මරණය ඉතාම පොදු ය. මෙලොව උපදින හැම මනුෂ්‍යයෙක්ම මියයයි. එහෙත් මාලිනී ෆොන්සේකාගේ මරණය මේ රටේ ජනතාව තුළ ඇති කරන ලද කම්පනය ඉතා විශාලය. මාලිනී ෆොන්සේකා යනු ගෙදරදොරේ නාමයකි. නූතන පරම්පරාවේ සිටින හැම දෙනාමත් ඇය ගැන දනිති. නූතන නව යෞවන පරම්පරාවේ සිටින 90% ක පමණ පිරිසක්වත් ඇය ගැන දන්නවා ඇත. ඇය බරපතළ ලෙස රෝගීව සිටින බව රට පුරා ප්‍රසිද්ධ වූ අතර, එම රෝග තත්ත්වය අනුවත්, උපහාරයක් පිණිස ඇය ප්‍රසිද්ධ වේදිකාවට ගෙනා අවස්ථාවක දී හැසිරුණු ස්වරූපය අනුවත් ඇගේ අවසානය ඉතා ළංව තිබෙන බව ඇගේ රසිකයන්ගේ උපවිඥ්ඥානයට දැනිණ. ඇය ප්‍රසිද්ධ වේදිකාවට ගෙන්වන ලද අවස්ථාවේ දී සිටියේ ඉතාම වේදනාවෙනි. ඇය ඒ වේදනාව යටපත් කර ගැනීම සඳහා අප්‍රමාණ උත්සාහයක් දැරුව ද එය අසාර්ථක විය. මේ අවස්ථාවට සහභාගි වූ ඇගේ සමකාලීන නළු නිළියෝ ඇගේ ස්වරූපය දැක හඬා වැළපුණාහ. ඒ මොහොතේ දී මාලිනී ද හැඬූ නමුත් ඇය කඳුළු පිට කළේ නැත. ඇය හඬන බව නරඹන්නන් දැන ගත්තේ ඇගේ මුහුණේ මාංසපේෂි චලනය වූ ආකාරයෙනි. මාලිනීගේ මරණය මේ ශතවර්ෂයේ මේ දක්වා සිදුවූ වැඩිම කම්පනයක් ගෙනදුන් මරණය විය හැකිය. ඇය මියගියේ අවුරුදු 78 දීය. ඒ අවුරුදු 78 ක කාලය තුළ අවුරුදු 7800 ක් තුළ දිය හැකි තරම් දායකත්වයක් ඇය සිංහල සිනමාවට මෙන්ම ආසියාවේ වෙනත් රටවල සිනමාවට ද ලබාදී තිබුණාය. ඇය අවස්ථා විසි ගණනක දී පමණ ලංකාවේ ජනප්‍රියම නිළිය ලෙස නරඹන්නන්ගේ ඡන්දවලින් තේරී පත්වූවාය. මේ අතර 2010 දී CNN රූපවාහිනිය විශාල මුදලක් වැයකර ආසියාවේ නළු නිළියන් ගැන සමීක්‍ෂණයක් කළේය. එම සමීක්‍ෂණයේ අවසන් ප්‍රතිඵලයට අනුව ආසියාවේ ශ්‍රේෂ්ඨතම චිත්‍රපට නළු නිළියන් විසිපස්දෙනා අතුරින් කෙනකු ලෙස මාලිනී ෆොන්සේකා තේරී තිබුණාය. ඒ පිළිබඳ ප්‍රවෘත්තිය CNN ආයතනය විසින් ඇයට නිල වශයෙන් භාරදෙන ලද අවස්ථාවේ දී ඇය කළේ අහිංසක ලෙස සීනාසීමත්, ස්තුතියි යන්න පැවැසීමත් පමණි. ඇය ඒ වෙනුවෙන් පාටියක් දැම්මේ ද නැත. පත්තරවලට සහ රූපවාහිනියට ඉන්ටවිව් දුන්නේ ද නැත. මාලිනී එම අවස්ථාව සලකන ලද්දේ තමන්ගේ ජීවිතයේ තවත් එක් සරල අවස්ථාවක් ලෙස පමණි. එයට හේතුව සිය රංගන ජීවිතය පටන් ගත් දවසේ සිට