වැල්ලවාය පොලිස් වසමට කෝන්වැලෑන ප්‍රදේශයට පසුගිය(30)දා වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායමකට මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිට සැකකරුවෙකු විසින් පිහියකින් පහරදීමට තැත්කර ඇත. එම අවස්ථාවේදී පොලිසිය සැකකරුට වෙඩි තබා තිබේ.
උප පොලිස් පරීක්ෂ ප්‍රේමසිරි මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ත්‍රීවීල් රථයකින් වැටලීම් රාජකාරිවල යෙදී සිටියදී ලද තොරතුරකට අනුව උසාවියේ නඩු දෙකක් සඳහා විවෘත වරෙන්තු නිකුත්කර ඇති සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කෝන්වැලෑන ප්‍රදේශයේ බුදුමැදුර හංදිය අසලට ගොස් ඇත. එම අවස්ථාවේ ඒ අසල සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට යෑමේදී සැකකරු කලහකාරී ලෙස හැසිරෙමින් නිලධාරීන්ට උක්ගස් කපන පිහියකින් පහරදීමට තැත්කර තිබේ. එසේ නොකරන ලෙස උප පොලිස් පරීක්ෂකවරයා ඔහුට පවසා ඇතත් ඔහු දිගින් දිගටම කළහකාරී ලෙස හැසිරීම නිසා ඔහුගේ රිවෝල්වරයෙන් සැකකරුගේ දණහිසෙන් පහළට වෙඩි තබා ඇත. සැකකරුගේ දකුණු පාදයේ දණහිසට උඩින් වෙඩි වැදී තුවාල සිදුවී තිබේ.
සැකකරු ළඟ තිබී බිම වැටී තිබූ උක්ගස් කපන පිහිය, ෂොපින් බෑගයක තිබී බිම වැටී තිබූ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2750ක්, හෙරෝයින් මිලිග්‍රෑම් 16ක්, බැංකුවට බැර කළ රුපියල් 29,000ක් සහ රුපියල් 1,000ක බැර කරන ලද රිසිට් පත් 02 පොලිස් භාරයට ගෙන ඇත.
මෙලෙස තුවාල ලබා ඇත්තේ වැල්ලවාය මහවෙලමුල්ල ගඟපාර පදිංචි 37 හැවිරිදි කුලී වැඩ වල නිරත වන අයෙකි. තුවාලකරු වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරගල දිස්ත්‍රික් මහ රෝහලට මැරු කර තිබේ. සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත්වරයා විසින් රෝහලට පැමිණ පරීක්ෂා කිරීමෙන් අනතුරුව ජුනි 03 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ගුණවර්ධන මහතාගේ මෙහෙයවීම යටතේ සහකාර පොලිස් අධිකාරී එච්.ඩබ්ලිව්. උදය කුමාර මහතා පරීක්ෂණ පවත්වයි.
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක