පසුගිය සති කිහිපයේ වනජීවී ක්ෂේත්‍රයේ අවධානය යොමු වූ එක් ප්‍රධාන මාතෘකාවක් වුණේ අයාලේ යන බල්ලන් විසින් කැස්බෑ බිත්තර හා කැස්බෑවුන් දඩයම් කරන බව. ඇතැම් සමාජ මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍යවල සඳහන් වූ අයුරින් මේ “බලු දඩයම්” කැස්බෑවුන්ගේ පැවැත්මට තීරණාත්මක බලපෑමක් ඇති කරනවා. දකුණු හා නිරිත දිග වෙරළ කලාපයේ මෙය සුලභවම සිදුවන බව වනජීවී නිලධාරීන්ම මාධ්‍යවල ප්‍රකාශ කර තිබුණා.
මීට කලකට ඉහත දී මධ්‍යම කඳුකරයේ නුවරඑළිය අවට මිනිසුන්ගේ පෙළඹවීමකින් තොරව ගෝනුන් දඩයම් කරන බලු රංචු කීපයක් ගැන මාධ්‍ය වාර්තා කොට තිබුණා. බලු රංචු ලුහු බැඳීම සහ සපා කෑම නිසා මියගිය සතුන්ගේ මලකුණු තැන තැන හමුව තිබුණා. මෙය අලුත් ප්‍රවණතාවයක් බවයි ප්‍රකාශ වී තිබුණේ.
බල්ලන් වනජීවී ගහනයන්ට ඇති කරන බලපෑම ගැන මා ලද අත්දැකීම් දෙකකුත් මීට එකතු කරන්න මා කැමතියි. මීට වසරකට පමණ ඉහතදී මා යාල ජාතික උද්‍යානයට සමීප නිමලව අභය භූමියේ සිටිය දී බල්ලන් කිහිප දෙනකු මුව රංචු ලුහු බඳින අයුරු නිරීක්ෂණය කළා. අප බලා සිටියදීම එක් අවස්ථාවක දී ඔවුන් මුවෙකුට පහර දුන්නා. වනජීවී නිලධාරීන් මැදිහත්ව පහර කෑ සතා ප්‍රතිකාර සඳහා රැගෙන ආවත් සුළු තුවාල නමුත් දැඩි කම්පනයකට ලක්ව සිටි මුවා මියගියා. මෙය දුලබ සිද්ධියක් නොවන බව මා තේරුම් ගත්තා.
දෙවන නිරීක්ෂණය එබඳු වනගත පරිසරයකදී ලද්දක් නොවෙයි. එය අප විශ්වවිද්‍යාලයේ දී ලැබූවක්. අපගේ විශ්වවිද්‍යාලය ද බල්ලන් වැඩි වශයෙන් සිටින පරිශ්‍රයක්. මේ පරිශ්‍රයේ සිටින බල්ලන් ඉත්තෑවන් මරා ආහාරයට ගත් අවස්ථා ගණනාවක් මා නිරීක්ෂණය කර තිබෙනවා. මෑතක සිට මොනරු සහ බිත්තර දඩයම් කිරීමට ද මේ සුනඛ රංචු පෙළඹී තිබෙන බව ආරක්ෂක නිලධාරියකු මා සමග ප්‍රකාශ කර සිටියා.
මේ වගේ අත්දැකීම් ග්‍රාමීය, නාගරික සහ වතු පරිසරවල ආධුනික හෝ දුලබ නැහැ. බල්ලන් සැම විටම ගැවසෙන්නේ මිනිස් ආශ්‍රය තිබෙන තැන්වල. විශේෂයෙන් අප වගේ රටවල නිවෙස්වල ඇති කරන සුනඛයන් පවා නිදැල්ලේ සැරිසරන්නට අත්හැර දමා තිබෙනවා. තවත් සුනඛයන් “වීදි සුනඛයන්” ලෙස මුළු ජීවිතයම ගත කරනවා. ඇතැම් විට මේ සතුන් අර්ධ ගෘහාශ්‍රිත සතුන් ලෙසයි ජීවත් වෙන්නේ. මොවුන්ට ආහාර හා ඖෂධ ලබාදෙමින් ඔවුන්ගේ සුභ සාධනය ගැන සිතමින් කටයුතු කරන පුද්ගලයන්, සංවිධාන ගණනාවකුත් අපේ රටේ තිබෙනවා. නමුත් මේ සතුන් මුළු ජීවිතයම ගෙවා ගමන්නේ මහ මග නිශ්චිත භාරකරුවකු ද නොමැතිවයි. මෙනිසා මේ සුනඛයන්ට ද උරුම වී තිබෙන්නේ කටුක සහ අසරණ ඉරණමක් බව කිව යුතුයි. මේ සතුන් නිසා ඇතිවන බහුවිධ ප්‍රශ්න අතරින් අද අපි මේ කතා කරන ගැටලුව එකක් පමණයි. බල්ලන් ඇති කරන්නන්ට බදු ගසන්නත් රජයේ සූදානමක් තිබෙන නිසා මෙවැනි සාකච්ඡාවක් ආරම්භ කිරීමත් නරක නැහැ.