මාලිනී ඉදිරිපිට හැම විටෙකම සම්මානයක් තිබීමය. 1963 දී ‘නොරත රත’ නමැති වේදිකා නාට්‍යයෙන් ඇය නිළි වෘත්තියට පිවිසුණාය. 1968 දී ඇය රඟපෑ ‘අකල් වැස්ස’ නාට්‍යය වෙනුවෙන් හොඳම වේදිකා නිළි සම්මානය ඇයට ලැබිණ. 1963 සිට සිනමාවට පිවිසීම දක්වා කාලය අතරතුර මාලිනී ෆොන්සේකා වේදිකා නාට්‍ය 14 ක රඟපෑවාය. ඇය සිනමාවට යොමු කරන ලද්දේ තිස්ස ලියනසූරිය සහ ජෝ අබේවික්‍රම විසිනි. ඇගේ සිනමා ජීවිතය සම්බන්ධයෙන් ලිපි බොහොමයක් ඉදිරි දිනවල අපේ පුවත්පතේ පළ වීමට ඉඩ තිබේ. එබැවින් ඒ මාතෘකාව සම්බන්ධයෙන් අපි වැඩිමනත් කතා නොකරමු. එහෙත් ධර්මසේන පතිරාජගේ ‘එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපටයේ ඇය රඟපෑ චරිතය වෙනුවෙන් ඇයට සම්මානයක් හිමි විය. එසේම ‘සිරිපාල සහ රන්මැණිකා’ චිත්‍රපටයේ ඇය රඟපෑ චරිතය වෙනුවෙන් ද හය වැනි ඉන්දියානු ජාත්‍යන්තර සිනමා උළෙලේ දී ඇයට සම්මානයක් ලැබිණ. එසේම 2009 දී ‘ආකාස කුසුම්’ චිත්‍රපටයේ ඇය රඟපෑ චරිතයට ද ජාත්‍යන්තර සම්මාන දෙකක් හිමි විය. මාලිනී ෆොන්සේකා යනු සම්මාන කර්මාන්තශාලාවකි. ඇය ලැබූ සම්මාන ප්‍රමාණය කොතෙක් ද යන්න කවදාවත් ඇයට මතක තිබුණේ නැත.
තමිල්නාඩුවේ ජනප්‍රියම නළුවා වූ එම්. ජී. රාමචන්ද්‍රන් 1987 දී මියගියේය. එවිට ඔහුගේ රසිකයෝ කිහිපදෙනෙක් එම වියෝව ඉවසාගත නොහැකිව සිරුරට ගිනි තබාගෙන මළහ. 1970 ගණන්වල මැද හරියේ දී රුක්මණී දේවි මියගිය අවස්ථාවේදී ද ඇගේ රසිකයෙක් වස පානය කළේය. සිනමාව යනු රසික ජනයාට එපමණටම සම්බන්ධයක් තිබෙන මාධ්‍යයකි. මාලිනී ජනප්‍රියත්වයේ ඉහළම තැන සිටි අවස්ථාවේ දී එවකට සිටි මේ රටේ තරුණ පරම්පරාවෙන් අඩුම ගණනේ 50%ක් වත් ඇයට පෙම් කරන්නට ඇත. මෙය ඉතා ස්වභාවික තත්ත්වයකි. සිනමා නළුවකු හෝ සිනමා නිළියක සිය රසිකයාගේ ආධ්‍යාත්මයට කිඳා බසින්නේ ඉතාම සුවිශේෂ ක්‍රමයකටය. නළුවා හෝ නිළිය රසිකයා නොහඳුනයි. එහෙත් රසිකයා එම නළුවා හෝ නිළිය ඉතාම හොඳින් හඳුනයි. තමන් ප්‍රිය කරන නිළිය කිසියම් රසිකයකුට එකෙන්ම වැදුණු විට ඇය ඔහුගේ ජීවිතයේ කොටසක් බවට පත් වන්නීය. ජනප්‍රිය නළු නිළියන්ට ප්‍රේම කර ඒ ප්‍රේමය ඔස්සේම ජීවිතය ගතකරමින් මියගිය රසිකයෝ ඕනෑ තරම් සිටිති. 