තණමල්විලට තිබූ එකම විදුලි අලි වැට නිලධාරීන් විසින් ගලවාගෙන යෑමත් ඒ සඳහා අලුත් විදුලි වැටක් සවි නොකිරීමත් නිසා ප්‍රදේශවාසී දහස් ගණනක් ජනතාව මරණීය අවදානමකට ලක්ව සිටිති. අලි වැට යනු 100% ක්ම ප්‍රායෝගික ක්‍රමයක් නොවේ. ඇතැම් අලි වෝල්ටේජ් තිස්තුන් දහසේ විදුලි වැටක් ඉදි කළද එය පාගා පොඩි කර ගම්වැදීමට බිය නැත. එහෙත් එවැනි අලින් සිටින්නේ 5% ක් පමණ වූ සුළු පිරිසකි. විදුලි වැට ගැලවීම නිසා වල් අලින්ගෙන් 100% ක්ම ගම්වලට කඩාවැදී ගෙවල් කුඩු කරන තත්ත්වයක් මතුවී තිබේ. අලියා යනු රටට සම්පතකි. මිනිසා ද රටට සම්පතකි. මේ සම්පත් දෙක කළමනාකරණය කළ හැක්කේ ආණ්ඩුව යටතේ ඇති වනජීවී දෙපාර්තමේන්තුවට ය. කෙසේ වුවද තණමල්විල අලිවැට ගැලවූයේ කවර හේතුවක් නිසා ද එම වැට යළි ඉදි නොකළේ කවර හේතුවක් නිසාද යන කාරණා සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කළ යුතුය. මේ සඳහා ඉතාම සුදුසු දේ වන්නේ කොමිසමක් පත් කිරීමය. මේ කොමිසමට වල් අලියෙක් ද, වගා පාළු කරන මොනරෙක් ද, ගෙඩි කඩා කන රිළවෙක් ද ඇතුළත් කිරීමෙන් වැදගත් පලප්‍රයෝජන නෙළාගත හැකිය. කොමිසමේ වැඩ හරියාකාරව සිදු කිරීමට නම් වල් අලින් කිහිපදෙනකුගෙන් සහ මොනරුන් කිහිපදෙනකුගෙන් ද කටඋත්තර ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. කොමිෂන් සභා කාමරය තුළට පැමිණීමට අලියාට නොහැකි බැවින් කොමිසම වනාන්තරය මැද රැස්විය යුතු බව අපි යෝජනා කරමු. වල්අලි ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් බවට පත් වන්නේ සංවර්ධනය නමැති ක්‍රියාවලියත් සමගය. සංවර්ධනය නිසා වගා කරන ඉඩම් ප්‍රමාණය වැඩි විය. වගා ඉඩම් පිටරටින් ආනයනය කළ නොහැකි වේ. අප වගා ඉඩම් ලෙස ගත යුත්තේ රටේ තිබෙන කැලෑ ඉඩම්වලින් කොටසකි. මෙසේ, කැලය සුද්ද කර වගා කටයුතු ද සිදු කරන විට වන සතුන්ට අවශ්‍ය ඉඩම් ප්‍රමාණය අඩු වීමට පටන් ගනී. එවිට වල් අලි ද, වෙනත් සත්තු ද ගම්වදිති. රටක් යනු විශාල ප්‍රශ්නයකි. ලංකාව යනු ප්‍රශ්න පත්තරයකි. තමාගේ ඔළුවට වැටෙන්න යන්නේ ලෝක ලෙඩක් බව මේ රට භාර ගැනීමේ දී ජනාධිපති අනුර දිසානායක දැන සිටියේ නැති බව අපගේ විශ්වාසය වේ. කවුරු බලයට ආවත් වැඩවර්ජන එලෙසම පවතී. කවුරු බලයට ආවත් ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ වැඩවර්ජන නවතින්නේ නැත. කවුරු බලයට ආවත් වෘත්තීය සංගම් තෘප්තිමත් කළ නොහැක.
