නොලද මගියෙකු දුරකතනයෙන් ව්‍යාජ බෝම්බ බියක් පැතිරවීමේ චෝදනාව මත ඇමරිකානු පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඩෙට්‍රොයිට් නගරයේ සිට ලොස්ඇන්ජලිස් නගරය දක්වා ගමන් ගැනීමට නියමිතව තිබූ ස්පිරිට් ගුවන් සේවයේ -2145 දරන ගුවන් යානයට ගොඩවැදීම සඳහා ප්‍රමාද වී පැමිණි 23 හැවිරිදි ජෝන් චාල්ස් රොබින්සන් නැමැත්තාහට ගුවන් යානයට ඇතුළු වීමට ගුවන් තොටුපළ නිලධාරීන් විසින් අවසරය ලබා දී නොමැති අතර ඒ සම්බන්ධයෙන් උරණ වූ එම මගියා දුරකතනයෙන් ස්පිරිට් ගුවන් සේවයේ නිලධාරීන් අමතා අතපසු වූ ගුවන් යානයේ බෝම්බයක් ඇටවීමට ගුවන් මගියෙකු සැලසුම් කර ඇති බව දන්වා තිබේ. සිය තොරතුර සාධාරණීකරණය කිරීම සඳහා සැකකරු බෝම්බය රැගෙන පැමිණ ඇති මගියාගේ ස්වරූපය ද විස්තර කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ගුවන් සේවා බලධාරීන් විසින් ගුවන් යානයට නැඟ සිටි සියලු ගුවන් මගින් යානයෙන් බස්සවා පරීක්ෂා කර ඇතත් බෝම්බයක් සොයාගැනීමට නොහැකි වී තිබේ. කෙසේ වුවද මෙසේ ව්‍යාජ බෝම්බ බියක් පතුරුවමින් දුරකථන ඇමැතුම ලබා දුන් තැනැත්තා ඒ සඳහා යොදා ගත් ජංගම දුරකථනය හඳුනාගෙන ඒ ඔස්සේ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් පියවර ගෙන තිබේ. සැකකරු ව්‍යාජ බෝම්බ පුවත දැනුම් දීම සඳහා සිය දුරකථනය භාවිත කර තිබීම නිසා ඔහුව පහසුවෙන් කොටු කරගැනීමට නිලධාරීන්ට හැකි වී ඇති අතර ඔහුව අත් අඩංගුවට ගෙන ඇත්තේ එම තැනැත්තා නැවත සිය ගුවන් ගමන යෑම සඳහා අතපසු වූ ගුවන් යානය වෙතම පැමිණෙමින් සිටියදී බව අනාවරණය වී තිබේ.
සංස්කරණය – ඒමන්ති මාරඹේ