1950 න් පසු ව්‍යාප්ත වූ සිනමා කර්මාන්තය තුළ මේ ලක්‍ෂණය ඉතාම ඉහළින් දක්නට ලැබිණ. හොලිවුඩ් නිළියක වූ එලිසබෙත් ටේලර් ට මෙවැනි ආධ්‍යාත්මික රසික පිරිසක් වූහ. එසේම හොලිවුඩ් නළුවකු වූ මාලන් බ්‍රැන්ඩෝට ද මෙවැනිම ආධ්‍යාත්මික රසික පිරිසක් වූහ. 1950 ට පෙර සිටි සුප්‍රසිද්ධ නළුවකු වූ රුඩොල්ෆ් වැලන්ටිනෝ ද රසිකාවියන් සාගරයක් තුළ ගිලී සිටි නළුවෙකි. එය සිනමාවේ ආරම්භක යුගය වුවද, රුඩොල්ෆ් වැලන්ටිනෝ වැඩි වශයෙන් රඟපෑවේ නිහඬ චිත්‍රපටවල වුවද ඔහුගේ රසිකාවියෝ ස්වකීය ආධ්‍යාත්මය ඔස්සේ ඔහු සමග තොරතුරු හුවමාරු කර ගත්හ. මෙය මායාකාරී අවස්ථාවකි. නළුවා සිය රසික රසිකාවියන් ගැන පුද්ගලිකව කිසිවක් නොදනිතත් ඔහු කෙරෙහි ආවේශයෙන් සිටින රසික රසිකාවියෝ ඔහු සමග පෞද්ගලික මායාකාරී ජීවිත ගත කරති. සිනමාව කොතරම් ප්‍රබල මාධ්‍යයක් ද යන්න මෙයින් තේරුම් ගත හැකිය. නාට්‍ය කලාව තුළ මෙවැනි තත්ත්වයක් හට ගන්නේ නැත. එයට හේතුව චිත්‍රපටයක මෙන් රොමෑන්ටික් දර්ශන හෝ නළු නිළියන්ගේ සමීප රූප වේදිකා නාට්‍යවල නොතිබීමය. වේදිකා නළුවා හෝ නිළිය රසිකයාට සෑහෙන තරමට දුර ය. සිනමා නළු නිළියෝ, රසිකයාට පෙර කී දුර මෙන් දස දහස් ගණනක ගුණයක් දුර ය. එහෙත් නළුවා හෝ නිළිය කෙරෙහි රසිකයා හෝ රසිකාවිය තුළ ඇති ශෘංගාරාත්මක හැඟීම විසින් ඒ දුර නැති කර දමනු ලැබේ. මාලිනී ෆොන්සේකා ද මේ වාසනාව සහ ජනප්‍රියත්වය නොඅඩුව ලැබූ නිළියකි. 1970 ත් 1980 ත් අතර කාලය තුළ මාලිනී ෆොන්සේකා නමැති නාමරූපයට අර්ධ දේවත්වයක් ආරූඪ වී තිබිණ. එපමණම නොවුණත් එතැනට ළං වූ තවත් නළු නිළියෝ ස්වල්පයක් මේ රටේ සිටිති. අපි ඔවුන් ගැන කතා නොකරමු. 1981 ඔක්තෝබර් 4 වැනිදා උපාලි පුවත්පත් සමාගම ‘දිවයින’ අරඹමින් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ මුල් වරට එළිදැක්වූ දා අපේ මංගල පත්‍රයේ මුල් කවරය සැරසුවේ මාලිනීගේ රුවකිනි. මාලිනී ඔබ අපේ ජාතික සිනමාවට තැබූ මතකයන් සදා අමරණීය වන්නේය. මාලිනී ෆොන්සේකා යනු ඉන්ද්‍රජාලයකි. ඉන්ද්‍රජාලකයා යනු මැජික්කාරයෙකි. මාලිනී ෆොන්සේකා නමැති මැජික් එක යළි කවදාවත් පෙන්වනු නොලැබේ. එය සදහටම අවසන්ය.