වසර 17ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ලැබීම අභිමානයක්
ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයකු සහ නායකයකු වන ඇන්ජලෝ මැතිව්ස් වසර 17ක ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබේ. ඒ අනුව මෙම විශිෂ්ටයා ලබන මස ගාල්ලේදී බංග්ලාදේශය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව ජගත් ටෙස්ට් ක්‍රිකට් දිවියට සමුදීම සනිටුහන් කරනු ඇති.
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිටියට තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් 2009 වසරේ ජූලි මස 04 වැනිදා ගාල්ලේදී ඇන්ජලෝ ඩේවිස් මැතිව්ස් පාකිස්තානය සමග පැවැති තරගයකදී ටෙස්ට් වරම් හිමිකර ගැනීමට සමත්විය. ඒ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජගත් ටෙස්ට් කැප් තොප්පිය හිමිකර ගත් 112වන ක්‍රීඩකයා ලෙසිනුයි.
මේ වන විට 37 හැවිරිදි වියේ පසු වන ඇන්ජලෝ මැතිව්ස් විසින් 2009 වසරේ දී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් වරම් ලබා ගනිමින් මේ දක්වා ටෙස්ට් ක්‍රිකට් තරග 118කට ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග කළේය.
මෙහි දී ඔහු විසින් 44.62ක පිතිකරණ සාමාන්‍යයක් ද සමග ලකුණු 8167ක් ලබා ගැනීමට සමත් වන්නේ, සිය පෞද්ගලික හොඳම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 200ක් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව වාර්තා කරමිනුයි. එමෙන්ම ඔහු විසින් ටෙස්ට් පිටියේ දී ශතක 16කද, අර්ධ ශතක 45ක් ද ලබාගෙන ඇත. ඔහු පන්දු යැවීමෙන් ටෙස්ට් කඩුලු 33ක් ද දවා ගැනීමට සමත්ව ඇත.
මේ වන විට ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන් අතර තෙවැනි ස්ථානයේ පසුවන අතර, එහි පළමු සහ දෙවැනි ස්ථානයේ පසුවන්නේ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනයි.
ඇන්ජලෝ මෙසේද පවසා තිබිණි.
“ගෙවුණු වසර 17ක කාලය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ලැබීම මම ලද ඉහළම ගෞරවය සහ අභිමානයයි.
මම ක්‍රිකට් වෙනුවෙන් සියලුම දේ ලබා දුන් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රිකට් විසින් ද මට සියලු දේ ලබා දෙමින්, මම අද සිටිනා පුද්ගලයා බවට පත් කළා.
මම තේරීම් කමිටුව සමග සාකච්ඡා කර අයුරින්ම සීමිත පන්දු වාර තරග සඳහා රටට අවශ්‍ය නම්, මම ඒ වෙනුවෙන් සූදානමින් සිටිනවා.”
සිසිර ඉන්ද්‍රජිත්