ගණේමුල්ලේ සංජීවට වෙඩි තැබූ පුද්ගලයා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී වෙඩි තැබීම සිදුවන විට සංජීව සමග කූඩුවේ සිටි කිසිදු පුද්ගලයකු මිනීමරුවා හඳුනාගෙන නැති බව දැන ගන්නට තිබේ. මෙය අමුතුවෙන් කිව යුතු කතාවක් නොවේ. මොළේ ඇති කිසිම මිනිසකු මේ මිනීමරුවා හඳුනා ගන්නේ නැත. එයට හේතුව එසේ හඳුනා ගත්තොත් ඒ හඳුනා ගැනීම සිදු කරන එකා ඩුබායි සිට දෙන ඕඩරයකින් වෙඩි කා මියයෑමට ඉඩ තිබීමය. ගණේමුල්ලේ සංජීවගේ මිනීමරුවාට තරම් ප්‍රසිද්ධියක් ලැබුණු කිසිදු සාපරාධී මුහුණක් පසුගිය මාස තුන තුළ තිබුණේ නැත. එම මිනීමරුවා උසාවියට ඇතුළු වන හැටිත්, ඉරේෂා සෙව්වන්දි නමැති තරුණියක සමග කටයුතු කරන හැටිත් ඊට පසු අත්අඩංගුවට පත්වී පොලිසිය භාරයේ සිටි හැටිත් හැම මාධ්‍යයකම පළ විය. ඒ දවස්වල එම අපරාධකරුවා හඳුනා නොගත්තේ කුඩා දරුවන් පමණි. එය එසේ නම් ඔහු සමග එකට උසාවි කූඩුවේ සිටි අය ඔහු හඳුනා නොගත්තේ විශේෂ හේතුවක් නිසා විය යුතුය. ඒ විශේෂ හේතුව වූ කලී, මරණ බියයි. මරණ බිය හටගත් විට, මොළේ ඉබේටම පෑදෙයි. දුෂ්කර ගණිත ගැටලු පවා විසඳීමට හැකි වේ. අපගේ වැටහීමට අනුව ගණේමුල්ලේ සංජීව ඝතකයා හඳුනා නොගැනීම පිටුපස තිබෙන කතාව මෙසේය. එය මෙසේ සංක්ෂිප්ත කළ හැකිය. මුළු රටම ගණේමුල්ල සංජීවගේ ඝාතකයා හඳුනයි. නමුත් පෙරට්ටුවේදි ගණේමුල්ල සංජීවගේ ඝාතකයා නොහඳුනයි.
කෙසේ වුවද අද අප සාකච්ඡා කරන්නේ වෙනත් සමාජ ප්‍රශ්නයකි. පසුගිය අවුරුදු පහ තුළ මේ රටේ සිදු වූ නවක වධ අපරාධ ගැන කිසිදු නෛතික ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසා තිබේ. මේ කියන අවුරුදු පහ සෑදී ඇත්තේ ආණ්ඩු තුනක එකතුවෙනි. පළමු වැනි ආණ්ඩුව ගෝඨාභයගේ ආණ්ඩුවයි. දෙවැන්න රනිල්ගේ ආණ්ඩුවයි. තුන්වැනි ආණ්ඩුව අනුර දිසානායකගේ ජේ.වී.පී. – එන්.පී.පී. ආණ්ඩුවයි. මේ අවුරුදු පහෙන් වැඩිම කොටස අයිති වන්නේ ගෝඨාභයට සහ රනිල්ට ය. ඉතුරු මාස හතක පමණ කාලය අනුර දිසානායකට අයත් ය. අපගේ වැටහීම අනුව පසුගිය මාස කිහිපය තුළ සිදු වූ නවක වධ අපරාධ සියල්ලටම එරෙහිව නීති කෘත්‍ය පටන්ගෙන තිබේ. අප දන්නා පරිදි පසුගිය අවුරුදු පහේ සිදු වූ ඇතැම් නවක වධ අපරාධ සම්බන්ධයෙන් පොලිස් පැමිණිලි පවා නැත. සාමාන්‍යයෙන් අපගේ වැටහීම අනුව මේ රටේ විශ්වවිද්‍යාල, විද්‍යා පීඨ, කාර්මික විද්‍යාල සහ රජයේ උසස් අධ්‍යාපන ආයතන හැම එකකම නවක වධ සිද්ධි හටගනී. සමහර විට දවසකට සමස්ත විශ්වවිද්‍යාලවල සිදුවන නවක වධ අවස්ථා ගණන දහස ඉක්මවීමට ඉඩ තිබේ. මේ අනුව පසුගිය අවුරුදු පහ තුළ නවක වධ අවස්ථා ලක්‍ෂ ගණනක් සිදුවුණා විය හැකිය. මෙම අවස්ථා සියල්ල පොලිසිවලට වාර්තා කරනු නොලැබේ. යම් හෙයකින් මේ අවස්ථා සියල්ලම පොලිසිවලට පැමිණිලි කර නීති කෘත්‍යයන් බවට පත් වුණොත් එම නඩු ඇසීම සඳහා ලංකාවේ උසාවි පමණක් නොව ඉන්දියාවේ උසාවි සියල්ලමත්, චීනයේ උසාවි සියල්ලමත් කුලියට හෝ බද්දට ගැනීමට අපට සිදුවේ. එබැවින් පොලිසිවලට යා යුත්තේ ප්‍රධාන සිදුවීම් පමණි. මෙහි ඇති ප්‍රශ්නය වන්නේ ඒ ප්‍රධාන සිදුවීම් සියල්ල ද නඩු කටයුතු බවට පත් නොවීමය. එනම්, එක්කෝ එම සිදුවීම්වල වින්දිතයන් පොලිසියට ගොස් නැත. නොඑසේ නම් නවක වධ සිද්ධීන් ගැන පැමිණිලි කිරීමට පොලිසියට පැමිණි අය පොලිසිය විසින් ගනන් ගනු ලැබ නැත. මෙය ඉතාම භයානක තත්ත්වයකි. එයින් හැඟී යන්නේ නවක වධය දුන්නාට නීතියෙන් කිසිදු ප්‍රශ්නයක් නොවන බවට මතයක් විශ්වවිද්‍යාල තුළ පැතිර ගොස් තිබීමය. ලංකාවේ එල්ලුම්ගස ක්‍රියාත්මක නොකෙරේ. ඒ නිසා කිසිදු කෙනෙක් මිනීමැරීමට බිය නැත. එල්ලුම්ගසට නියම වූ පසුව වුවද යහපත් කල්ක්‍රියාව නිසා දඬුවම් කාලයෙන් සෑහෙන ප්‍රමාණයක් ගෙවා, නිදහස් වීමට මිනීමරුවාට පුළුවන. මේ නිසා හිරේ ගිය දා සිට මිනීමරුවෝ සිල් ගනිති. බණ්ඩාරනායක ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා හිරේට නියම වූ මාපිටිගම බුද්ධරක්ඛිත චීවරධාරියා හිරේට ගිය වහාම ජම්පර් ඇඳීමට පෙර පන්සිල් ගෙන උපැවිදි විය. මෙය භික්‍ෂුවක් ගිහියකු බවට පත් කරන ක්‍රමවේදයකි. මෙසේ උපැවිදි වීමෙන් පසු ගිහි බුද්ධරක්ඛිත සිරගෙදර තුළ ධර්ම දේශනා කිරීමට පටන් ගත්තේය. එහෙත් වැඩි කල් නොගොස්ම උන්දෑ සිරගෙදර තුළම මළේය. ඒ නිසා විශේෂ සමාවක් ලබා හිරගෙයින් නික්ම යෑමට ඔහුට බැරි විය.
නීතියෙන් රිංගා නිරුපද්‍රිතව ගෙදර යෑමට නවක වධයට හැකිවීම ඛේදවාචකයකි. මේ රටේ නීතියට අනුව නවක වධ සිද්ධියකට වරදකරු වන විශ්වවිද්‍යාල ශිෂ්‍යාව හෝ ශිෂ්‍යයා, දෑ අවුරුද්ද නොඉක්මවන සිරදඬුවමකට යටත් විය හැකිය. එසේම නවක වධකයා විසින් වින්දිත පාර්ශ්වයට කරන ලද හානිය නිමිත්තෙන් වන්දියක් පවා අය කර ගැනීමට හැකිය. එසේම නවක වධකයා ස්ත්‍රී දූෂණයක්, ශාරීරික හිංසාවක් හෝ මිනීමැරුමක් කර ඇත්නම් එම සිද්ධිය මේ රටේ අපරාධ නීතිය යටතේ පසිඳලිය හැකිය. නවක වධය නැසීමට මේ තරම් නීති තිබියදීත් ඒ සම්බන්ධයෙන් නඩු කටයුතු සිදු නොවීම ඛේදවාචකයකි. එම නඩු කටයුතු අවුරුදු පහක් පුරා සිද්ධ නොවීම ඩබල් ඛේදවාචකයකි. ලංකාවේ නවක වධය යනු, විශ්වවිද්‍යාලයේ නවක සිසුන්ගේ පළමු අවුරුද්දේ පමණක් සිදුවන ක්‍රියාවක් නොවී ඔවුන් විශ්වවිද්‍යාලයෙන් එළියට යන තුරුම සිදුවන ක්‍රියාවක් බවට පත්වී තිබේ. එනම් මේ අමානුෂික චූන් එකේ, සීමාවක් නැති වීමය. සමහර විට අගමැති හරිනි අමරසූරිය මෙනෙවිය පාර්ලිමේන්තුවේ දී කතා කරමින් සිටි අවස්ථාවේ දී පවා නවක වධ සිදුවීම් සිය ගණනක් සිදුවන්නට ඇත. හරිනි අමරසූරිය යනු අලුතින් හිතන, අලුතින් දකින රැඩිකල් කාන්තාවක් බව අපගේ වැටහීම වේ. ඒ අනුව නවක වධකයන් ගැන ගන්නා පියවර සිසුන්ගේ ‘ආරක්ෂාව’ උදෙසාම විය යුතුය.