අවුරුදු හයක් එංගලන්තයට වෙලා බබාලා තුන්දෙනයි, වයිෆුයි වෙනුවෙන් මහන්සි වෙලා එහෙ ජීවත් වෙන්න අලුත් ලෝකයක් හදලා අවුරුදු හයකට පස්සේ ආපහු ඉන්දියාවට ඇවිත් එයාගේ ආදරණීයයන් එයාගේ ළඟට එක්කන් යන්න පිටත් වෙච්ච, මේ විදියට හිනාවෙලා අලුත් ජීවිතය හොයන් ඉඟිල්ලිච්ච ගමන විනාඩි ගණනකින් අළුවෙලා යයි කියලා හීනෙකින්වත් හිතන්නෙ නැතුව ඇති.
අපේ ජීවිතේ කවදා කොහොම කොතනක ඉවර වෙයිද කියලා නොදන්න අපි ජීවත් වෙලා ඉන්න හැම දවසක්ම සතුටින් හිනාවෙලා ඉමු. මේ ජීවිතේ අරගෙන යන්න කිසිවක් නැහැ.
මුළු ලෝකයම කම්පාවට පත් කරමින් ඉන්දියාවේ අහමදාබාද් ගුවන්තොටුපළ ආසන්නයේ සිදුවූ ගුවන් අනතුරෙන් දිවි අහිමි වූ ඉන්දීය ජාතික වෛද්‍ය ප්‍රතික් ජෝෂිගේ දරු පවුල මුහුණ දුන් ඛේදවාචකය පිළිබඳ සමාජ මාධ්‍යයේ මේ දිනවල සැරිසරන වදන් පෙළකි ඒ.
වෛද්‍ය ප්‍රතික් ජෝෂි මීට වසර හයකට පමණ කලින් එංගලන්තයට වෛද්‍යවරයකු ලෙස සේවයට යන්නේ ඔහුගේ පවුලේ අනාගතය ගැන හීන කන්දක් පොදිබැඳගෙනය. තමන්ගේ ආදරණීය දරු පැටවු තුන්දෙනාට ඉහළ අධ්‍යාපනයක් ලබාදීලා ඔවුන් සමාජයේ කැපී පෙනෙන චරිත බවට පත් කිරීම ඒ හීන ලැයිස්තුවේ ඉහළින්ම තියෙන්නෙ ඇති.

වෛද්‍ය ජෝෂි අවුරුදු හයක් තිස්සේ තමන්ගේ දරු පවුල එංගලන්තයේ පදිංචියට ගන්න පුදුමාකාර වෙහෙසක් ගත්තා. අවසානයේ තම උත්සාහය ජයගත් ඔහු නැවත තම මව්බිමට යන්නේ දිගු කලක් තම බිරිඳ හා දරු තිදෙනාගෙන් වෙන්ව එංගලන්තයේ ගෙවූ ජීවිතය අවසන් කරමින්.
කෙටි නිවාඩුවකින් පසුව බිරිඳ හා දරු තිදෙනා සමග එංගලන්තයේ පදිංචියට යෑමට අවශ්‍ය සියලු පහසුකම් සූදානම් කරගත් වෛද්‍ය පෝෂි ඒ නිවාඩුව අතරතුර ශ්‍රී ලංකාවේ සංචාරයකටත් පැමිණියා. එසේ පැමිණි ගමනේදී ශ්‍රී දළදා මාලිගාව වන්දනා කර ගැනීමෙන් පසුව ලබාගත් සෙල්ෆි ඡායාරූපයක් සිය මුහුණු පොතට එක් කිරීමට ද ඔහු කටයුතු කර තිබුණා.
වෛද්‍ය ජෝෂිගේ බිරිඳත් ඉන්දියාවේ ජනප්‍රිය වෛද්‍යවරියක්. ඇය මෙම බිහිසුණු අනතුරට දින දෙකකට කලින් ඈ රැකියාව කළ රෝහලෙන් සේවයෙන් ඉවත් වුණේ සිය සැමියා සමග එංගලන්තයට ගොස් එහි රෝහලක වෛද්‍යවරියක ලෙස සේවය කිරීමේ බලාපොරොත්තුව ඇතිවයි. ඒ වගේම ජෝෂිගේ වැඩිමහල් පුත්‍රයා ද සිය පාසලෙන් ඉවත්කර ගන්නේ එංගලන්තයේ පාසලකට ඇතුළත් කිරීමේ සැලසුම් අනුවයි.
මෙවැනි සුවිශාල බලාපොරොත්තු ගොන්නක් පොදිබැඳගෙන ඉන්දියාවේ හයිද්‍රාබාද් ගුවන් තොටුපළෙන් එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් ගුවන් යානයට ගොඩවන වෛද්‍ය ජෝෂි ඇතුළු පවුලේ සාමාජිකයන් ගුවන් යානයේ අසුන් ගෙන සෙල්ෆි ඡායාරූපයක් ගත්තේ තම සුන්දර ගුවන් ගමනට සියල්ල සූදානම් බව ඥාතීන් සමග බෙදාහදා ගැනීම සඳහාය.

ඒ සුන්දර ගුවන් ගමන ආරම්භ කර තත්පර කිහිපයක් තුළ ජෝෂිලා ඇතුළු ගුවන් යානයේ ගමන් කළ දෙසීය පනහකට අධික පිරිසකගේ හීන අළු බවට පත් කරමින් ගුවන් යානය කඩාගෙන වැටෙනවා. ජෝෂිගේ මුළු පවුලම ඒ ගුවන් යානය තුළ දැවී යන්නේ ඉන්දියාවෙන් එංගලන්තයට අරන් යන්න හදපු සිහින සියල්ලත් සමගමයි.
ජීවිතය කියන්නේ මොන තරම් අවිනිශ්චිත වස්තුවක් ද කියලා තේරුම් ගන්න ජෝෂිලාගේ ඛේදවාචකය හොඳටම ඇති. අවුරුදු හයක් තිස්සේ වෛද්‍ය ජෝෂි පුදුමාකාර කට්ටක් කාලා ගොඩනඟාගත් තම ආදරණීයන්ගේ සොඳුරු අනාගතය අළුගොඩක් බවට පත්වෙන්න ගියේ තත්පර කීයද?
පැළ ඉණි වැටටත් ගහමරා ගන්නා මිනිස්සුන්ට වෛද්‍ය ජෝෂිලාගේ ඛේදවාචකයෙන් කියා දෙන්නේ ආචාර්ය උපාධියකින්වත් ලබාගන්න බැරි තරම් වටින පාඩමක් නොවෙයි ද?
වෛද්‍ය ප්‍රතික් පවුලේ සාමාජිකයින් සමග 2024 වසරේ ඔක්තෝබර් මස 20 වැනිදා සිට 24 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ කොළඹ, නුවර, නුවරඑළිය, ඇල්ල, යාල හා බෙන්තොට යන ප්‍රදේශවල දින 10ක් ගතකර ඇති අතර එම සංචාරයේදී ඔහුගේ පවුලට මග පෙන්වන්නා ලෙස කටයුතු කර ඇත්තේ දුලාජ් තිලකරත්න මහතාය.
කමල් බෝගොඩ