බල්ලා සහ අපි අතර තිබෙන සම්බන්ධයට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. ඒක ආරම්භ වෙන්නේ බල්ලා අළු වෘකයාගෙන් (Gray wolf) වෙන්කර ගෘහස්ථකරණය (Domestication) කිරීමෙන්. මීට වසර 15,000-40,000 අතර කාලයේ යුරේසියානු කලාපයේ සිදු වූ බව පිළිගන්නවා. එය මානව ශිෂ්ටාචාරයේ සුවිශේෂී සන්ධිස්ථානයක්. වර්තමාන ලෝකයේ විවිධ අරමුණු උදෙසා ගෘහස්ථකරණය කොට වැඩි දියුණු කරන ලද බල්ලන් ප්‍රභේද (Breeds) 400කට වැඩි ප්‍රමාණයක් සිටින බව සඳහන් වෙනවා. ඒ වගේම තවම කැලෑවේ ජීවත්වන බල්ලන්ගේ සමීප ඥාතීන්ද ලෝකයේ විවිධ වනාන්තර කලාපවල හමුවෙනවා. අපේ රටේ නම් බල්ලාට ළඟින්ම ඉන්නේ නරියා (Canis aureus naria).
මෙහිදී අපේ සුවිශේෂී අවධානයට ලක්විය යුතු සුනඛයෙක් ඉන්නවා. එයා ජීවත්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ. නම ඩිංගෝ (Dingo). ඩිංගෝ සමහර පර්යේෂණ අනුව කියන්නේ වන වැදුණු බල්ලන් විශේෂයක් (Feral) හැටියට. තවත් අය Canis lupus dingo, Canis familiaris dingo, Canis dingo) හැටියටත් හඳුන්වා තිබෙනවා. ඔය විද්‍යාත්මක බෙදීම් කොහොම වුණත් අපේ සාකච්ඡාවට වැදගත්වන කොටස මෙන්න මේකයි.
දැන් ඩිංගෝ කියන්නේ ඔස්ට්‍රේලියානු තෘණ බිම්වල ප්‍රධානම මාංශ භක්ෂක සත්ත්ව විශේෂයක් (Apex predator) නමුත් ඩිංගෝ සහ අපේ ගෘහස්ථ සුනඛයා අතර ශාරීරික හා චර්යාමය වශයෙන් සමාන ලක්ෂණ ගණනාවක් තිබෙනවා. ඔවුන් තමන්ගේ ඥාතීන් වගේම රංචු ලැදියාවෙන් යුතු සහ රංචුව වශයෙන් දඩයම් කරන සත්තු. කොහොම වුණත් 2023 වසරේ දී ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලය (University of New South Wales) විසින් ප්‍රකාශයට පත් කළ පර්යේෂණ වාර්තාවකින් හෙළි කර තිබුණේ ගෘහස්ථ සුනඛයන් හා ඩිංගෝ අතර දෙමුහුම්කරණය (Hybridization) කලින් සිතුවාට වඩා බෙහෙවින් අවම බවයි. ඒ වගේම ඔස්ට්‍රේලියාවේ ආදිවාසීන් වන ඇබොර්ජීන්වරුන් (Aboriginal people) හා ඩිංගෝ අතර තිබෙන සබඳතාවයන් ගැනත් මේ වන විට කරුණු අනාවරණය කරගෙන තිබෙනවා. අපේ රටේ ආදිවාසීන් වන වැදි ජනතාව සමග දිවි ගෙවන බල්ලන් ගැනත් අපට මේ මාවතේම දිවෙන පර්යේෂණවලියක් තැනිය හැකි බව අපගේ අදහසයි.
අපේ රටෙත් බල්ලන් ගෘහස්ථකරණයේ ඉඟි හමුව තිබෙනවා. බෙල්ලන්බැඳිපැලැස්සෙන් හමුව තිබෙන ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා සාක්ෂි ඒ අතරින් ප්‍රධානයි. විජය කුමාරයා දිවයිනට පැමිණීමත්, බල්ලෙකුගේ ලකුණු අනුව ගොස් ජනාවාස සොයාගත් බවත් මහා වංශය කියනවා. ඊට අමතරව ජනශ්‍රැති, ප්‍රවාද සහ විහාර චිත්‍ර වැනි මූලාශ්‍රවලත් බල්ලන් පිළිබඳව සාක්ෂි තොරතුරු හමු වෙනවා.
අපේ ජාතික උද්‍යානවලත් දැන් බල්ලන් ගැවසීම වැඩිවෙලා. විල්පත්තු ජාතික උද්‍යානයේ මෑතක වුණු “කොටි-බලු පොරයක්” සමාජ මාධ්‍යවල පුළුල් ලෙස පැතිර ගියා. එය එක් සිදුවීමක් විතරයි. මෙබඳු තත්ත්වයන් දැන් සුලභ වෙමින් තිබෙනවා. කොටි වගේ සතුන් බල්ලන් දඩයම් කිරීමට නැඹුරු වීමේ ප්‍රවණතාවයක් මධ්‍ය කඳුකරයේ තැනින් තැන වාර්තා වෙනවා. බල්ලන් ඇමට තබා කොටි දඩයම් සිදුවන බවටත් වාර්තා තිබෙනවා. කොටින් පමණක් නොවේ, බල්ලන් ඇමට දමා කිඹුලන් මරා දැමීම පිළිබඳ සාක්ෂිත් අපට හමුව තිබෙනවා. මෙම ප්‍රවණතා නිසා වන සතුන් විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වීමේ අවදානමකුත් තිබෙන්න පුළුවන්. මේ වර්ධනය වන තත්ත්වයන් ගැන පශු වෛද්‍යවරුන් සහ වනජීවී කළමනාකරුවන් ද අවධානයෙන් සිටිය යුතුයි.
බල්ලා කියන්නේ අපේ දඩයම් සහකරු, ආරක්ෂකයා, සුරතලා වගේම අතිශය විශ්වාසවන්ත මිත්‍රයා. එයා ඒ විශ්වාසය බිඳ දමලා නැහැ. අපි එයාව කැලෙන් එළියට අරන් අපට අවශ්‍ය විදිහට යම් යම් ගති එකතු කරලා, සමහර දේ බැහැර කරලා ප්‍රති නිර්මාණය කරගෙන තිබෙනවා. ඒත් එයාගේ සමහර නිසගයන් එහෙමම තිබෙනවා. ඒක හරියට “උණ පුරුකේ දාලවත් බලු වලිගේ ඇද අරින්න බෑ” කිව්ව වගේ.
ඒ නිසා අපි මිනිස්සු විදිහට කරන්න ඕන දේ තමයි වන සතුන් හා ගෘහස්ථකරණය කරපු සතුන් එකිනෙක හා මුහුවෙන්න හා සම්මුඛ වෙන්න තිබෙන ඉඩ ප්‍රස්ථාවන් අඩු කරන එක. මේ දෙගොල්ල එකම අවකාශයක ඉන්නවා කියන්නෙම ඒක දෙපාර්ශ්වයටම අහිතකර වන නිසා. ඔබේ සුරතලා, ඔබේ ආරක්ෂකයා ඔබේ සීමාවේ තියාගන්න. වන සතුන්ට ඔවුන්ගේ සීමාවේ ඉන්න දෙන්න. මහා මාර්ග හා පොදු අවකාශ බල්ලන් ඇති කරන අවකාශ බවට පත් කරගත යුතු නැහැ. මොකද ඒ සතුන්ගේ වගකීම කවුරුත් නොගන්න නිසා. ඔබේ නිවසේ ඉන්න සුනඛයා පැටවුන් සමග මහ මඟට ගෙනත් දාලා අහක බලාගෙන බැන බැන ගිහිං හෝ බලු කපුටු දාන දීලා මේ ප්‍රශ්නය විසඳන්න බැහැ.
ඔබට ඔබේ බලු සුරතලාට වගේම අනෙක් සතුන්ටත් ඇත්තටම ආදරය, රැකවරණය දෙන්න අවැසි නම් ඔබේ සුරතලා ඔබේ පරිශ්‍රයේ තියා ගන්න. ඔවුන් අයාලේ යන්නට හැරීම හෝ මහ මගට අත්හැරීම වගේ දෙයක් හිතන්නවත් ඔබට අයිතියක් නැහැ එය මිනිසා සහ බල්ලා අතර තිබෙන ඓතිහාසික ගිවිසුම බිඳ දැමීමක්.
මංජුල කරුණාරත්න
සංරක්ෂණ භූගෝල විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, රුහුණ විශ්වවිද්‍යාලය.