වයඹ විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවක් පසුගියදා ගෙල වැලලාගෙන මිය ගියාය. ඊට පෙර සබරගමු සරසවියේ උපාධි අපේක්ෂකයෙක් ද ගෙල වැලලාගෙන මියගොස් තිබුණි. ලංකාවේ සියදිවි නසා ගැනීමේ Rate එක සෑම පුද්ගලයන් ලක්ෂයකටම 15 දෙනෙකි. සියදිවි නසා ගන්නේ ආතතිය නිසාය. ලංකාවේ ආතති Rate එක 94%කි. සියදිවි නසා ගැනීමේ Rate එක සහ ආතති Rate එක වැඩිම රටවල්වලින් එකක් ලෙස ලංකාව සලකනු ලැබේ. අන්තර්ජාලයේ පෙනෙන තරම් හෝ ටීවී චැනල්වල පෙන්වන තරම් ෆන් එකක් රටේ නැත. රටේ මිනිසුන්ගෙන් කට්ටියක් එදාවේල සොයා ගැනීමට දඟලමින් ආතතියට පත්වෙති. තව පිරිසක් එදාවේල කළමනාකරණය කරගනු පිණිස දඟලමින් ආතතියට පත්වෙති. ඊළඟ පිරිස ආතතියට පත්වන්නේ එක්කෝ ප්‍රේමය ලබාගැනීමටය; නැතහොත් ලැබුණු ප්‍රේමය කළමනාකරණය ගැනීමටය. මේ දෙකම ආතතියට සුදුසු ආධ්‍යාත්මික සාධක වෙති. මෙය එතැනින් නොනවතී. ආතතියට හේතු සිය ගණනක් ඇත. සමහර පිස්සු යක්කු තමන්ට තිබෙන දේ ගැන නොසිතා නැති දේ ගැන කල්පනා කර ආතතියට පත්වෙති. තවත් සමහර පිස්සු යකුන්ගේ උසුළු විසුළුවලට නිරන්තරයෙන් පත්වීම නිසා තරුණ තරුණියෝ ආතතියට පත්ව සියදිවි නසා ගනිති. කෙනෙක් ආතතියට පත්වීම සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම හෝ පෙළඹවීම මිනී මැරීමට තැත් කිරීමක් සේ සලකා කටයුතු කිරීම බව අපගේ විශ්වාසයයි. ආතතිය ඇති කරන්නේ සමාජය විසිනි. සමාජයෙන් එල්ල වන ඇනුම් බැණුම්, නෝක්කාඩු, වාචික අපහරණ යන කාලතුවක්කු වෙඩිවලට ලක්වන්නෝ එක්කෝ එල්ලෙති; එක්කෝ කෝච්චියට පනිති; එක්කෝ වස බොති; එක්කෝ සිරුරට ගිනි තබා ගනිති. සාමාන්‍යයෙන් සියදිවි නසා ගැනීමේ ක්‍රමවල තිබෙන නරකම ක්‍රම දෙක වන්නේ කෝච්චියට පැනීම සහ සිරුරට ගිනි තබා ගැනීමයි. මේ දෙකේදීම කිසිදු චාන්ස් එකක් වින්දිතයාට නොලැබේ. මෙහිදී අපට අමතක වූ යමක් කියමු. අධික ණය බර නිසා ද සමහරු සියදිවි නසා ගනිති. එසේම ෆිනෑන්ස් කොම්පැනිවල මුදල් තැන්පත් කර එම ෆිනෑන්ස් කොම්පැනි බංකොලොත්භාවයට පත් වන කල්හි තැන්පත්කරුවෝ සියදිවි නසා ගනිති.
