හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කර උපයා ගත්තැයි කියන මිලියන 27ක මුදලක් වෙනත් අයකුගේ නමින් බැංකු ගිණුමක් පවත්වා ගෙන ගොස් පරිහරණය කළැයි යන චෝදනාව මත දෙමටගොඩ චමින්ද හෙවත් චමින්ද රවී ජයනාත් කොළඹ මූල්‍ය වංචා ඒකකය විසින් ගොනු කර ඇති නඩුවේ දෙවැනි සැකකරු ලෙස නම් කරන ලදී.
කොළඹ මහ බැංකුවේ මූල්‍ය රහස් අංශය විසින් කොළඹ මූල්‍ය වංචා ඒකකයට ලබාදුන් තොරතුරු මත මෙලෙස විමර්ශන ආරම්භ කිරීමෙන් පසු සොයාගෙන ඇත්තේ පළමු සැකකරු වන උදිත් නිශාන්ත යන අයගේ නමින් පෞද්ගලික බැංකුවක් තුළ පවත්වාගෙන ගොස් ඇති බැංකු ගිණුම මගින් මිලියන 27 කට අධික මුදලක් හුවමාරු වී ඇති බවය. විමර්ශනයේ දී ඒ කරුණු අනාවරණය වූ බව අධිකරණයේදී ප්‍රකාශ කෙරිණි.
විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ දෙමටගොඩ චමින්ද විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් කර උපයා ගන්නා ලද මුදල් මෙලෙස පළමු සැකකරුගේ නමින් පවත්වාගෙන ගිය ගිණුම ඔස්සේ පරිහරණය කර ඇති බවයි.
ඉදිරි විමර්ශන සඳහා දෙසැම්බර් මස 12 වැනිදා නඩුව කැඳවීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේය. එදිනට ස්කයිප් තාක්ෂණය ඔස්සේ සැකකරුවන් ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාරයට නියම කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක