බන්ධනාගාරයට ඇවිත් ඇයගේ වීඩියෝ අරන් ලොව පුරා බෙදලා – නීතිඥයා කියයි
ඕන්නම් මාර්ගගත ක්‍රමය ඔස්සේ නඩුව අහන්නම් – මහෙස්ත්‍රාත්වරිය
උසාවි එන්න කැමතියි – විත්තිකාරිය
ශ්‍රී ලංකා ගුවන් තොටුපොළේ දී කුෂ් කිලෝ 46 ක් සමග අත්අඩංගුවට ගත් බි්‍රතාන්‍ය ජාතික 21 හැවිරිදි කාන්තාව තවදුරටත් ලබන ජුනි 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය නියෝග කළාය.
මීගමුව බන්ධනාගාරය මගින් මීගමුව මහෙස්ත්‍රාත් අංක 02 අධිකරණයට ඉදිරිපත් කිරීමේදී අතිරේක මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය ඊයේ (30 වැනිදා) නිකුත් කළාය.
නඩුව කැඳවූ අවස්ථාවේ දී මත්ද්‍රව්‍ය නාශක දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් සමගින් අත්අඩංගුවට ගත් කුෂ් කිලෝ 46 ද අධිකරණයට ඉදිරිපත් කළේය. එහිදී එය නඩු භාණ්ඩ කාමරයේ තැන්පත් කිරීමට අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය. එමෙන්ම ඉදිරි විමර්ශන ප්‍රගතිය අධිකරණට ඉදිරිපත් කරන ලෙස එම නිලධාරීන්ට නියෝග කළාය.
එහිදී චාලට් මේ ලී නම් වූ එම විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සම්පත් පෙරේරා මහතා සඳහන් කළේ ඇය දැනට රඳවා ඇති බන්ධනාගාරය වෙත මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා පිරිසක් ගොස් වීඩියෝ ගත කර ලොව පුරා ප්‍රචාරය කර ඇති බවයි. එමගින් ඇයට දැඩි අගතියක් සිදුව ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සොයා බලා සුදුසු
නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
එහිදී අතිරේක මහෙස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන් කැඳවා ඒ පිළිබඳව විමසුවාය.
ඊට පිළිතුරු දෙමින් එම නිලධාරීන් පවසා සිටියේ හිතවතුන් ලෙස පැමිණ ඇය සමග කතා කිරීමට අවසර ඉල්ලු බවත්, සාමාන්‍ය ක්‍රමවේදය ඔස්සේ ඊට අවසර දුන් බවත්ය. එහිදී පැමිණි පුද්ගලයකු ඉතා සංවේදි බොත්තමක් වැනි උපකරණයක් මගින් වීඩියෝගත කර ඇති බවයි.
විදෙස් මාධ්‍යවේදීන් ඒ අවස්ථාවේ දී නඩු කටයුත්ත වාර්තා කිරීමට පැමිණ සිටීම සම්බන්ධයෙන් ද එහිදි අවධානය යොමු කළ බන්ධනාගාර නිලධාරීන් ඒ පිළිබඳව ද මහෙස්ත්‍රාත්වරියට කරුණු වාර්තා කළේය.
එහිදී අතිරේක මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ නඩුව වාර්තා කිරීම සම්බන්ධයෙන් තමන්ට ගැටලුවක් නැති බවත් එය වාරණය කිරීමට අවශ්‍ය නැති බවත්ය. නමුත් විත්තිකාරියට ඒ සම්බන්ධයෙන් ගැටලු ඇත්නම්
මින් ඉදිරියට නඩුව මාර්ගගත ක්‍රමවේදයක් යටතේ ගැනීමට හැකි බව ද සඳහන් කළාය. ඒ පිළිබඳව විත්තිකාරියගෙන් විමසන ලෙස ඇගේ නීතිඥවරයාට පැවසීය. එහිදී ඇයගෙන් නීතිඥවරයා විමසා සිටි අතර ඇය විත්ති කුඩුවේ සිට ප්‍රකාශ කළේ තමා අධිකරණයට පැමිණීමට කැමැති බවයි.
එහිදී අතිරේක මහෙස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ දී විමසා සිටියේ මේ සම්බන්ධයෙන් මේ තරම් මාධ්‍ය අවධානය යොමු වීමට හේතුව කවරේදැයි කියාය. ඊට පිළිතුරු දුන් නීතිඥ සම්පත් පෙරේරා මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා රේගුව මගින් මෙය දැනට ලංකාවේ ගුවන් තොටුපොළ මගින් අල්ලා ගත් විශාලතම කුෂ් මත්ද්‍රව්‍ය තොගය යැයි පැවසීමත් බි්‍රතාන්‍ය ඩේලිමෙල් ආයතනය මෙහි බන්ධනාගාරය තුළ ගත් වීඩියෝ දර්ශන ප්‍රචාරය කිරීමත් ඊට හේතු බවයි.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය බන්ධනාගාරයට නියෝග කළේ ඇය බැලීමට පැමිණෙන අමුත්තන් ගැන මීට වඩා සැලකිලිමත් වී ඥාතියකු බව තහවුරු කිරීමෙන් අනතුරුව ඇය බැලීමට අවසර දෙන ලෙසයි. එමෙන්ම ඒ සඳහා පැමිණෙන පුද්ගලයන්ට කලින් අවසර ලබා ගත යුතු බව ද නියෝග කළේය. ඇය අකමැති නම් කිසිවකු මුණ ගැසීමට ඇය නොපෙන්වන ලෙසද නියෝග කළාය.
ඉන් අනතුරුව ඇය තවදුරටත් ලබන ජුනි 13 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය. සැකකාරිය වෙනුවෙන් නීතිඥ සම්පත් පෙරේරා, නීතිඥ ගයාන් කලටුවාව, නීතිඥ ඒෂාන් සඳුන්ගහවත්ත, නීතිඥ අයේෂා මුදුගොමුව යන නීතිඥවරු පෙනී සිටියහ. දකුණු ලන්ඩනයේ සිට පැමිණි 21 හැවිරිදි චාලට් මේ ලී මේ මස මුලදී රට තුළට නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කළ බවට රේගු නිලධාරීන් චෝදනා කරමින් මත්ද්‍රව්‍ය මලු සමග ඉකුත් මැයි 13 වැනිදා අත්අඩංගුවට ගෙන තිබිණි.
හිටපු ගුවන් සේවිකාවක වන ඇය සඳහන් කළේ ඇගේ ගමන් මලුවල මත්ද්‍රව්‍ය ඇති බව දැන සිටීම ප්‍රතික්ෂේප කරන බවත් ඒවා කිසිවකු එහි තැන්පත් කර ඇති බවත්ය.
ඒ.ජේ. ඒ. අබේනායක