යූ ටියුබ් එක බැලූ විට ලංකාව ඉතා හොඳ සංග්‍රහශීලී රටක් බව කියන යූ ටියුබර්ස්ලා ඕනෑතරම් දැකිය හැකිය. එහෙත් මේ සංග්‍රහශීලී බව තියෙන්නේ සංග්‍රහය ලබාගන්නා එකාගේ සාක්කුවේ සල්ලි තිබෙනතුරු පමණි. ඒකාට සල්ලි නැති වූ කල්හි අලුයම ලූ කෙළ පිඩක් සේ ඉවත දැමීම මේ රටේ සිරිතය. ශ්‍රී ලාංකිකයාගේ සිනහව ඉතාම හොඳ සංග්‍රහශීලී සිනහවක් බව පිටරැටියන්ගේ පිළිගැනීමය. එහෙත් මේ සිනහව ඇත්තේ විකිණීම පිණිසය. අද වනවිට මේ රටේ කාමසම්භෝගය පමණක් නොව ප්‍රේමය ද මිලට ගත හැකිය. මේ නිල න්‍යාය මගින් සමාජ ආතතිය ඉතා වේගයෙන් වර්ධනය කරනු ලැබේ. සෑම ලක්ෂයකටම 15 දෙනෙක් අවුරුදු පතා සියදිවි නසා ගන්නේ නම් දෙකෝටි විසිලක්ෂයකට වඩා ජනගහනයක් ජීවත්වන රටකට එය ලොකු ප්‍රමාණයකි. ලංකාවේ වැඩිම පිරිසක් මියයන්නේ හෘදයාබාධ නිසාය. ඊළඟට රිය අනතුරු නිසාය. නුදුරේදීම මෙරට ජනතාව වැඩියෙන්ම මිය යන හේතුව සියදිවි නසා ගැනීම විය හැකිය. ඒ එසේ වුවහොත් එයින් හැඟෙන්නේ රටේ ආධ්‍යාත්මය බිමටම වැටී ඇති බවය. සියදිවි නසා ගැනීමේ හැඟීම මෙලොව වෙසෙන 90% කට පමණ පිරිසකට ජීවිතයේ එක් අවස්ථාවකදී හෝ හටගෙන තිබේ. ලිංගික හිංසනය ද එබඳුය. මේ රටේ වෙසෙන 90%ක් පමණ දෙනා ජීවිතයේ කිසියම් අවස්ථාවකදී ලිංගික හිංසනයට පත්වෙති. මෙයින් අප අදහස් කරන්නේ ස්ත්‍රී දූෂණය පමණක් නොවේ. කිසියම් කාන්තාවක් බලහත්කාරයෙන් සිප ගැනීම ද ලිංගික අපහරණයකි. ඇගේ අවසරයකින් තොරව ශරීරය ස්පර්ශ කිරීම ද ලිංගික අපහරණයකි. ඇස් ගැසීම සහ වල්කතා කීම ද ලිංගික අපහරණයකි. මේ හැමදෙයක් ම ප්‍රමාණය ඉක්මවා ගිය කල්හි ආතතිය හට ගනී. ආර්ථික ප්‍රශ්න ද ආරවුල් ද එවැනි ආතතිවලට ප්‍රබල හේතුවන අවස්ථා ද තිබේ. ප්‍රශ්න දරාගෙන අභියෝග ජයගෙන ජීවිතය ජය ගැනීමට අද තාරුණ්‍යයට නිසි මඟ පෙන්වීමක් (ඔවුනගේ ආත්ම ගරුත්වය සුරැකෙන පරිදි) සඳහා ‘මනෝ උපදේශන’ නොමැති වීම ද මෙවැනි ආතති වැඩිවීමට හේතුවන අවස්ථා ද තිබේ. හැබැයි මෙහි එකිනෙකාට සාපේක්ෂ ප්‍රමාණය කොපමණදැයි කවුරුත් දන්නේ නැත. ආතතියෙන් පෙළෙන්නා හඳුනාගැනීමේ ක්‍රමවේද යුරෝපයේ සෑම රටකම තිබේ. එය පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වාත් විශ්වවිද්‍යාලයේ සිට සේවා ස්ථානය දක්වාත් පැතිර යන ක්‍රමවේදයකි. ලංකාවේ එවැනි ක්‍රමවේද නැත. හාල්, පොල්, ලුණු වැනි මූලික අවශ්‍යතා පවා විසඳා ගැනීමට ක්‍රම නැති රටක ජනතාවට නිතර සියදිවි නසා ගැනීමට සිතීම ඉතාම ස්වභාවිකය. අපේ බුද්ධිමතුන් හා රාජ්‍ය යාන්ත්‍රණය ද ජීවිත රකින්නට නම් මේ ගැන ද සිතිය යුතුමය.