පසුගියදා දුම්රිය මාර්ගයක සංඥා විදුලියෙහි පත්තුවීමේ දෝෂයක් ඇති විය. රතු එළිය අවශ්‍ය තැනට කොළ එළිය පත්තු වීමෙන් මේ දෝෂය හට ගත්තේය. ඒ නිසා දුම්රිය මාර්ගයේ සංඥා කටයුතු භාරව සිටින නිලධාරීහු සේවයෙන් ඉවත් වූහ. ඔවුන් කියා සිටියේ සංඥා එළි පද්ධති නිවැරදි කරනතුරු තමන්ට සේවයට පැමිණීමට නොහැකි බවය.
විදුලිවැට යනු 1970 න් පසු ඉදිකරන ලද ආරක්‍ෂක උපක්‍රමයකි. 1970 දී සමගි පෙරමුණු ආණ්ඩුව බලයට පත්වන විටත් ලංකාව ගැමි රාජ්‍යයකි. ලයිට් නැති, ටෙලිෆෝන් නැති, පාරවල් නැති මේ රටේ ජනයා ඉතා සීමාසහිත ජීවිත ගත කළහ. එහෙත් 1977 න් පසු විවෘත ආර්ථිකය රට තුළට කඩාවැද සංවර්ධනයේ අවශ්‍යතාව ඉක්මන් කළ බැවින් සංවර්ධනය නමැති සාධකය රට පුරා ව්‍යාප්ත වීමට පටන් ගත්තේය. අලින්ට අයිති ප්‍රදේශවල ගම්මාන සහ හෝටල් සාදන ලදී. මේ නිසා කැලේ ඇතුළටම යෑමට අලින්ට සිදු විය. එහෙත් හිටිගමන් සිය පාරම්පරික වාස භූමිය මතක් වීම නිසා අලි අලුත හැදූ ගම්වලට පැමිණියහ. ඉන් පසු ගමේ ගෙවල්වලට බලහත්කාරයෙන් කඩා වැදුණු ඒ සත්තු ලුණු මුට්ටිය උරා බී බත් මුට්ටිය ගිල දමා ගෙදර තිබූ වී ගෝනි සියල්ලම සුරුස් ගා බඩට දමා ගත්හ. මෙයට විරුද්ධ වීමට ගෙවල් අයිතිකාරයා හෝ වෙනත් කෙනකු ඉදිරිපත් වූයේ නම් ඔහු පාගා මැරීම අලියාගේ සිරිත විය. අලියා කලිසම් අඳින්නේ නැත. ඌ පාසල් ද නොයයි. ඌ රස්සාවකට ද යන්නේ නැත. ඌට ඇත්තේ ආහාර පිළිබඳ අවශ්‍යතාව සහ ලිංගික අවශ්‍යතාව පමණි. මේ නිසා පළමු වන අවශ්‍යතාව තද වූ විට මේ සත්තු ගම්වලට කඩා පැනීමට පුරුදු වූහ. මේ කඩා පැනීමේ ප්‍රතිඵලය ඉතා දරුණුය. මෙයට ගොදුරු වූ සාමාන්‍ය ජනයා පාගා මරා දමන ලදී. මේ අලි පන්ති කැලයට පැන්නීම තරම් සුදුසු කේඩරයක් වනජීවී දෙපාර්තමේන්තුවට නැත. එසේ කියා ජීවත් විය යුත්තේ අලියා පමණක් නොවේ. මිනිසා ද ජීවත් විය යුතුය. කොළඹට එක බයිලාවක් කියන අපේ දේශපාලන ප්‍රභූ පැළැන්තිය ඈත පිටිසරබද ගම්මානවල සිටින ගොවි ජනතාව ගැන කල්පනා කළ යුතුය. වර්තමාන ජනාධිපති අනුර දිසානායක ද ගොවි පවුලකින් පැවැති එන්නකු බව අපගේ විශ්වාසය වේ.